HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විදු වදන් හැදුණු හැටි කියා දෙන විස්මිත කතාව!

දැන් විද්‍යාව ගැන හදාරපු ළමයකු ලොව නැති තරම්. පාසලේ දී විද්‍යාව අමාරුයි කියලා හිතපු අය වුනත් විද්‍යාව ගැන දන්නවා. ඒත් වානිජ්‍යය කීවත්, රංගනය, සංගීතය, තාක්ෂණය කීවත් ඒ විෂයයන් වුනත් ඉගෙන ගන්න එකත් ලේසි නැහැ, අමාරුයි. හොඳ නළුවකු, හොඳ සංගීතඥයකු, හොඳ ව්‍යවසායක‍යකු වන එකත් පහසු දෙයක් නෙවෙයි. ඒක විද්‍යාව ඉගෙන ගන්නවාට වඩා අමාරුයි. විද්‍යාව, කලාව කියල විශේෂයක් නැහැ, හැම කුසලතාවක් ම, නිපුණතාවක් ම ලබා ගන්න එක ඉතාමත් අසීරු දෙයක්! 

විදු වදන් යොදා ගන්නේ ලොව පුරා කාට වුනත් 
නොවරදවා සන්නිවේදනය කරන්න පහසු වෙන්නයි.

විද්‍යාව ක්‍රමවත් ව පෙළ ගස්වා තියෙන එකාකාර රටාවකට ලොව හැමතැන ම සමානව උගන්වන දෙයක්. නොවෙනස්ව පවතින දෙයක් නිසා අමාරුවෙන්න විදියක් නැහැ. මං හිතන්නෙ හැමෝම විද්‍යාව අමාරුයි කියල හිතන්නෙ, විද්‍යා වදන් නිසා, විද්‍යාවට සම්බන්ධ වාංමාලාව නිසා. 

ගණිතයට, විද්‍යා විෂයයන්ට ඇතුළු වන විට අපට විද්‍යා වදන් රැසක් හමුවෙනවා. ඒවා විද්‍යාවට පිවිසෙන මඟ සලකුණුයි. මේ වදන් සමහරක් අමුතුයි. ඒ වගේ ම නුහුරුයි. සමහර ඒවා දිගයි. සමහරක් කොටයි. සමහරක් වදන් උච්චාරණය අමාරුයි. ඒවා අපට එදිනෙදා ජීවිතයේ දී හමුවන හුරුපුරුදු ඒවා නො‍වෙයි. 

අපේ කමත් භාෂාවත් එහෙමයි. ගැමි අපට ඒවායේ අරුත් කියන්න පුලුවන්. එහි එදිනෙදා පාවිච්චි කරන දේට පවා වෙනත් වදන් තියෙනවා. නිදසුනක් වශයෙන් ‘කුල්ලට’ කියන්නේ ‘යතුර’ කියලයි. වීවලට ‘බැත’ කියනවා. ගොයම් පාගන්න යොදා ගන්න ‘ගවයා’ට කියන්නේ ‘අම්බරුවා’ කියලයි. පැරණි ගොවීන් එහෙම කරන්න ඇත්තේ ඒ කාර්යය ගැන ගෞරවයක් ඇති කරන්න වෙන්න පුලුවන්. 

එදා පිරමීඩ තැනීමේ දී පවා යොදා ගත් විද්‍යාත්මක උපායන් 
අප තේරුම් ගන්නේ විදු වදන් නිසයි.

ඒත් විද්‍යාවේදී එහෙම දෙයක් නෙවෙයි, සිද්ධ වෙලා තියෙන්නෙ. බොහෝ විට මේ වදන් යොදා ගෙන තියෙන්නෙ, ලොව පුරා කාට වුනත් නොවරදවා සන්නිවේදනය කරන්න පහසු වෙන්නයි. විද්‍යා සංකල්ප ලොව මොන භාෂාව කතා කරන අයකුට වුනත් පහසුවෙන්, එක හා සමාන අයුරින් තේරුම් ගැනීමට හැති වනු පිණිසයි, මේ වාංමාලාව යොදා ගෙන ඇත්තේ. 

එදිනෙදා අපට හුරුපුරුදු සරල වදනක් වුනත් විද්‍යාවේ දී නිශ්චිත අරුතක් දනවනවා. නිදසුනක් වශයෙන් work කියන ඉංග්‍රීසි වදනට යොදන සිංහල වදන ‘කාර්යය’ යන්න දෙස බලන්න. work යන වදනට වැඩ, කර්ම, කාර්යය, කැරුම, ක්‍රියාව ආදී වශයෙන් අරුත් රැසක් දෙන වදන් තියෙනවා. ඒත් වැඩිපුර විද්‍යාවේ දී භාවිත වන්නේ ‘කාර්යය’ යන්නයි. විද්‍යාඥයකුට ‘කාර්යය’ යනු ප්‍රතිවිරෝධ බලයකට එරෙහිව යොදන චලිතයයි. ගලක් ඔසවනවා යනු ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව කරන ‘කාර්යය’යි. ලීයකට ඇණයක් ගැසීම ලියේ ප්‍රතිරෝධයට එරෙහිව කරන ‘කාර්යය’යි. එහෙත් පොදු ඉංග්‍රීසි වහරේ work යන්න වැඩිපුර ම යොදන්නේ කය වෙහෙසා කරන ක්‍රියාවලටයි. විද්‍යාවේ දී යමක් ඔසවාගෙන සිටීම, ලීයකට ඇණයක් ගැසීම වැනි දේ work කියා හඳුන්වන්නේ නැත. 

ඒ නිසා භෞතික විද්‍යාව හදාරන සිසුන්ට work යන වදනත් ගැටලු සහගත වෙනවා. විද්‍යාඥය‍න්‍ගේ වැඩත් ඒ අතින් ටිකක් විකාර ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඔවුන් සමහර විට තමන්ගේ කාර්යයන් හැඳින්වීමට තමන්ගේ ම වදන් යොදා ගන්නවා. 

පොදුවේ බිනර කියා හැඳින්වෙන, වර්ණ කීපයකින් ඇති ‍
මේ ගිනිහිරියා ශාකයේ ප්‍රභේද වෙන් කොට ලොව පුරා 
හඳුනා ගන්නේ උද්භිද විද්‍යාත්මක නාමයන් නිසයි.

බොහෝ විට වදන් හදා ගැනීමේ දී විද්‍යාඥයන් යොදා ගන්නේ ලතින් හා ග්‍රීක භාෂාවල වදන් තමයි. මේ ආකාරයට වදන් තැනීම නවීන විද්‍යාව ආරම්භයේ දී පටන්ම සිදු වූවක්. ඒ 16 වන සියවස තරම් ඈත කාලයක සිටයි, ආරම්භ වුණේ. ඒ කාලයේ ලතින් (Latin) භාෂාව තමයි, උගතුන්ගේ භාෂාව වුණේ. ඒ වගේ ම ඒ අය බොහෝ දෙනකුට ග්‍රීක (Greek) භාෂාව ද කතා කළ හැකි වුණා. 

ඒ කාලේ විද්‍යාඥයන් කළේ, අද අපි ඉංග්‍රීසි භාෂාවෙන් වචන හදා ගන්නවා වාගේ, ලතින් හා ග්‍රීක භාෂාවලින් තමන්ට අවශ්‍ය වචන තනා තැනීමයි. කල්යාමේ දී ඒ භාෂා පාසල් විෂයෙන් ඈත් වුනත් මේ වචන තනා ගැනීමේ පුරුද්ද විද්‍යාඥයන් අත් ඇරියේ නෑ. වැදගත් කාර්යයක භාවිතයට ගන්නා නිසා, අද ‘මළ’ භාෂා ලෙස සැලකෙන ඒ භාෂාත්, අද ලොව පුරා රටවල මොන භාෂාව කතා කළත් ඒ පැරණි භාෂාත් ලොව රටවල් හැම එකක ම භාවිත වෙනවා, විද්‍යාව නිසා. ඉංග්‍රීසි වගේ ම ලොව පුරා රටවල භාෂාවලට මේ වදන් එකතු කර ගෙන තියෙනවා. විද්‍යාව ඉගැන්වීමේ දී, රුසියන්, චීන, ජපන් ආදී භාෂාවලත් ඒ ලතින් හා ග්‍රීක වදන් භාවිත වනු අපට පෙනෙනවා. 

ලතින් හා ග්‍රීක භාෂා හඳුනන උගතුන්ට ඒ වදන් දුටු විගසම ඒවායේ අරුත් වැටහෙනවා. නිදසුනක් වශයෙන් thermometer බලන්න. ඒ වදන හැදී තියෙන්නේ ග්‍රීක බසින් ‘තාපය’ යන අරුත දෙන therme (heat) යන්නත්, ‘මිම්ම’ යන අරුත දෙන metron යන වදනත් එක් කිරීමෙනුයි. ඒ අනුව උෂ්ණත්වමානය (thermometer) යන්න තැනී ඇත්තේ heat measure යන වදන්වල එකතුවෙන්. 

මෙහි ඇත්තෙන්ම විස්මයජනක පැත්තක් තියෙනවා. ඉගැන්වීමේ දී විද්‍යාත්මක වදන් හඳුනා ගැනීම අමුතු දැනුමක් ලැබෙන රසවත් කාර්යයක් වෙනවා. ඉන් ඔබට දැනුම වගේ ම සතුටක් ලබන්නත් පුලුවන්. නිදසුනක් වශයෙන් telephone යන වදන බලන්න. ටෙලිෆෝනය නිකම්ම එදිනෙදා අප හඳුනන භාණ්ඩයක්. ඒ වදන හැදුන හැටි බලන්න! ග්‍රීක බසින් tele කියන්නේ ‘ඈත’ යන අරුත දෙන්නයි. phone යන්නෙහි අරුත ‘කටහඬ’ යන්නයි. ඒ වදන් එක්කළ විට ‘ඈත කටහඬ’ යන්න ලැබෙනවා. ඒ කාර්යය විස්තර කළ හැකි සුදුසු වදනක් තවත් නැති තරම්. 

මේ ක්‍රමය ම යොදා ගෙන කුමාරතුංග මුනිදාසයන් ටෙලිෆෝනය සඳහා සිංහල වදනක් අපට හඳුන්වා දුන්නත් අවාසනාවකට එය අල්ලා ගන්නට අපට හැකි වුණේ නැහැ. එතුමා ‍tele යන්නට ‘ත‍ෙල’ යන (‘ඈත’ යන අරුත දෙන හෙළ වදන) වදනත් phone යන්නට ‘බණුව’(කථා කරන) යන වදනත් එක් කොට ‘තෙලබණුව’ කියායි, ඒ වදන තැනුවේ. එවකට භාවිතව පැවති ‘ගවරනමේන්තුව’ නම් ගොරහැඩි වදන වෙනුවට government යන්නට කුමරතුඟුවන් දුන් ‘රජය’ යන අලුත් වදනත්, university යන්නට දුන් ‘සරසවිය’ යන්නත් අප විසින් බාර ගනු ලැබුවත්, ‘තෙලබණුව’ යන වදන එදා අපේ සමාජය බාර ගත්තේ නැහැ. 

කෙටියෙන් කීවොත් විද්‍යාත්මක වාංමාලාව විමසා බැලීම එක්තරා ආකාරයක ගවේෂණාත්මක කටයුත්තක්. සමහර විදුහුරු වදන් උච්චාරණය අපහසු, ‘හක්ක පනින’ ඒවා වුනත්, ඒවා පසුපස ඇති පසුබිම් කතා ඉතාමත් රසවත්. සමහර විට ඒ පුංචි රසකතා ඒ වදන මතක තබා ගැනීමට ආධාරකයක් ද වෙනවා. ඒවා පසුබිමේ ඇති ඉතිහාසයත්, ඒවාට මුල් වූ විද්‍යාඥයන් හා ඔවුන් කළ හොඳ, නරක, වැරදි, අපට මේ වදන් ඔස්සේ දැන ගන්න පුලුවන්. විද්‍යාවෙන් ඈත්වෙන අය විද්‍යාව දෙසට ආකර්ෂණය කර ගන්නටත් මේ වදන් තුළ රැඳි තතු අපට උදවු වේවි. 

‘විදු වදන් හැදුණු හැටි’ නමින් ඒ ලිපි පෙළ ඉදිරියේ දී වරින් වර ‘මල්කැකුළු’ ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments