HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සිංහලේ අන්තිම රජුට සිංහලයන්ගෙන් ම හිරිහැර!

කොළඹ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ සර් රොබට් බ්‍රවුන්රිග්ගේ මෙහෙයවීම යටතේ ඉංග්‍රීසි භට සේනාංක කීපයක් සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ජීවග්‍රහයෙන් අල්ලා ගනු පිණිස උඩරට පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළ ආකාරය ඊයේ ‘මල්කැකුළු’ තුළින් කීවා ඔබට මතක ඇති. ඒ ගමනේ දී රජු කෙරෙහි උරණව සිටි උඩරට රදලවරුන්ගේ සහය ද ඉංග්‍රීසීන්ට ලැබුණා. ඇහැලේපොළ දරුවන් කෙටවීමේ සිද්ධියෙන් පසු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෙරෙහි උඩරට වැසියන් තුළ ඇති වූ අප්‍රසාදය තම වාසියට හරවා ගත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ඇතුළු පිරිස උඩරට රදලවරුන් සිය ඉච්චා බස්වලින් රවටා රජතුමා පමණක් අල්ලන මුවාවෙන් රට අල්ලන කටයුත්තට අත ගසා තිබුණා. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා රජුගේ අත්සන

එක්නැලිගොඩ මොහොට්ටාලගේ මග පෙන්වීම යටතේ ගිය ඉංග්‍රීසි භට පිරිස බෝමුරේ ගම්මානයට ආ මොහොතේ කලබලෙන් වනාන්තරය දෙසට යමින් සිටි කොලු ගැටයකු හමු වුණා. කොලුවා භට පිරිස දැක දුවන්නට වූයෙන් ඌ අල්ලා ගෙන ප්‍රශ්න කරද්දී රජු ඉන්නා තැන පෙන්නා දෙන්නට එකඟ වුණා. ඒ අනුව කොලුවාගේ ඉණේ ලණුවක් ගැට ගසා, ‘දැන් ඉතින් දෙවියන් වහන්සේ ඉන්නා තැන පෙන්නා පිය’ කියා එක්නැලිගොඩ මොහොට්ටාල කොලුවා අණ කළා. මග පෙන්වීමට ඉදිරියෙන් ගිය කොලුවා නැවතුනේ උඩුපිටියේ ආරච්චිලගේ නිවස පේන තෙක් මානයට ආ පසුවයි. 

කොලුවා අත දිගු කොට ‘අන්න අර ගේ ඇතුළෙ තමයි, දෙවියන් වහන්සේ ඉන්නේ’ කියා කීවා. ඉන්පසු කොලුවා මුදා හරින්නට යයි කී එක්නැලිගොඩ මොහොට්ටාල භට පිරිස සමග ඒ නිවස දෙසට ගියා. නිවස වට කරන ලෙස භට පිරිස අණ දුන් එක්නැලිගොඩ මොහොට්ටාල ඉදිරිපස දොර දෙසට ළං වුණා. ඒ වන විට උඩුපිටියේ ආරච්චිල හෙල්ලක් අතින් ගෙන රජුගේ ආරක්ෂාවට ඒ දොර අබියස රැකවල් කරමින් සිටියා. එක්වරම එහි ආ එක්නැලිගොඩ මොහොට්ටාල දුටු උඩුපිටියේ ආරච්චිල, ‘එක්නැලිගොඩ නිලමේ කලකින් මේ පැත්තේ මොකදැ’යි කියා උපහාසාත්මක ස්වරයකින් ඇසුවා. එක්නැලිගොඩ ද ඒ ආකාරයේ උපහාස ස්වරයකින්, ‘ඔහෙලාගේ සැප සනීප බලාගෙන යන්ට ආවා’යි කියමින් ඉදිරියට ගියා. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් මොහොත දැක්වෙන චිත්‍රයක්

ඉදිරියේ දී සිදු වෙන්නට යන්නේ කුමක් දැයි උඩුපිටියේ ආරච්චිලට ක්ෂණික වැටහුණා. රාජපාක්ෂික භාවයෙන් ඔද වැඩී සිටි ඔහු සිය දිවි පරදුවට තබා රජු බේරා ගන්නෙමැයි සිතා තෝමරය අමෝරා ගෙන එක්නැලිගොඩ මොහොට්ටාල වෙත කඩා පැන්‍නා. මොහොට්ටාල පස්සට පැන ඒ තෝමර පහරින් වැළකුණු අතර අසල සිටි හේවායෙක් ඉදිරියට පැන කඩු පහරක් එල්ල කොට උඩුපිටියේ ආරච්චිලගේ දිවි තොර කළා. 

ඉන්පසු එක්නැලිගොඩ මොහොට්ටාල ගෙතුළ සිටි අයට කතා කොට දොර අරින්නට අණ කළා. ඒ වුණාට දොර ඇරුණේ නැත. භටයෙක් අසල වූ මඩු‍ගෙට දිව ගොස් වංගෙඩියක් ගෙනවුත් දොරට එල්ල කළා. දොර දෙපළු වුණා. ඉන්පසු එක්නැලිගොඩ ඇතුළු පිරිස ගෙට ඇතුළු වුණා. තමා ඇල්ලීමට සතුරන් එන බව දුටු රජතුමා රාජ ධෛර්යය උපදවා ගෙන ‘තොපගේ රජුගේ ඇඟට අත නොතබව්’ කියා තර්ජනය කළා. මින් බියට පත් පිරිස පසු බා සිටියා. එහෙත් එක්නැලිගොඩ ඔවුන්ව ධෛර්යමත් කොට ඉදිරියට යැවූවා. මුලින් ම ගියේ වැලිඅංගේ නම් පුරුෂයෙක්. ඔහු දුටු රජතුමා නැගී සිටිමින් දැඩි තර්ජනාත්මක ස්වරයෙන් ‘අඩේ මේ වැලි අංගේ නොවේදැ’යි ඇසුවා. 

‘දෙයියෝ බුදුවන්ඩ, එදා එහෙමයි, මෙදා මෙහෙමයි’ කියා ඔහු රජුට පා පහරක් එල්ල කළා. රජු ඉන් බිම ඇද වැටුණා. ඒ සමග සියලු දෙනා ම රජු වට කර ගෙන පහර දෙන්නට වුණා. ඒ වගේ ම එතුමාට නො‍ය‍ෙකුත් අපහාසාත්මක වදනින් බැණ වැදුණා. මූණට කෙළ ගැසුවා. රජුගේ වස්ත්‍රාභරණ ගලා නිරුවත් කළා. දේවීන්වහන්සේලාගේ වස්ත්‍රාභරණ පැහැර ගත්තා. කන් පෙති ඉරී යන ලෙස ඇද කර්ණාභරණ ගලවා ගත්තා. එක්නැලිගොඩගේ දිරි ගැන්වීම් මත ඔවුන් බිසවුන්ට අමානුෂික ලෙස, නොහොබිනා අන්දමට හිරිහැර කළා. ඊළඟට රජු ඌරකු ගෙන යන්නාසේ කුදලා ගෙන බිම දිගේ ඇද ගෙන ගියා. රජුගේ දේහය සීරී තුවාල වී ලේ ගලන්නට පටන් ගත්තා. බිසෝවරුන් ද ඒ ආකාරයෙන් ම ඇද ගෙන ගියා. 

මේ අතර රජු අල්ලා ගත් සිංහල පිරිස මෘගයකුටවත් නොකරන ආකාරයෙන් කෲර වද හිංසා කරන බව ඔවුන් පසු පසින් සොල්දාදුවන් පිරිවරා පැමිණි ඉංග්‍රීසි ආණ්ඩුවේ මහලේකම් තනතුර දැරූ ජෝන් ඩොයිලිට දැන ගන්නට ලැබුණා. යුහුසුලුව බෝමුරේ වෙත පැමිණි ඩොයිලිට දැක ගන්නට ලැබුණේ ඒ වන විටත් රජුට හා බිසෝවරුනට සිංහල පිරිස දරුණු ලෙස හිරිහැර කරන අන්දමයි. ඩොයිලි මුලින් ම කළේ කස පහර දී ඔවුන් පලවා හැරීමයි. ඉන්පසු රජු වෙත ගිය ඩොයිලි වැඳ නමස්කාර කොට සිදු වූ හිරිහැර ගැන සමාව ඇයද සිටියා. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් ඉදි කර ඇති 
වෙල්ලෝරයේ පිහිටුවා ඇති ඵලකය

ඉන්පසු වහාම වස්ත්‍ර ගෙන්වා රජුට හා බිසෝවරුනට අන්දවීමට ක්‍රියා කළා. අනතුරුව රජුගේ හා බිසෝවරුන්ගේ සීරීම් තුවාලවලට බෙහෙත් ගල්වා ප්‍රතිකාර කෙරෙව්වා. රාජකීය පිරිසට මඳ විවේකයක් ගැනීමට සලස්වා ඒ කාලය තුළ දෝලා කීපයක් ගෙන්වා ගෙන රජු හා බිසෝවරුන් ඒවාට නංවා ගෙන තෙල්දෙණිය බලා ගමන් ඇරඹුවා. ‍කුපිත වූ සිංහලයන්ගෙන් හිරිහැර නොවන ලෙස ඉදිරියෙන් පසුපසින් හා දෑලේ ආයුධ සන්නද්ධ ඉංග්‍රීසි සොල්දාදුවන්ගෙන් රැකවරණ සැලසුවා. එක්නැලිගොඩගේ පිරිසට පමා වී එන ලෙස දන්වා ඩොයිලි රාජකීය පිරිස සමග ගියා. 

තෙල්දෙණියට පැමිණි පසු රාජකීය පිරිස විවේක ගන්නට සලස්වා ආහාර පානයෙන් ද සංග්‍රහ කළා. රාජකීය පිරිස නැවතී සිටි ස්ථානයට දැඩි රැකවල් යෙදුවා. විවේකයෙන් පසු මඳක් සුවපත් වූ රාජකීය පිරිස දැඩි රැකවල් මධ්‍යයේ මහනුවරටත් අනතුරුව කොළඹටත් යැවීමට කටයුතු යෙදුවා. ඉංග්‍රීසීන් විසින් රජුට ඉතා ගරු බුහුමන් සහිතව සැලකිලි කළ බව රජු විසින් ම කියා තිබෙනවා. 

අවුරුදු දෙදහස් ගණනක් පැවති රාජ්‍යත්වයත් නිදහසත් සිංහලයාට අහිමි වූයේ එසේයි. සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් විසින් ජීවග්‍රහයෙන් අල්ලා ගත් පසු සිංහලේ රාජ වංශය අවසාන වුණා. ඉංග්රීසීන් විසින් රජු සිරභාරයට ගෙන රාජකීය සිරකරුවෙකු ලෙසින් ඉන්දියාවේ මදුරාසියේ වෙල්ලෝර් කොටුව වෙත ගෙන යනු ලැබුවා. මීට රජ පවුලේ සෙස්සන් ද ඇතුළත් වූණා. රජුට එහි ජීවත්වීමට සිදුවූයේ ඉංග්‍රීසී රජයෙන් ඔහුට සහ බිසවුන් දෙදෙනාට දෙන ලද සුළු දීමනාවෙනුයි. මෙම දීමනාව රජුගෙන් පසුවත් ඔහුගේ ඤාති වර්ගයාට දිගට ම ගෙවා ගෙන එන ලද අතර, එසේ අවුරුදු 133 ක් ගෙවමින් සිටි එය 1948 දී ලංකාවට නිදහස ලැබීමත් සමග ගෙවීම නතර කරනු ලැබුවා. 

(මෙම සිදුවීමට තොරතුරු ලබා ගත්තේ ඩී. පී. වික්‍රමසිංහ විසින් ලක්දිව ප්‍රවාද අලලා කරන ලද ‘මග දිගට ජනකතා’ නම් කෘතියෙනි.) 

- පර්සි ජය‍මාන්න 


Post a Comment

0 Comments