ඇහැලේපොළ දරුවන් කෙටවීමේ සිද්ධියෙන් පසු උඩරට විසූ උස් පහත්, ලොකු කුඩා, හැම දෙනකු ම සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් කෙරෙහි දැඩි සේ කලකිරීමට පත් වුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට කල්පනා කළ කොළඹ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ සර් රොබට් බ්‍රවුන්රිග් වහා ක්‍රියාත්මක වුණා. ඔහු ඇහැලේපොළ අදිකාරම්ගේ මග පෙන්වීම යටතේ යුද්ධ භට කණ්ඩායම් කීපයක් උඩරට බලා පිටත් කර යැවීමට කටයුතු කළා.
කොළඹින් පිටත්ව රුවන්වැල්ල හරහා සත්කෝරළය ඔස්සේ ගිය ඉංග්‍රීසි හමුදාව සමග ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ද ඇහැලේපොළ අදිකාරම් ද ගමන් කළා. රුවන්වැල්ලේ දී රජුට එරෙහිව යුද්ධ කිරීමට යන බව කියැවෙන ප්‍රකාශන පත්‍රය කියවනු ලැබුවා. රජු පහ කිරීම මිස රට අල්ලා ගැනීමේ අදහසක් නැති බව එ් ප්‍රකාශනයෙහි අවධාරණයෙන් ම සඳහන් කර තිබුණා. ඒ නිසා උඩරට ප්‍රධානීන් තමන්ට එපා රජුගෙන් මිදීමේ අවස්ථාවක් හැටියට සලකා ඉංග්‍රීසි සේනාවට මොන විදියකින්වත් බාධා කළේ නෑ.
ඒ වන විට රජුගේ ළඟම හිතවතා මෙන් ම, ඇහැලේපොළ අදිකාරම්ගේ පරම හතුරු වූ මොල්ලිගොඩ නිලමේ පවා ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බච්චා බසට රැවටී සිය පවුල මහනුව්රින් ඉවත් කොට ගෙන ඉංග්‍රීසීන්ගේ පැත්ත ගෙන සිටියා. මොල්ලිගොඩ නිලමේ එක්වීමත් සමග ඔහුගේ භාරයේ තිබූ සතර කෝරළය ඉංග්‍රීසි රජයට අයත් ප්‍රදේශයක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර උඩරට රදළවරුන්ගේ ඇස්පෑදුණේ එවිටයි.
එතෙක් ඉංග්‍රීසින් හා ළඟින් ඇසුරු කළ ඇහැලේපොළ අදිකාරම්ට පවා ඉංග්‍රීසින්ගේ යටි අරමුණ ඒ වනතුරු අවබෝධ වී තිබුණේ නැ. ඔහු සිතා සිටියේ රජු ඇල්ලීමෙන් පසු උඩරට රාජ්‍යය තමන්ට පවරා දෙතැයි කියායි. ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ඇහැලේපොළට අඟවා තිබුණේ එවන් අදහසක්. මෙසේ ඉංග්‍රීසීන් විසින් සතර කෝරළය අත්පත් කර ගත්තාට පසුවයි, ඇහැලේපොළ හා මොල්ලිගොඩ යන දෙදෙනාට ම ඉංග්‍රීසීන්ගේ පොරොන්දු කඩ කරන දුෂ්ට අදහස අවබෝධ වූයේ.
මුලදී පරම හතුරන්ව සිටි ඇහැලේපොළ හා මොල්ලිගොඩ දෙපළ අට්ටාපිටිය යන ස්ථානයේ දී මුණ ගැසී, “අපේ මෝඩකම නිසා අවුරුදු දෙදහස් ගණනක් අපරාධීනව සිටි සිංහල වර්ගයා පරාධීන වන්නේ යැයිද, අපගේ මේ රම්‍ය දිවයින අපට අහිම ව යන්නේ යැයිද, අනාගත අපේ දරු පරම්පරාව වහල් තත්වයට ඇද හැළීම ගැන ඔවුන් අපට ශාප කරනු ඇත්තේ යැයිද,” කිය කියා ඔවුනොවුන් වැළඳ ගෙන හැඬූ බව සඳහන් වෙනවා. ඒ වන විට හඬනවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි වෙනත් කිසිවක් ඉතිරිව තිබුණේ නැත.
වෙනදා උඩරට ආක්‍රමණය කරන සතුරු හමුදාවලට මරු පහර එල්ල වූයේ සතර කෝරළයෙන් වුවත් ඉංග්‍රීසීන් යටත් කර ගත් පසු සතර කෝරළයෙන් එවන් කිසිම බාධාවක් ඇති වුණේ නැත. ඊළඟට සතුරාට ප්‍රහාර එල්ල වන්නේ බලනේ කපොල්ලෙන් නමුදු එයින් ද බාධාවක් වූයේ නැත. තුන් කෝරළයත් සතර කෝළයත් යන දෙක ම ඒ වන විට ඉංග්‍රීසීන් විසින් අල්ලා ගෙන තිබුණා. මේ නිසා ඉංග්‍රීසි භට පිරිස්වලට කිසිම හිරිහැරයක් නැතිව මහනුවර ආසන්නයට ම යා හැකි වුණා.
උඩරට ප්‍රධානීන් ඉංග්‍රීසින් පක්ෂපාත වූ බවත්, තමා තනි වූ බවත් තේරුම් ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසි භට පිරිස් මහනුවර බලා එන බව සැලවූ වහා ම ආත්මාරක්ෂාව සඳහා කටයුතු යොදන්නට යුහුසුළු වුණා. මුලින් රාජ භාණ්ඩාගාරයෙහි වූ වටිනා වස්තු තමන්ට හිතවත් පිරිසක් ලවා දුම්බර පෝද්දල්ගොඩ අසළ පිහිටි කඩතුරා ගල්ලෙනෙහි සැඟවීමට කටයුතු යොදුවා. සිංහල සිංහාසනය, ඔටුන්න, ඇතුළු පංච කකුධ භාණ්ඩ (නලල් පටය, වල්විදුනාව, සේසත, මඟුල් කඩුව, මිරිවැඩි සඟල) ඊට අයත් වුණා. (මේවා රජු අල්ලා ගැනීමෙන් පසු ඇහැලේපොළ අදිකාරම් විසින් ඒ තොරතුරු ඉංග්‍රීසීන්ට ලබා දී ඉංග්‍රීසීන් විසින් ඒවා අත්පත් කර ගත් බව සඳහන් වෙනවා.)
රාජ්‍ය භාණ්ඩ සුරක්ෂිත කළ පසු රජතුමා හිතවත් සේවකයන් කීපදෙනකු සමගින් සිය බිසෝවරුන් ද කැටුව උඩුදුම්බර පිහිටි ආපදා අවස්ථාවල දී රජවරුන් සැඟවී ගන්නා ගල්ලෙනක් බලා පිටත් වුණා. ඒ ගල් ගුහාව වර්තමාන හුන්නස්ගිරි නගරය අසල ගලේ නුවර යයි නම් ලත් කන්දට ඉදිරිපිට ගලා බස්නා විශාල ගිරි දිය ඇල්ලක් ආශ්‍රිතව එයින් ආවරණය ව තිබූවක් බව කියැවෙනවා.
ආපදා අවස්ථාවක දී සිංහල රජවරුන් එහි තමන් ඉහළා ගෙන ආ තල් අත්ත දිය ඇල්ලට ඇල්ලූ විට දිය පහර ඉවත් වී ආරක්ෂක ලෙන මතුවී පෙනෙන බව දැන සිටි නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් එහි ගියා. ඒ ලෙන් දොර රජතුමා අත තැබූ පසු ඇරෙන වත් ඒ ලෙන තුළ රජතුමාට අවශ්‍ය පහසුකම් ඇති බවත් කියවෙනවා. ඒ ගල්ගුහාවේ ඇති උමඟකින් වේරගන්තොට කඳු බෑවුම දක්වා ගිය හැකි බවත් ප්‍රවාදයෙහි සඳහන් වෙනවා. ඒත් එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තල් අත්ත ඇල්ලුව ද ඒ කිසිවක් සිදු නොවූ නිසා රජතුමාට එහි ඇතුළු වීමට නොහැකි වුණා. (එසේ වූයේ ඇහැලේපොළ දරුවන් කෙට වීමේ අපරාධය දෙවියන්ගේ කෝපයට හේතුවූ නිසා යයි ප්‍රවාදයෙහි දැක්වෙනවා.) ඒ ආරක්ෂක ස්ථානයට යා ගත නොහැකි වීම නිසා ශෝකයට පත් රජතුමා ආපසු හැරුණේ මහවැලි ගඟෙන් එගොඩ වී දියතලා කඳු ප්‍රාන්තයෙහි වූ ගලඋඩ බලකොටුව බලා යාමටයි.
ගලඋඩ බලකොටුව බලා ගිය රජතුමා ඇතුළු පිරිස මැදමහනුවරින් පිටත්ව බෝමුරේ නම් ගමට එන විට සවස් වුණා පමණක් නොව මහා වර්ෂාවක පෙර නිමිති ද පහළ වුණා. තවදුරටත් ඉදිරියට යා ගත නො හැකි බව දැනුනෙන් රජතුමා බෝමුරේ සිටි තම හිතවතකු වූ උඩුපිටියේ ආරච්චිලගේ නිවසට ගියා. රජු දැක සතුටට පත් ඔහු රජුට නමස්කාර කොට රාජගෞරව දක්වා සිය ගෙයි ඇතුළට වඩමවා රජුට හා දේවීන්නාන්සේලාට අසුන් පැනෙව්වා. අනතුරුව තම ශක්ති පමණින් රාජ භෝජන ද සලසා දුන්නා.
මේ අතර උඩරැටියන්ගෙන් කිසිම බාධාවක් නොවූ ඉංග්‍රීසි සේනාව මහනුවර පැමිණ ලැගුම් ගත්තා. ඊළඟට ඔවුන්ගේ පියවර වූයේ රජු අල්ලා ගැනීමයි. ඒ සඳහා උඩරට සතර දිශාවට සේනාංක හතරක් පිටත් කර යවනු ලැබුවා. දුම්බර බලා නැගෙනහිරට ගිය සේනාවට සමග ගියේ එක්නැලිගොඩ මොහොට්ටාලයි. රජු දුම්බරට පලා යන්නට ඇතැයි අනුමාන කළ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහලේකම් තනතුර දැරූ ජෝන් ඩොයිලි ද අසු පිට නැඟුණු සොල්දාදුවන් කීප දෙනකු සමග එක්නැලිගොඩ ගිය මග ඔස්සේ යන්නේ තෙල්දෙණියට ආවා.
එදා රාත්‍රිය බෝමුරේ ආරච්චිලගේ ගෙදර ගත කළ රාජකීය පිරිස පසුදා පහන් වෙත්ම ගලඋඩ බලකොටුව බලා යාමට සූදානම් වුණා. ඒ ගමන දුෂ්කර එකක් වූ අතර වේඬරුව පසු කොට මහවැලි ගඟෙහි කිඹුල්ගංතොටින් එගොඩව එතැන් සිට කඳු දුර්ගයක් ද තරණය කළ යුතු වුණා. රජතුමා හා දේවීන්නාන්සේලා ගමන සූදානම් වන එක්නැලිගොඩ මොහොට්ටාල ඉංග්‍රීසි සේනාංකයක් සමග රජ සොයා ඒ ආසන්නයට ම පැමිණ සිටින බව උඩුපිටියේ ආරච්චිලට ආරංචි වුණා. ආරච්චිල ඒ බව රජුට දන්වා ඒ අවස්ථාවේ ගමන් කිරීම අනතුරුදායක බැවින් නතර වන ලෙස ඉල්ලා සිටියා. වෙන කළ හැක්කක් නොවූයෙන් රජ ඒකට කැමති වුණා.
රජු සොයා ආ එක්නැලිගොඩ හා භට පිරිස බෝමුරේ අසල වෙල්යායකට පැමිණියා. ඒ අවට නිවෙස්වල කිසිවකු සිටිනු ඔවුනට දැක ගත නොහැකි වුණා. ඒ යුද භට පිරිස් එන බව දැනී නිවෙස්වල දොරගුළු ලා ඉන් බැහැරව වනාන්තරවල සැඟවීම එකල සිරිත වූ නිසයි. රජතුමා ඒ ප්‍රදේශයේ සැඟවී ඇතැයි එක්නැලිගොඩ මොහොට්ටාලගේ අදහස වුණා. එත් ඒ කොහේ දැයි දැන ගන්නට ක්‍රමයක් තිබුණේ නැත.
මේ අතර රජුගේ ඉරණම විසඳූ එක්තරා අභාග්‍යමත් සිද්ධියක් සිදු වුණා. එගම වැසි කොලු ගැටයෙක් සැඟවීමට වනාන්තරය දෙසට යන්නේ එක්නැලිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිසට හදි ගැහුණා. ඒ පිරිස දුටු කොල්ලා දුවන්නට වුණා. එක්නැලිගොඩ මොහොට්ටාල ඒ කොලුවා අල්ලා ගෙන එන ලෙසට භට පිරිස අණ කළා. භටයන් පසුපස හඹා ගොස් කොල්ලා අල්ලා ගෙන ආවා. එයින් භිතියට පත් කොලුවා, “අනේ හාමුදුරුවනේ මාව මරන්න එපා! දෙවියන් වහන්සේ සැඟවී සිටින තැන මං පෙන්වන්නම්” කියා බියෙන් ගැහෙමින් කීවා. එක්නැලිගොඩගේ මුවඟට සිනාවක් නැඟුණා.
0 Comments