1913 සැප්තැම්බර් 29 වැනිදා රාත්‍රියෙහි රුඩෝල්ෆ් ඩීසල් ගිය නෞකාව ඉංග්‍රීසි ඕඩය තරණය කරමින් තිබුණා. ඩීසල් මෙසේ යමින් සිටියේ ලන්ඩනයේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීමකට සහභාගි වන්නටයි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය නාවික හමුදා ප්‍රධානීන් හමුවී සාකාච්ඡා කිරීමටත් බලාපොරොත්තු වී සිටියා.
රාත්‍රි දහයට සීනුව වැදෙන මොහොතේ ඔහු කතා කරමින් සිටි මිතුරන් සමුගෙන ඔහුගේ පුද්ගලික කුටියට ගියා. පසුදා උදේ ඔහු කාමරයෙන් පිටතට ආවේ නැත. එදා රෑ ඔහු අතුරුදන්ව සිටියා. මේ අතුරුදන් වීම ජාත්‍යන්තරය තුළ කලබලයක් ද ඇති කළා. පළමු ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ පසු බ්‍රිතාන්‍යයට වැදගත් රහස් එළි කිරීම වළක්වනු පිණිස ජර්මන් ජාතිකයන් විසින් ඔහු මරුමුවට පත් කරන්නට ඇතැයි කටකතාවක් ද පැතුරුණා.
ඔහුගේ අතුරුදන් වීම නොවිසඳුණු අබිරහසක් වුණා. ඔහුගේ අවසානය කෙසේ වීදැයි අද වනතුරුත් හෙළිදරවූයේ නැහැ. ඒ නිසා ඔහුගේ චරිත කතාව ඔහු යාත්‍රා කළ නැවෙන් එහාට ගියේ නැහැ. ඔහුගේ නම අද ලොව පුරා හැමදෙනාම තත්පරයක් පාසා මතුරන පොදු නමක් බවට පත් වී තියෙනවා. ඒ ඔහු ලොවට දායාද කළ නව නිෂ්පාදනයක් නිසයි. ඩීසල් එංජින් බලයෙන් කෙරෙන කටයුතු ලොව පුරා කොතෙකුත් සිදු වෙනවා. ඩීසල් නැව්, ඩීසල් බස්, ඩීසල් ලොරි, ඩීසල් කාර් ලොව පුරා ගමනාගමනය සඳහා උර දෙනවා පමණක් නොව, ඩීසල් එංජින් යොදා විවිධ කර්මාන්තශාලා ලොව පුරා පවත්වා ගෙන යනවා. ඩීසල් එංජින් යොදා ගෙන විදුලි බලය ලබා ගන්නවා. ඩීසල් ට්‍රැක්ටර්, ඩීසල් අස්වනු නෙලන යන්ත්‍ර, ඩීසල් වී පාහින යන්ත්‍ර අපට බත සරි කර දෙනවා. මේ සියල්ලට ම මුල් වුණේ රුඩොල්ෆ් ඩීසල් තැනූ ඒ විස්මිත එංජිමයි. මේ යන්ත්‍රවලට භාවිත කළ ඉන්ධන හැඳින්වූයේ ද ඔහුගේ නමින්. ජාති, භාෂා බේද ආදියෙන් තොරව ‘ඩීසල්’ යන්න අපට පොදු නමක් වුණේ එහෙමයි.
රුඩෝල්ෆ් ක්‍රිස්ටියන් කාල් ඩීසල් (Rudolf Christian Karl Diesel) උපන්නේ 1858 මාර්තු 18 වන දා ප්‍රංශයේ පැරිස් නගරයේදියි. පවුලේ දෙවැනියා ලෙස උපන් ඔහුට සති කීපයක් වෙද්දී ගොවි පවුලකට බාර කෙරුණු අතර ඔහු නැවත මව ළඟට ආවේ මාස නවයකට පසුවයි. ඔහු කුඩා කාලයේ ඉගෙනීමට දක්ෂ දරුවකු වුණා. පවුලේ අගහිඟකම් බොහෝ වීම නිසා ඔහුට කුඩා වියේදී ම පියාගේ සම්භාණ්ඩ වැඩ පළේ වැඩ කිරීමට සිදු වුණා.
ෆ්‍රැන්කෝ-පෲසියානු යුද්ධය හේතුවෙන් ඔවුන් ජර්මානුවන් වූ නිසා ප්‍රංශයෙන් පිටවීමටද ඔවුන්ට සිදුවුණා. ඔවුන් එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචියට ආවා. එහිදී මව ඔහුව ඔග්ස්බර්ග්හී විසූ ඔහුගේ නැන්දා හා මාමා වෙත යැව්වා. ඔහු මාමා ගණිතය ඉගැන්වූ පාසලේ ඉගෙන ගත්තා. ඔහු ජර්මන් භාෂාව හොඳින් හැදෑරුවා. 14 වියේ දී ඔහු මාපියන්ට ලියා යැව්වා, ඔහුට ඉංජිනේරුවකු වීමට අවශ්‍ය බව. 1873 දී මූලික අධ්‍යාපනය ඉහළින් ම නිමා කළ ඔහු ඊළඟට එහි අලුතින් පටන්ගත් කාර්මික විද්‍යාලයට ඇතුළු වුණා.
වසර දෙකකට පසු ඔහුට මියුනික්හී රාජකීය බැවේරියානු බහුතාක්ෂණික ආයතනයෙන් ශිෂ්‍යත්වයක් හිමි වුණා. කාර්මික විද්‍යාලයේ ඉගෙනීමෙන් පසු මාපියන්ට ඔහු කෙළින් ම රැකියාවකට යවන්නට අවශ්‍ය වුවත් ඔහු ඊට එරෙහිව යමින් ඒ ශිෂ්‍යත්වය බාර ගත්තා. ඔහුට එහිදී ඉගැන්වූ එක් මහාචාර්ය වරයකු වූයේ කාල් වොන් ලින්ඩේයි. ටයිෆොයිඩ් රෝගය නිසා අවසාන විභාගයට වාඩි වීමට ඔහුට හැකි වුණේ නෑ. ඊළඟ විභාගය තෙක් බලා උන් ඔහු ඒ කාලය තුළ ස්විට්සර්ලන්තයේ යාන්ත්‍රික වැඩ පළක ප්‍රායෝගික පුහුණුවක්ද ලැබුවා. 1880 දී විභාගය ඉහළින් සමත් වූ ඔහු යළි ප්‍රංශයට ආවා. එහි දී ඔහු මහාචාර්ය කාල් වොන් ලින්ඩේ සමග එක් වුණා. ඒ නවීන ශීතකරණ කම්හලක් හා අයිස් නිෂ්පාදනාගාරයක් සැලසුම් කොට ආරම්භ කරන්නයි. වසරකට පසු ඔහු එහි අධ්‍යක්ෂවරයා වුණා. එහි දී ඔහු නොයෙකුත් නව නිපැයුම් ඒ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නා.
කෞතුකාගාරවල තැන්පත් කර ඇති ඉපැරණි
ඩීසල් එංජිමේ ආකෘති දෙකක්.
1883 දී ඩීසල් මාර්තා ෆ්ලෑෂී සමග විවාහ වුණා. දිගට ම ලින්ඩේ සමග වැඩ කළ ඔහු තමා කළ නව නිපැයුම් සඳහා හිමිකම් ජර්මනියේත් ප්‍රංශයේත් ලියාපදිංචි කළා. 1890 දී ඩීසල් බිරිඳ හා දරුවන් සමග බර්ලින් නුවරට ගියේ එහි අරඹන ලද ලින්ඩේගේ නව ආයතනයේ කටයුතු බාර ගන්නයි. යාන්ත්‍රික ශක්තිය ගැන පරීක්ෂණ කළ ඔහු එවකට යාන්ත්‍රික ශක්තිය නිපදවීමට භාවිත කළ ඉන්ධනවලත් ඉන් නිපදවන වාෂ්ප බලයත් අතර කාර්යක්ෂමතාව අපතේ යාමක් සිදුවන බව පෙන්වා දුන්නා. ඔහු ජල වාෂ්ප වෙනුවට ඇමෝනියා වාෂ්පය යොදා ගෙන පර්යේෂණ කළා. අධිපීඩනයක් යටතේ කළ ඒ අත්හදා බැලීමේදී එංජිම පුපුරා ගොස් ඔහුට වරක් රෝහල් ගත වීමට පවා සිදුවුණා. ඔහු මිය නොගොස් මාස ගණනක් රෝහල් ගතව සිට බේරුණේ අනූනවයෙනි. ඔහු අත්හදා බැලීම් කළේ අධිපීඩන තත්වයන් යටතේ සිලින්ඩර ශීර්ෂ සඳහා යකඩ හා වානේ යොදා ගැනීම පිළිබඳවයි.
මහාචාර්ය කාල් ලින්ඩේගේ දේශනවලට සවන් දුන් ඩීසල් උත්සාහ කළේ වඩාත් කාර්යක්ෂම අන්තර් දහන එංජිමක් තැනීම පිළිබඳවයි. ඔහු වසර ගණනාවක් ගත කොට අත්හදා බැලීම් කර 1892 දී ‘වාෂ්පබල එංජිම හා පවත්නා දහන යන්ත්‍රවලට විකල්ප වශයෙන් යොදා ගත හැකි නව යාන්ත්‍රණයක් හඳුන්වා දීම’ යන මැයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. ඒ තමා ඩීසල් එංජිම ලෝකයට හඳුන්වා දුන් මුල් ම අවස්ථාව. 1893 දී ඔහුට ඒ සඳහා ජර්මන් හිමිකම් බලපත්‍රයක් ද හිමිවුණා. ඒ සමගම එහි අඩුපාඩු කීපයක් පසුව දැක ගැනීම නිසා ඔහු ඒ වසරේම ඒ අඩුපාඩු සම්පූර්ණ කර අලුත් ඇයදුම් පතක් ඉදිරිපත් සංශෝධිත ප්‍රකාශනයක් ලියා පදිංචි කළා.
තාප ගති විද්‍යාව හොඳින් දත් ඩීසල් ඉන්ධන කාර්යක්ෂමතාව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික ගැටලු ගැන ප්‍රත්‍යක්ෂව හඳුනාගෙන තමයි, නව එංජිම පිළිබඳ සංකල්පය ඉදිරිපත් කළේ. වාෂ්ප බල එංජිම නිසා ඉන්ධන ශක්තියෙන් සියයට 90ක් ම අපතේ යන බව පෙන්වා දුන් ඔහු මේ නව සංකල්පයට අනුව වඩාත් වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගත හැකි බව පෙන්වා දුන්නා. ඔහුගේ නව එංජිමෙහි වායුව දැඩි පීඩනයට ලක් කර ඒ්වාට ඉන්ධන ඉන්ජෙක්ටර් ක්‍රමයට විද්දා. මේ ක්‍රමය අද ලොව පුරා හැමදෙනාම දන්න එකක් වුනත් මීට වසර 150කට ඉහත දී එය දැන සිටියේ ඩීසල් පමණයි.
ඒත් එදා සෑම කොටසක් ම ඇඳ ඔහු ඉදිරිපත් කළ රූප සටහන් සහිත ඒ කුඩා ප්‍රකාශනය එදා ලෝකයා පිළිගත්තේ නැහැ. ඔවුන් එය හැඳින්වූයේ ‘කඩදාසි ඇංජිම’ යන විකට නමිනුයි. ඩීසල් පසුව එහි ප්‍රායෝග ආදර්ශනය තැනුවා. ඒ සඳහා ඔහුට ‘ඔග්ස්බර්ග් මැෂිනන්ෆැබ්රික්’ (Maschinenfabrik Augsburg) ආයතනයේ අධ්‍යක්ෂ හොන්රිද් වොන් බස් ඩීසල්ට ඔහුගේ කම්හලේ පහසුකම් ලබා දුන්නා ඩීසල්ගේ සංකල්පය අනුව එංජිමක් තනන්නට. ඩීසල් වසර 4ක් අත්හදා බැලීම් කර තමාගේ ප්‍රකාශනයේ දැක්වූ එංජිම තැනුවා. 1897 දී ඔහුගේ ඒ එංජිම නිල වශයෙන් ක්‍රියාත්මක පරීක්ෂා කර බලනු ලැබුවා. ලොව පුරා මහා විප්ලවයකට මග පෑදූ ඒ ඓතිහාසික අන්තර්දහන එංජිම ජර්මනියේ මියුනික් නුවර ජර්මන් තාක්ෂණික කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා.
ඇමෙරිකාවට ගිය ඩීසල් එහිදී ව්‍යාපාරිකයන් හමු වී සිය නව එංජිම හඳුන්වා දීමේ සංචාරයකින් පසු 1913 සැප්තැම්බර් 29 වැනිදා ඩීසල් එස්එස් ඩ්‍රෙස්ඩෙන් ජර්මන් දුම් නැවෙන් ආපසු ඉංග්‍රීසි ඕඩය හරහා එංගලන්තයේ ලන්ඩනය බලා යමින් සිටියේ ඔහුගේ ඩීසල් එංජින් නිෂ්පාදක සමාගමේ ව්‍යාපාරික හමුවකට සහභාගි වීම සඳහායි. එදා රාත්‍රියේ 10 පමණ නිදන්නට සිය කුටියට ගියේ ‘උදේ 6.15ට යළි හමුවෙමු’ කියා නමුත් ඔහු එළියට ආවේ නැත. පසුව සොයා බලන විට ඔහු ඇඳෙහි නිදා සිටි බවක් පෙනුණේ ද නැත. ඔහු කාමරෙන් පිටතට යනු හෝ කිසිවකු දැක නැත.
දින 10කට පසු හඳුනා ගැනීමට අපහසු තරමට විනාශ වූ මළ සිරුරක් මුහුදේ පාවෙමින් තිබී ඕලන්ද මුර යාත්‍රාවකට හමුවී තියෙනවා. නරක් වී තිබුණ නිසා එහි සාක්කුවල තිබූ මුදල් පසුම්බියක්, හැඳුනුම් පතක්, සාක්කු පිහියක්, ඇස් කන්නාඩි කොපුවක් ඇතුළු පුද්ගලික භාණ්ඩ කීපයක් ඉවතට ගෙන සිරුර මුහුදට දැමූ බව ඔවුන් කියනවා. ඒවායින් තමයි, ඒ ඩීසල්ගේ දේහය බවට හඳුනා ගෙන ඇත්තේ.
ඔහු මුහුදට පැන දිවි නසා ගත්තා ද? ජර්මන් හමුදාවට සිය නිර්මාණ අයිතිය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු පසුපස හඹා ආ නැවේ සිටි ජර්මන් ඔත්තුකරුවන් විසින් ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ප්‍රධානීන් හමුවීම වැළැක්වීමට, මරා මුහුදට දැමුවා දැයි යන සැකයක් ද මතුවුණා. ලෝකය ම හෙල්ලූ නිර්මාණයක් කළත් ඔහු ණය බරින් මිරිකී සිටි බවත් එයින් ගැලවීමට ඒ සියලු කරදර මුහුදට බාර කරන්නට ඇතැයි ඔහුගේ පවුලේ උදවිය පසුව තීරණය කළා. ඒත් ඔහුගේ අවසානය තවමත් අබිරහසක්!
1 Comments
ඔව් එය අතිශයින් හිත රිදවන අවසානයක්.
ReplyDelete