සංචාරක ආකර්ෂණය බොහෝ විට සිදුවන්නේ රටක නෙත පිනවන, ගත සනහන. විස්මය දනවන, තැන්වලටයි. ඒ වගේ ම රටක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති තැන් ද සංචාරක ආකර්ෂණයට ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ආගමික වශයෙන් වැදගත්කමක් උසුලන තැන් ද අදාළ බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක්වන නිසා ඔවුන් ඒ තැන් වන්දනාවේ යාමට පෙලඹෙනවා. මේ කරුණු නොසලකා සංචාරකයන් හා වන්දනාකරුවන් ආකර්ෂණය කර ගන්නට ක්‍රමෝපායයන් යොදන අවස්ථාත් නවීන ලෝකයේ අපට දැක ගන්නට ලැබෙනවා.
එවැනි එක් තැනක් තමා පුත්කිරි (Putkiri) විහාරය. ලොවපුරා බොදු බැතිමතුන් ආකර්ෂණය කර ගැනීමට කාම්බෝජයේ ටෙකියෝ (Takeo) පළාතේ ත්‍රපාන් ක්‍රෝ නොවාන් (Trapaing Kro Nhoun) ගම්මානයෙහි අලුතින් ඉදිකර ඇති 84,000ක් බුදු පිලිම තැන්පත් කළ මේ විස්මිත පුද බිම සොයා ගෙන ලොව දසදෙසින් සංචාරකයන් එනවා. ඒ පුද බිම පුරා ම ඇත්තේ විවිධ ඉරියව්වලින් වැඩ හිඳින විවිධ ප්‍රමාණවල බුදු පිලිමයි. මෙය බොදු බැතිමතුන් වෙනුවෙන් විශේෂයෙන් ඉදි කළ නව පුද බිමක්. සංචාරක ආකර්ෂණයක් ලෙස ඉදි කර ඇති මෙහිදී එකවර බුදු පිලිම 84,000ක් වන්දනාමාන කර ගන්නට බොදු බැතිමතුන්ට පුලුවන්.
මීටර 30ක් උස කුඩා කඳු ගැටයක ඉදිකර ඇති මේ පන්සලෙහි ප්‍රධාන ආකර්ෂණය මීටර 10ක් (අඩි 32ක්) උස දැවැන්ත බුද්ධ ප්‍රතිමාවයි. ඒ බුද්ධ ප්‍රතිමාව යන්නට පියගැට 199ක් ඇති පඩිපෙළක් තියෙනවා. ඒ පඩි පෙළ දෙපස රන් ආලේපිත බුදු පිළිම දෙදහසක් තැන්පත් කර තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ මුළු පුද බිම පුරා ම තැන්පත් කර ඇත්තේ විවිධ ප්‍රමාණයේ බුදු පිලිමයි.
මේ අපූරු පන්සලේ නායක හිමියන් වූ පූජ්‍ය සෙරෙයි කෙයෝ කක්ධ (Serey Keo Kakda) ස්වාමීන් වහන්සේ කියන විධියට මෙතැන 84,000ක් බුදු පිළිම තියෙනවා. ‘බුදු දහමේ 84,000ක් ධර්මස්කන්ධ තියෙනවා. ත්‍රිපිටකයේ එන ඒ ධර්මස්කන්ධ නියෝජනය කරන්නයි, මේ සංඛ්‍යාව යොදා ගෙන තියෙන්නේ. ලෝකයේ වෙනත් කිසිම රටක මෙතරම් බුදු පිලිම සංඛ්‍යාවක් එක තැන පිහිටුවා නැහැ. මියන්මාරයේ ඇත්තේ බුදු පිලිම 5000ක් විතරයි. ඒ ගණන යොදා ඇත්තේ බුදුන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර පැවසූ පරිදි බුදු සසුන පවතින වසර 5000 නියෝජනය කරන්නයි.’උන් වහන්සේ පවසනවා. උන්වහන්සේ සමග තවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් මේ දැවැන්ත කටයුත්තට උර දී සිටිනවා.
පහත වීඩියෝවෙන් එහි දසුන් දැක ගන්න ඔබට පුලුවන්
0 Comments