වසර 62කට පෙර ‘ආසියාවේ රිදී සීනුව’ නිහඬ කළ හැටි!

ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කළ ශෝචනීය සිදුවීමක් මීට වසර 62කට පෙර, 1959 සැප්තැම්බර් 25 වැනිදා සිදුවුණා. අපේ රටේ සිදු වූ ප්‍රථම දේශපාලන ඝාතනය එයයි. ඊට ගොදුරු වූයේ ‘ආසියාවේ රිදී සීනුව’ ලෙස විරුදාවලි ලබා සිටි අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතායි. එදා එම සිදුවීමට අදාළ පැය 48ක සිදුවීම් නැවත ආවර්ජනය කිරීමකි, මේ. 

ඇස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ වාර්ෂික සැසිවාරය ඇමතීමට අගමැති බණ්ඩාරනායක මහතා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත තිබුණේ සැප්තැම්බර් 28 වැනිදාටයි. විසිපස් වැනිදා උදේ ඇමරිකානු තානාපති බර්නාඩ් ගෆ්ලර් මහතා කලින් යොදා ගත් පරිදි අගමැතිතුමා හමුවීමට රෝස්මීඩ් පෙදෙසේ පිහිටි නිවසට ආවා. සාකච්ඡා නිමවීමෙන් පසු තානපතිවරයා සමග නිවසේ ආලින්දයට ආ අගමැතිතුමා තනාපතිවරයා රියට නැඟී පිටත් වෙන තුරු බලා සිටියා. ආපසු හැරෙන විට රාජනීතීඥ ඇන්. ඊ. වීරසූරිය මහතා ආලින්දයේ අසුනක ඉන්නා බව දුටු අගමැතිතුමා ඔහුත් කැටුව අමුත්තන් පිළිගන්නා ශාලාවට ගියා. ඒ වන විටත් භික්ෂූන් වහන්සේලා දෙනමක් ආලින්දයේ අසුන් ගෙන සිටියා. 

කෙටි පිළිසඳරකින් පසු වීරසූරිය මහතා ද මෝටර් රථයට නඟිනතුරු බලා සිටි අගමැතිතුමා ආපසු හැරී ආලින්දයේ සිටි හිමිවරුනට දොහොත් නඟා ආචාර කළා. ඒ සමඟ ම එක් භික්ෂුවක් සිය සිවුර අස්සෙන් එළියට ඇද ගත් පිස්තෝලකින් අගමැතිතුමාට එක පිට එක වෙඩි තැබූවා. අගමැතිතුමා ලේ පෙරාගෙන ගෙතුළට දිව ගියා. 

1956 මැතිවරණය දිනා හොරගොල්ලේ අවුරුදු කෑම මේසය අසල බණ්ඩාරනායක මහතා දරුවන් සමග, සුනේත්‍රා, චන්ද්‍රිකා, අනුර. (ඡායා. හෙක්ටර් සුමතිපාල)/div>

ගෙතුළෙහි සිටි සිරිමාවන්ට ද මේ වෙඩි හඬ ඇසුණා. ඒ අනුව ඇය ආලින්දය දෙසට දිව ගෙන ආවා. සාහසික භික්ෂුව අගමැතිතුමා පසුපස එලවාගෙන එනු සිරිමාවන් දුටුවා. භික්ෂුව ඇය දෙසට ද පිස්තෝලය එල්ල කළා. ඒ සමග අගමැතිතුමා ආපසු භික්ෂුව දෙසට හැරුණා. මඳකුදු බියක් නොදැක්වූ ඇය ඒ සැහැසි භික්ෂුවගේ සිවුරෙන් ඇද්දා. ඒ මොහොතේ එහි කඩා පැන්න හේමා දාබරේ පුටු උඩින් පැන විත් සාහසික භික්ෂුව මෙල්ල කර බිම වැටුණු පිස්තෝලය පාගා ගත්තා. එතෙක් වාරු නැතිව සිටි අගමැතිතුමා හාන්සි පුටුවක හාන්සි කරවීමට හේමා දාබරේ උත්සුක වූ නිසා සහසික භික්ෂුව එතැනින් පැන ගත්තත් ඔහුට ගේට්ටුවෙන් පිටතට යාමට හැකි වුණේ නැහැ. එහි සිටි ආරක්ෂක පොලිස් භටයා ඔහුට වෙඩි තබා බිම හෙළා අත් අඩංගුවට ගත්තා. 

‘සිවුරක් ඇඳ ගත්තු මිනිහෙක් මට වෙඩි තිබ්බා’ අගමැතිතුමා මැතිනියට කීවා. 

‘එතුමා වෙඩි කා ගෙන මා ඉදිරියට දුවගෙන ආ හැටි මට අදත් මැවිලා පේනවා.’ මැතිනිය පසුව කීවා. 

එදා සැණෙකින් ක්‍රියාත්මක වූ මැතිනිය රෝස්මීඩ් පෙදෙසේ සිට එතුමා කැඩිලැක් මොටෝරියෙන් මහ රෝහලට ගෙන ගියේ ඔහුගේ හිස එතුමියගේ උකුල මත හොවා ගෙනයි. ඔහුගේ සිරුර ලෙයින් නැහැවී තිබුණා. එසැණ රෝහල් ගත කළ එතුමාට ප්‍රතිකාර කරන්නට එවකට ලංකාවේ සිටි අති දක්ෂ වෛද්‍යවරුන් රැසක් එක් වුණා. ඇම්. වී.පී. පීරිස්, පී. ආර්. ඇන්තනීස්, එල් ඕ. සිල්වා, නොයෙල් බර්තොලොමියුස් යන වෛදවරුන් ද ඒ පිරිසට ඇතුළත් වුණා. මහ රෝහල තුළට ගෙන යන මොහොතෙත් අගමැතිතුමා හොඳ සිහියෙන් සිටියා. ඒ මොහොතේ එතුමාගේ මුවින් පිටවුණු එකම වචනය ‘පැක්ස්’ (pax) යන්නයි. ඒ වදන උච්චාරණය කරද්දීම තමයි, එතුමා කෙළින් ම ශල්‍යාගාරයට ගත්තේ. (පැක්ස් යන ලතින් වදනෙහි තේරුම ‘සාමය’යන්නයි.) 

ඇස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා හා මැතිනිය සමග දරුවන්.

රාත්‍රි හතට, පළමු වෛද්‍ය නිවේදනය නිකුත් වුණා. ඉන් කියවුණේ, සිරුර තුළ පැවති තදබල තුවාල රැසකට හදිසි සැත්කම් කීපයක් කළ බවත්, දීර්ඝ කාලයක් ගත වූ ඒ කටයුත්තට අගමැතිතුමා ඉතා ඉවසීමෙන් මුහුණු දුන් බවත්, එතුමා තවමත් පසු වන්නේ බරපතල තත්ව‍යේ බවත් එයින් කියැවුණා. 

පසුවදා උදෙන් ම ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි තවත් වෛද්‍ය නිවේදනයක් ආවා.‘අගමැතිතුමා රැය සන්සුන්ව පහන් කළ බවත්, තත්වය සතුටුදායක වෙමින් පවතින බවත්’ ඉන් කියැවුණා. තදබල කම්පනයකින් සිටි මැතිනිය එදා රැය රෝහලේ අගමැතිතුමාගේ ඇඳ අසලට වී නො නිඳා පහන් කළ බව ගුවන්වදුලි ප්‍රවෘත්ති වලින් දැන ගන්න ලැබුණා. සිනාමුසු මුහුණින් මැතිනිය ඇමතූ අගමැතිතුමා තමාට ගෙදරින් බැනියන් කීපයක් ගෙන්වන ලෙස කී බවත්, අනතුරුව දරුවන් ගැන තොරතුරු විමසූ බවත් ඉන් කියැවුණා. 

ඉන්දීය අගමැති ශ්‍රී නේරු තුමන් මෙහි පැමිණි අවස්ථාවේ, 
බණ්ඩාරනායක අගමැතිතුමා, අනුර බණ්ඩාරනායක 
හා නේරු දියණිය ඉන්දිරා ගාන්ධි.

“අගමැතිතුමා වෙඩි පහරවලින් බරපතල තුවාල ලබා සිටියා. එවැනි තත්වයක් තිබියදීත් එතුමා තුළ පැවති අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය හා ධෛර්යය පුදුම එළවනසුලු යැයි” සැත්කමට එක් වූ ශල්‍ය වෛද්‍ය විශේෂඥ පී. ආර්. ඇන්තනීස් දොස්තර මහතා අගමැතිතුමා කළ සැත්කම ගැනත් එදා රෑ ගත කළ අයුරුත් ‘ජනතා’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු ව සිටි ඒමන් කාරියකරවන මහතාට සවිස්තරව කියා තිබුණේ මෙහෙමයි. 

“නිර්වින්දනය දීමෙන් පසුව අප නොසිතූ අන්දමට එතුමාගේ ස්වශනය හා නාඩි වැටීම නැවතුණා. එයින් පෙනී ගියේ ඇතුළත තුවාලවල ඇති බරපතල තත්වයයි. වහා හදවතට කළ තෙරපුමකින් පසු නාඩි පියවි තත්වයට පත් වූයෙන් අපි ශල්‍යකර්මය ආරම්භ කළා. වෙඩි උණ්ඩවලින් පෙණහැල්ල, අක්මාව, අග්න්‍යාසය, ප්ලීහාව, ආන්ත්‍ර ආදියට දරුණු ලෙස තුවාල සිදුවී තිබුණා. ඒවා ලේ විලක පා වෙනවා වාගෙයි පෙනුණේ. මෙවැනි දේ නිතර දකින අපිත් ඒ දුටු දෙයින් දැඩි කම්පාවට පත් වුණා.” ඇන්තනීස් දොස්තර මහතා කීවා. 

බණ්ඩාරනායක අගමැතිතුමාගේ දේහය රාජ්‍ය ගෞරව සහිතව මහජන ගෞරව සඳහා තැන්පත් කළ අවස්ථාවේ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, (වමේ) ආර්. ජී. සේනානයක, (දකුණේ) අනුර බණ්ඩාරනායක.

“වරින් වර එතුමාගේ ලේ නහරවල නාඩි නැවතුන බව අපට දැක ගත හැකි වුණා. එයින් පෙනී ගියේ එතුමාගේ රුධිර පීඩනය අනතුරුදායක ලෙසින් අඩුවන බවයි. ‘එතුමාගේ ජීවිතය අවසාන ද?. ශල්‍ය කර්මය නවතා දමන්නේ නැත්තේ ඇයි?’ කියා මට වරෙක සිතුණා. ඒත් එතුමා කලින් ‍වෛද්‍ය කටයුතුවලට හමු වූ අවස්ථාවල දී මට පෙන්වූ දයාවත්, මා කෙරෙහි දැක්වූ විශ්වාසයත් සිහිපත් වූ විට සැත්කම දිගට ම කරගෙන ගොස් කෙසේ හෝ මේ උදාර පුද්ගලයා ගලවා ගත යුතු යැයි මට තදින් සිතුණා. ඒ නිසා බලාපොරොත්තු අත් නොහැර සැත්කම කර ගෙන යන්නැයි මගේ සිත තදින්ම මට කීවා. එතුමා නිතර විහිළුවට කී දෙයක් මට එහිදී මතක් වුණා. ‘ඩොක්ටර්, මගේ සෞඛ්‍යය ගැන බලා ගන්න! මම එවිට රට ගැන බලා ගන්නම්!’ මේ ජීවිතය ගලවා ගත හැක්කේ අපට පමණයි, අප අපට ම කියා ගත්තා.” දොස්තර මහතා තවදුරටත් කීවා. 

“සැත්කමෙන් පසු අන්තිම මැස්ම මසා අවසන් කරන විට අගමැතිතුමාගේ තත්වය හොඳ අතට හැරී තිබුණා. නොඉවසිල්ලෙන් බලා සිටි වෛද්‍යවරුන් සතුට පළ කළා. මගේ බලාපොරොත්තු වැඩි වෙන්න පටන් ගත්තා. 

“සිංහරාජයා කොතරම් කුසගින්නෙන් පෙලුණත් තණ නොබුදින්නාක් මෙන් උසස් පෙළපතකින් පැවතෙන මේ විශිෂ්ට පුද්ගලයා මෙතරම් දරුණු ලෙස තුවාල ලබා පීඩාවෙන් සිටියදීත් එතුමා පෙන්නුවේ අප්‍රතිහත ධෛර්යයක්. වාට්ටුව ඇතුළතදීත් එතුමා නැවත නැවතත් කීවේ, ‘වෙඩි තැබූ තැනත්තාට අනුකම්පාවත්, සැලකිල්ලත් දක්වන්න. එය තමයි නියම කරුණාව’ කියායි. ඉන්පසු එතුමා නින්දට වැටුණා. එය අපට ඉමහත් අස්වැසිල්ලක් වුණා. මම ඇඳ අයිනේ වාඩි වී නිතර නිතර වෙනස් වන සෑම ඉරියව්වක් ම පරීක්ෂාවෙන් බලා සිටියා. පැය දෙකකට පසුව, එතුමා අවදි වී මඳ සිනහවක් පෑවා. එතුමාගේ දකුණත තම අත්ලෙහි තබා ගෙන අනික් අතින් එය පිරිමදිමින් සිටි මැතිනිය තුළ ඒ අවස්ථාවේ පැවති අධික සෙනෙහස හා ශෝකය මට විස්තර කරන්නට පුලුවන්කමක් නැහැ.” දොස්තර ඇන්තනීස් මහතා ඒ අවස්ථාවේ තිබූ තත්වය පැහැදිලි කළා. 

“එතුමා නැවතත් නින්දට වැටුණා. මා එතුමා හුස්ම ගන්නා අන්දම ගැන පරීක්ෂාවෙන් සිටියා. රුධිර පීඩනයේ වෙනස් කම් වරින් වර සිදු වුණා. මා ඒවා සටහන් කර ගත්තා. පාන්දර හතර විතර වන විට එතුමා තරමක් නොසන්සුන් බවක් පෙන්නුවා. එතුමා බාර්ලි ටිකක් ඉල්ලුවා. එවිට මට දිව ටිකක් පෙන්වන්නැයි මා කී විට එයට එතුමා පිළිතුරු දුන්නේ මට විහිළු කතාවකින්. ‘You want see my silver-tounge?’ ‘ඔබට මගේ රිදී දිව බලන්න ඕනෑ ද?’ (silver-tounge හි අරුත ‘චතුර කථිකත්වය’ යන්නයි.) යයි ඔහු ඇසුවා. එතුමාගේ ඇඳ අසලට ම වී සිටි මගේ අතට තට්ටු කරමින් ‘ඔබ මාව හොඳින් බලා ගන්න බව මම දන්නවා’ යයි කීවා. 

“අපට නොදැනීම රාත්‍රිය ගෙවී ගියා. සැප්තැම්බර් 26 වැනිදාට උදාවුණා. පාන්දර යළිත් ඇස් ඇර බැලූ අගමැති තුමා, ‘රැවුල කැපුවොත් නරකද ඩොක්ටර්’ කියා මගෙන් ඇසුවා. ‘අද කරන එකෙන් මහන්සිය වැඩි වෙයි, හ‍ෙට කරමු’යි මම යෝජනා කළා. උදේ 7.30ට විතර එතුමාගේ නාඩි වැටීමේ වේගය යළිත් දුර්වල වෙන්න පටන් ගත්තා. එතුමා විඩාබර ගතියක් පෙන්නුම් කළා. ඒත් ඒ වන විටත් හිටියේ හොඳ සිහියෙන්. ඒ අවස්ථාවේදි එතුමාගේ ලේකම්වරයාත්, අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාත් පැමිණ සිටියා. ඔවුන් සමග කතා කළ එතුමා වෙඩි තැබූ පුද්ගලයාට කරුණාව දක්වන ලෙස යළිත් ඉල්ලුවා. රාජකාරි කටයුතු ගැන කතා කළා. විදේශ ගමන අවලංගු කරන ලෙස කීවා. ඉන්පසු අමුත්තන් පිටත්ව ගියා. 

"ඒ අවස්ථාවේ ඉතුරු වුණේ බණ්ඩාරනායක මැතිනියත්, මාත් පමණයි. මැතිනිය එතුමාගේ දකුණු පැත්තෙනුත්, මා ඇඳ පාමුලත්, සිටියදී, හදිසියේ ම එතුමාගේ යටිතොල මඳක් සසල වුණා. ඒ මො‍හොතේ ම අවසාන හුස්ම හෙළුවා. 

“අපේ රටේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන, ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් තුළ නොමැකී පවතින, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අභාවයට පත් වුණා. ඒ මොහොතේ බණ්ඩාරනායක මැතිනිය සිය සැමියාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මතට සිහිසුන් ව ඇද වැටුණු අන්දම මට කිසි දිනෙක අමතක වන්නේ නැහැ.” දොස්තර ඇන්තනීස් මහතාට ඉන් එහාට කථා ගැනීමට නොහැකි වුණා. 

දින හයක් තිස්සේ රෝස්මීඩ් පෙදෙසේත්, කොළඹ පාර්ලිමේන්තු මන්දිරයේත්, හොරගොල්ල වලව්වේත් මහජන ගෞරව සඳහා තැන්පත් කර තැබූ අගමැතිතුමාගේ දේහයට ගෞරව දක්වන්නට දිවයිනේ නන්දෙසින් ගැලූ ජන ගඟ අති විශාලයි. එය පන් ලක්ෂයකට අධික යයි කියනවා.1956 බලයට පත්ව වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ එතුමාගේ අභාවය මෙසේ සිදු වීම මෙරට ජනතාවගේ හදවත් සසල කරන්නට හේතු වුණා. එපමණක් නොව මේ අභාවය නිසා මුළු ලොවමත් කම්පා වුණා. (මේ ගැන වාර්තා චිත්‍රපටයක් 'ගමනක අවසානය' යනුවෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට ඒකකයෙන් තනා තියෙනවා.) 

හොරගොල්ලේ ඉදි කර ඇති බණ්ඩාරනායක සමාධිය

මෙසේ රාජ්‍ය හා මහජන ගෞරව ලැබූ බණ්ඩාරනායක අගමැතිතුමාගේ දේහය ඔක්තෝබර පළමු වැනිදා සැන්දෑවේ හොරගොල්ල වලව්ව ඉදිරිපිට විශේෂයෙන් ඉදිකළ සොහොන් ගැබක තැන්පත් කරනු ලැබුවා. ඒ වෙනුවෙන් දැන් ‘බණ්ඩාරනායක සමාධිය’ නමින් ස්මාරකයක් ඉදිකර තියෙනවා. 

“රටට මේ තරම් සේවයක් කරපු කෙනෙකුට මේ වගේ දෙයක් කළා නම් අපි මේ රටේ ජීවත්වෙලා පලක් තියෙනවද කියල මට හිතුණා. දරුවන් තුන් දෙනත් අරන් කොහේ හරි යන්නයි මට හිතුණේ. ඒත් මගේ දෙමව්පියන් ඒකට ඉඩ දුන්නේ නැහැ.” සිරිමාවන් කීවේ දැඩි කලකිරුණු සිතෙන්. 

(මේ ලිපිය සම්පාදනය කිරීම සඳහා, මලල්ගොඩ බන්දුතිලකගේ ‘සිරිමාවෝ බණ්ඩාරනායක’ චරිතාපදානයත්, ඒමන් කාරියකරවනගේ ‘යුගයක අවසානය’ත්, ‘ජනතා’, ‘සිළුමිණ’ හා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පත්වල පළ වූ විශේෂාංග උපයෝගී කර ගත් බව කෘතඥ පූර්වකව සඳහන් කරමි.) 

- පර්සි ජයමාන්න 

 


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments