මේ සැප්තැම්බර මාසය සාහිත්‍යය සඳහා වෙන් වූ මාසයයි. කොවිඩ්19 වසංගතය උදා කළ ව්‍යසනය නිසා අපට අපගේ සුපුරුදු පොත් වසන්තයත් අහිමි වුණා. පුස්තකාලයකට ගොඩ වදින එකත් නතර වුණා. ඒ නිසා පොතපතට වෙන් වූ විශේෂාංග කීපයක් මේ මාසය පුරා පළ කරන්න අප කල්පනා කළා. අපේ ලේඛකයන් අතරින් වැඩි ම පොත් ලියූ ඩීමන් ආනන්ද ගැන සැප්. 1 වැනිදා ලිපියක් පළ කළා. ඉන්පසු ‘පෑනෙන් විස්කම් පාමින් ලොව හෙල්ලූ බහුලේඛකයෝ!’ යන මැයෙන් ලිපියක් පළ කළා. එහි පළමු වැනි කොටස 7 වැනිදා ‘මල්කුකුළු’වල පළ වුණා. අද පළ වන්නේ එහි දෙවැනි කොටසයි.
6. ළමයින්ට හාස්‍යජනක කතා ලියූ චාල්ස් හැමිල්ටන්
පාසල් ළමුන් ඉලක්ක කර ගෙන හාස්‍යෝත්පාදක කතා ලියූ චාල්ස් හැමිල්ටන් (Charles Hamilton) ඒ සඳහා යොදා ගත්තේ අන්වර්ථ නාමයක්. ඒ ‘ෆ්‍රෑන්ක් රිචඩ්ස්’ (Frank Richards) යන්නයි. ඔහු ලියූ කතා පොත් පෙළ හැඳින්වෙන්නේ ‘බිලී බන්ටර්’ (Billy Bunter) කියලයි. මුලින් ම මේ කතා ළමයින් සඳහා පළ වූ සතිපතා පත්‍රයකයි. පසුව මේවා පොත් වශයෙන් පළ වුණා.
චාල්ස් හැරල්ඩ් සැන්ට් ජෝන් හැමිල්ටන් (Charles Harold St. John Hamilton) 1876 අගෝස්තු 8 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නගරයේ උපන්‍නා. ඔහු මියගියේ 1961 දෙසැම්බර් 24 වැනිදා 85 හැවිරිදි වියේදියි. ඔහු ලේඛක දිවිය පුරාම වචන මිලියන සීයකට වඩා ලියූ බව සඳහන් වෙනවා. 1970 ගිනස් ලෝක වාර්තා පොතේ ඒ ගැන දැක්වෙනවා. ඔහුගේ ඒ කතා බොහොමයක් ‘ෆ්‍රියාඩේල්’ (Friardale) වෙබ් අඩවියට ඇතුළත් කර තියෙනව.
ඔහු ෆ්‍රෑන්ක් රිචඩ්ස් (Frank Richards)ට අමතරව විවිධ ප්‍රවර්ගවල පොත් ලියද්දී තවත් අන්වර්ථ නාමයන් කිහිපයක් පාවිච්චි කළ අයෙක්. ඒවා අතර මාටින් ක්ලිෆර්ඩ් (Martin Clifford), ඕවන් කොන්ක්වෙස්ට් (Owen Conquest), රැල්ෆ් රෙඩ්වේ (Ralph Redway) ආදිය වෙනවා.
7. නිර්මාණ කුසලතාවෙන් පිරුණු සුරූපී බාබරා කාට්ලන්ඩ්
බාබරා කාට්ලන්ඩ් ගේ සම්පූර්ණ නම තරම් දැවැන්ත රචිකාවක් ලෝකයේ නැති තරම්. ඇය 2000 මිය ගිය පසුවත් ඇගේ පොත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එක් වසරක් තුළ වැඩිම නවකතා ගණනක් පළ කළ කතුවරිය ලෙස ඇය පිළිබඳව 1977 ගිනස් ලෝක වාර්තා පොතේ සඳහන් වෙනවා. දළ වශයෙන් ඇය වසරකට නවකතා පොත් 23ක් ලියනවා. එහි එකතුව 723ක්. ඒවා ලෝකයේ විවිධ භාෂා 38කට පරිවර්තනය වෙලා තියෙනවා. ඇයගේ අභාවයෙන් පසු හමු වූ පොතේ අත්පිටපත ප්‍රකාශකයන් පළ කළේ ‘බාබරා කාට්ලන්ඩ් පින්ක් කලෙක්ෂන්’ (Barbara Cartland Pink Collection) නමිනුයි.
ආදර කතාවලට ප්‍රසිද්ධ වුනත් ඇය වෙනත් ආකාරයේ නිර්මාණත් කළා. ජීවන චරිත රචිකාවක්, නාට්‍ය රචිකාවක්, සංගීතවේදිනියක්, කිවිඳියක්, තිර නාටක රචිකාවක්, ඔපෙරා රචිකාවක් ලෙස නිර්මාණ බිහිකර තියෙනවා. ඒ වගේ ම සෞඛ්‍යය, පෝෂණය හා සූපවේදය පිළිබඳ පොත් කීපයක් ද සම්පාදනය කළා. ඊට අමතරව ඒ විෂයයන් යටතේ විවිධ සඟරාවලට ලිපි සැපයීමත් කළා.
ඇගේ පොත් මිලියන 750කට වඩා අලෙවි ඇති බව සඳහන් වෙනවා. ඇතැම් වාර්තාවල මේ අළෙවිය බිලියන දෙකක් ලෙස ද දක්වා තියෙනවා. වික්ටෝරියානු යුගයේ ඓතිහාසික පෙම් කතා ලියූ ඇය 20 වන සියවසේ ලෝකයේ වානිජ්‍යමය අතින් වඩාත් සාර්ථකත්වයට පත් ලේඛිකාව ලෙස සැලකෙනවා. ඇගේ නවකතා බොහොමයක් සිනමාවට හා ටෙලිවිශනයට නඟා තියෙනවා. ඇගේ යුගයේ දී ඇය ලන්ඩන් සමාජයේ කැපී පෙනෙන රූප ශෝභාවෙන් යුත් චරිතයක් ද වුණා.
8. ලොව වැඩි ම පොත් ගණනක් ලියූ රියෝකි ඉනොයි
බ්‍රසීලියානු ලේඛක රියෝකි ඉනොයි (Ryoki Inoue) ලෝකයේ වැඩි ම පොත් ගණනක් ලියූ ලේඛකයා ලෙස නම් කොට ගිනස් ලෝක වාර්තා පොතට එක් වී තියෙනවා. එය ගණනින් 1,075ක්. (ඔහුට දෙවැනි වන්නේ අපේ ඩීමන් ආනන්දයි.) රියෝකි ඉනොයි මේ පොත් සියල්ල ලියා ඇත්තේ ඒ නමින් පමණක් නොව, අන්වර්ථ නාමයන් 39ක් ද යොදා ගෙන තියෙනවා. ඔහු පොත් ලියන්නේ ප්‍රධාන වශයෙන් පෘතුගීසි භාෂාවෙන්. ඉංග්‍රීසි හා ජපන් භාෂාවලින් ද ඔහු පොත් ලිවීම කරනවා.
ජපන් (පියා) හා පෘතුගීසි (මව) සම්භවයක් ඇති රියෝකි ඉනොයි උපන්නේ 1946 ජූලි 22 වැනිදා, බ්‍රසීලයේ සාවෝ පවුලෝහිදියි. ඒ, ජෝස් කාලෝස් රියෝකි ඩි ඇල්පොයිම් ඉනෝයි යන නමිනුයි. ඔහු ලේඛක දිවිය ආරම්භ කළේ 1986දියි. මේ වන විට ඔහු ලියා ඇති පොත් ගණන 1,283ක්. ඔහු තවමත් පොත් ලියමින් ජීවතුන් අතර ඉන්නා නිසා ඉදිරියේ දී මේ ගණන තවත් වැඩි වේවි.
Ryoki.com වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි ඔහු පොතක් ලියන්න පරිගණකය ඉදිරියේ වාඩි වූ පසු යළි නැඟිටින්නේ පොත ලියා අවසන් කළ පසුවයි. බොහෝ විට රාත්‍රි ආහාරයෙන් පසු ලියන්නට වාඩි වුණොත් එළි වෙන්නට කලින් පොත ලියා අවසන් කරනවා. “ඔහුගේ මතයට අනුව ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය සම්පූර්ණ වන්නේ සියයට 98ක් දහඩියෙන්, සියයට එකක් කුසලතාවෙන්, අනිත් සියයට එක වාසනාවෙන්” යැයි එහි සඳහන් වෙනවා.
1976 දී සාවෝ පවුලෝ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරා උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු ලෙස සේවය කරමින් සිටි ඔහු, ඉන් ඉවත්ව, 1986 දී පූර්ණ ග්‍රන්ථකරණයට බැස්සා. කෙටි කලක් තුළ බ්‍රසීල පොත් වෙළඳ පොළේ අළෙවි වූ සාක්කු පොත් (pocket books) වලින් සියයට 95ක් ඔහුගේ ඒවා බවට පත් කර ගැනීමට හැකි වුණා. පළමු අවුරුදු හය තුළ නවකතා 999ක් ලිව්වා. ඒවාට බටහිර ගොපලු කතා, යුද්ධ කතා, මාරක කතා, රහස් පරීක්ෂක කතා, ඔත්තුකරුවන් පිළිබඳ කතා, පෙම් කතා පමණක් නොව විද්‍යා ප්‍රබන්ධ ද අයත් වුණා.
පොත් ලිවීමට අමතරව ඔහු ලොව පුරා පුවත්පත් සඟරාවලට කෙටිකතා, කොටස් වශයෙන් ලියූ රහස් පරීක්ෂක කතා හා ලිපි ද සම්පාදනය කළා. පුවත්පත් කතුවරයකු ලෙස ද සේවය කළා. මේ දිනවල ඔහු නිරතව සිටින්නේ අනෙක් පොත්වලට අමතරව වසරකට හොඳ ප්‍රේමවෘත්තාන්ත දෙකක් බැගින් පාඨකයන්ට ලබා දීමටයි.
9. ළමයින් බය හිතෙන කතා ලියූ ආර්. එල්. ස්ටයින්
වරක් ‘හොඳ පොත් කියවමු’ යනුවෙන් පැවති සම්මන්ත්‍රණයක දී ඇමරිකානු ලේඛක ආර්. එල්. ස්ටයින්‍ගෙන් එහි සිටි අයෙකු මෙහෙම ඇහුවා. ‘එකේ සිට දහයේ මිම්මට ගත්තොත් ඔබ කැමති තරුණ ළමුන් ත්‍රාසයට පත් කිරීම කුමන මට්ටමින් කරන්නද?’ ඔහු ඊට දුන්නේ මෙහෙම උත්තරයක්. ‘මං කැමති ළමයින් කියවීමට යොමු කරවන්නයි. ත්‍රාසයට ඔවුන්ට ලැබෙන බෝනස් එකක්’
ඇමරිකානු ලේඛක රොබට් ලෝරන්ස් ස්ටයින් (Robert Lawrence Stine) ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ කොලම්බස්වල උපන්නේ 1943 ඔක්තෝබර් 8 වැනිදායි. ඔහු ජෝවියල් බොබ් ස්ටයින් (Jovial Bob Stine), එරික් ඇෆබී (Eric Affabee) යන නම්වලින් ද නවකතා, කෙටිකතා, ටෙලිවිශන් තිරකතා ලිව්වා. ඒ වගේ ම ටෙලිවිශන් නිෂ්පාදකයකු, විධායක සංස්කාරකයකු ලෙසත් කටයුතු කළා. ඔහු තේමා නම්වලින් කතා ලිව්වා. මුලින් ම ඔහු ලියූ ‘ගූස්බම්ප්ස් කතා මාලාව’ (Goosebumps series) හා ‘බිහිසුණු වීදිය කතා මාලාව’ (Fear Street series) අලෙවිය අතින් සාර්ථක වුනත් බියකරු ලොවක් මවා ළමයින්ට කරන්නේ හානියක් යැයි වැඩිහිටියන්ගේ දෝෂ දර්ශණයට ලක් වුණා.
ස්ටයින්ගේ මුල් ම ග්‍රන්ථමාලාවට ඇතුළත් වූයේ හාස්‍යෝත්පාදක කතාන්තරයි. ළමයින් සඳහා ලියූ ඒවායේ සංඛ්‍යාව 40ක් පමණ වෙනවා. ස්ටයින් පොත් ලිවීම ආරම්භ කළේ වයස අවුරුදු 9 දියි. පරණ යතුරුලියනයක් භාවිත කරමින් මුලින් ම ළමයින් සඳහා හාස්‍යජනක කතා එකතුවක් කළා. ඒවායේ පසු කලෙක ඔහු ලියූ ජනප්‍රිය පොත්වලට ඇතුළත් වූ සංත්‍රාසය දනවන ස්වරූපය තිබුනේ නැහැ. ඔහු බියජනක හොල්මන් කතා ලියන ලේඛකයකු ලෙස ප්‍රකට වූයේ 1986 දී පළ කළ ‘නාඳුනන හමුවීම’ යන අරුත් ඇති බ්ලයින්ඩ් ඩේට්’ (Blind Date) නම් නවකතාවෙන්.
ස්ටයින්ගේ නමින් ඇති වෙබ් අඩවියට පිවිසුණොත් ඔහු ලියූ පොත් 157ක් ම ඔබට කියවන්න පුලුවන්. ඔහුගේ ග්‍රන්ථකරණය කෙතරම් වේගවත් ද යත් ඔහු විශාල ග්‍රන්ථයක් සම්පාදනය කරන්න ගත කරන්නේ දින හයක් පමණයි. දැනට 78 හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් ඒ ආකාරයෙන් ම නො කඩවා ලියනවා.
10. ස්පාඤ්ඤ බසින් ලියන එරට මහා ලේඛිකා කොරින් ටෙලාඩෝ
ප්‍රේමාන්විත නවකතා ලිවීමේ ශූරියක ලෙස ප්‍රකට ව සිටි ස්පාඤ්ඤ ජාතික ලේඛිකා කොරින් ටෙලාඩෝ (Corín Tellado) පොත් 5,000කට වඩා ලියූ ප්‍රබන්ධකාරියක්. ඇය ලිව්වේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ස්පාඤ්ඤ භාෂාව කථා කරන රටවල ඇගේ පොත් මිලියන 400ක් පමණ මේ වන විට අලෙවි වී තියෙනවා. ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ වෙනත් භාෂා රැසකට පරිවර්තනය කොට තියෙනවා. කොරින් ටෙලාඩෝ නමින් ලීවාට ඇගේ නම මාරියා දෙල් සොකොරෝ ටෙලාඩෝ ලෝපස් (María del Socorro Tellado López) යන්නයි. ඇය උපන්නේ 1927 අප්‍රේල් 25 වැනිදා ස්පාඤ්ඤයේ, ඇස්ටූරියාස්වල එල් ෆ්‍රැන්කෝහී දීයි.
යුනෙස්කෝ ආයතනයේ 1962 වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් ලියූ වැඩි ම පොත් ගණනක් අලෙවි වූ කතුවරිය ලෙසයි. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ඒ අතින් ඇය දෙවැනි වන්නේ ස්පාඤ්ඤයේ මහා ලේඛකයා සේ සැලකෙන මියෙල් දේ සරවන්ටේ (Miguel de Cervantes) නම් ලේඛකයාට පමණක් බවයි. ඔහු ලියූ ‘දොන් කිහොන්ටේ’ (Don Quixote) නම් හාස්‍යෝත්පාදක කෘතිය ‘විලම්බීත හාමු’ යනුවෙන් සිංහලෙන් පළ වී තියෙනවා.
කොරින් ටෙලාඩෝ මිය ගියේ හෘදයාබාධයකින්, අවුරුදු 82 දී, 2009 අප්‍රේල් 11 වැනිදා ස්පාඤ්ඤයේ ගියොන්හි දීයි. මිය යන විට ඇය තවත් නවකතා තුනක් අප්‍රකාශිතව ඉතිරි කර ගොස් තිබුණා. ඇගේ නවකතා දැන් සියල්ලක් ම පාහේ කියවීමේ පහසුව තකා ඩිජිටල් ක්‍රමයට හරවා සකසා තියෙනවා.
1994 ගිනස් ලෝක වාර්තා පොතේ දක්වා ඇත්තේ ඒ වසරේ ස්පාඤ්ඤ බසින් ලියූ වැඩි ම අලෙවියක් වාර්තා කළ පොත් ලියූ ලේඛිකාව හැටියටයි. කොරින් ටෙලාඩෝ ලියූ නවකතා ඒ යුගයේ බටහිර යුරෝපයේ සිටි රොමෑන්තික ලේඛක ලේඛිකාවන්ගේ කතාවලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තා. ඇගේ කතවල පසුබිම් වූයේ පවත්නා සමාජයයි. ඒ වගේ ම කාමුකත්වය, ඉස්මතු කළ අවස්ථා ඇගේ කතාවලින් නිරූපණය වුණේ නැහැ. ඒ කාලයේ රොමෑන්තික කතා ලියූ බොහෝ අය අවසානය සතුටින් නිමාවන ලෙසයි, ඒ කතා ලියුවේ. ඒත් ඇගේ සමහර කතාවල අවසානය සියලු දෙනාවම මවිතයට පත් කළා. අනෙක් අතට ඇය කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන පවා සිය නවකතා තුළින් කතා කළා.
ඒ කාලයේ ස්පාඤ්ඤ පාලකයන් දැඩි වාරණ පිළිවෙතක් සාහිත්‍යය සඳහා යොදා ගත්තා. ඒ නිසා ඇය ඒවා ලියුවේ ඉතාමත් පරිස්සමෙන් වුනත් ඇය කියන්නේ, “සමහර මාසවල ඇගේ නවකතා හතරක් ම සාහිත්‍ය බලධාරියා විසින් වාරණයට ලක් කරනු ලැබුවා. මුලදී මං බොහෝ දේ ගැන පැහැදිලිව, ඍජුව ලිව්ව කෙනෙක්. වාරණය තමයි මට මග පෙන් වූයේ දැන් මේ විධියට ලියන්න” වාරණය නිසා ම තමන් ඉගෙන ගත් බවයි.
0 Comments