සිංහලෙන් පොත් 1009ක් ලියා ලෝක වාර්තාවක් තැබූ යක්ෂ නවකතාකරුවා!

පොත් දහසක් ලියූ ලේඛකයෙක් හරියටම කීවොත් පොත් 1009ක් ලියූ ලේඛකයෙක් ශ්‍රී ලංකාවෙ හිටියා කීවොත් ඔබට විශ්වාස කරන එකක් නැහැ. ඔහුගේ 1009 වැනි පොත නිකුත් වුණේ 1999 දියි. කිසිම ලේඛකයකුට නොසිටි පාඨක පරම්පරාවක් ඔහුට හිටියා. ඔහුගේ පොතක් සති දෙකක් ඇතුළත 10,000ක් විකිණුණා. උණු කැවුම් වගේ විකිණුණත්, පාඨකයන් එකිනෙක‍ා හංගාගෙන කියෙව්වත්, ඔහු ලියූ පොත්වල අසභ්‍ය දේ, කාමය අවුස්සන දේ තිබුණේ නැහැ. ඒවායේ භාෂාව නිවැරදිව තිබුණා. එක හුස්මට කියවා යන තරමට රසවත්ව ලියා තිබුණා. එකල උන් ඇතැම් විද්වතුන්, පාසල් ගුරුවරුන් සමහර දෙමාපියන් දරුවන්ට මේ පොත් කියවීම තහනම් කළත් ඔහුගේ පාඨකයන් ඔහු අත් හළේ නැහැ. මාත් පාසල් යන කාලේ ඔහුගේ පාඨකයෙක්. වේගයෙන් පොත් කියවන්න මා පුරුදු පුහුණුව ලැබුවේ ඔහුගේ පොත් නිසයි. 

ඩීමන් ආනන්ද ලියූ 1009න් පොතක්

ඔහු තමා ඩීමන් ආනන්ද. (1933-2007). සැබෑ නම ඩිකී වීරකෝන්. ඒ නමින් රහස් පරීක්ෂකයෙක් ඔහුගේ කතාවලට එක් කර තිබුණා. ඔහුගේ දහසක් පොත් අතුරින් ඔහු අන්තිමට ලියූ නවකතාව ‘සැඩ සුළඟ’යි. දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් නිසා එය නිකුත් වූ 1999 සැප්තැම්බර් 14 වන අඟහරුවාදා සුපුරුදු පොත් දොරට වැඩීමේ දිනයේදියි. මීට දසක හතකට පෙර ඩීමන් ආනන්ද සිංහල පාඨකයන් අතරට ආවේ ‘ගංතෙර හොල්මන’ ත්‍රාසජනක නවකතාවෙන් එහි ආරම්භයේ මෙහෙම සටහනක් කතුවරයා තබා තිබුණා. ‘මේ පොත පාළු තැනක හිඳ කියවන්න එපා!’. ඊළඟ පොත වූයේ ‘මිනීමරු ජාවාරම’යි. එතැන් සිට දශක හතරක් ඔහු සිය අණසක පතුරුවමින් හිටියා. 

කලකට පෙර ‘ආනන්ද බෝඩිමේ සැඟවුණුු රසකතා’ කියලා පොතක් පළ වුණා. එහි කතුවරයා දෙව්සිරි බී. හේවාවිදානයි. එහි එක් රස කතාවක මෙවන් අපූරු සඳහනක් තිබුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිසුවකුගෙන් ඩීමන් ආනන්ද කතුවරයාට ලිපියක් ලැබුණා. ඔහු එහි ලියා තිබුණේ මාරක කතා සාහිත්‍යය ආනන්ද බෝඩිමේ ප්‍රචලිත කිරීමට තමන් දැරූ උත්සාහය ගුරුවරුන් කඩාකප්පල් කළ බවයි. පොත් නැතිව ළමුන් නො ක‍ා නො බී දුකෙන් සිටින බව තව දුරටත් එහි සඳහන් වුණා. සතියකට පසු ඒ සිසුවා‍ගේ නමට පාර්සලයක් ලැබිණ. එහි තිබුණේ ඩීමන් ආනන්දගේ පොත් 150ක්. ඒ පොත් 150 ම විනය පාලකයන්ට හා ගුරුවරුන්ට හොරා එකිනෙකා අතර හුවමාරු කර ගෙන කියවන්නට ඒ ළමයින් සමත් වූ බව දෙව්සිරි එහි ලියා තිබුණා. 

එවකට කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පතිව සිටි එල්. එච්. මෙත්තානන්ද මහතා ද ඩීමන් ආනන්ද ලියූ මාරක කතා පොත් ළමා මනස විනාශ කරන ඒවා ලෙස හඳුන්වමින් ඒවා පාසලට ගෙන ඒම පවා තහනම් කළා පමණක් නොව ඒ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශ පවා කළා. ඒ අනුව යමින් දිවයින පුරා සිටි විදුහල්පතිවරුන් මතය පාසල්වලට ගෙනාවා. ‘ඩීමන්’ කියන්නේ ‘යක්ෂයා’ බවත් යක්ෂයාගෙන් ලබන ‘ආනන්දය’ ළමුන් නොමග යවන බවත් කියා ගුරුවරුන් ඒ පොත් කියවීමෙන් ළමුන් ඈත් කර තබන්නට කළ හැකි හැම දෙයක් ම කළා. එයින් සිදු වූයේ ඒ පොත් වේගයෙන් අළෙවි වීමට පටන් ගැනීමයි. එකල ඔහුගේ පොතක් පිටවූ විට සතියක්, දෙකක් ඇතුළත පිටපත් 10,000ක් අළෙවි වූ බව සඳහන් වෙනවා. 

ඩීමන් ආනන්ද පාසලෙන් පිට වූ ගමන් ම කළේ රුසියානු ලේඛක ෆියදෝර් දොස්තොව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ ඉංග්‍රීසි බසින් සිංහලට නැඟුවා. ‘එය ප්‍රකාශයන් කීපදෙනෙකුට ම පෙන්වුවද, මං අලුත් අයකු වූ නිසා එය පළ කරන්න ඒ කවුරුත් කැමති වුණේ නෑ.’ ඩීමන් කියනවා. එයින් කලකිරීමට පත් ඩීමන් ආනන්ද පොත් ලිවීම අත්හැර පත්‍රකලාවේදියකු වීමට සිතුවා. ඒ රොබට් ජයවර්ධන කර්තෘ පදවිය දැරූ ‘සිනමා’ පත්තරේ වාර්තාකරුවකු හැටියටයි. 

ඩීමන් ආනන්ද 

මාරක කතා ලියන්නට පෙලඹුණේ කෙසේ දැයි ඇසූ විට ඔහු කීවේ, ‘පාසලෙන් පස්සේ පනස් ගණන්වලදි මගේ විනෝදාංශය වුණේ අලුත් කඩේ උසාවියට ගිහින් නඩු අහන එක. මහ ප්‍රසිද්ධ නීතීඥයන්, නඩුකාරතුමන් ඉදිරියේ තර්ක විතර්ක කරනවා මං බලන් උන්නා. එදා ඒ තැන්වල කියවුණු දේට වැඩි දෙයක් ඒ සිද්ධි පසුපස තියෙන බව මට තේරුණා. මං ඒවා ගැන හොයන්නත් හිතන්නත් පෙලඹුණා. එහි දී නොකියවුණු දේ ගැන සිතලා මං ඒවා සම්පූර්ණ කතා හැටියට ලියන්න පුරුදු වුණා. මිනීමැරුම් සම්බන්ධ නිසා ඒවා ඒවා “මාරක කතා” කියලා හැඳින්නුවා. ඊට අමතරව මට ඒ දවස්වල ජනප්‍රියව තිබුණු බටහිර ගොපලු චිත්‍රපට හා නවකතාවලත් ආභාසය ලැබුණා.’ කියලයි. 

ඩීමන් ආනන්දව මේ කතා ලියන්න පෙලඹවූ අනෙක් තැනැත්ත‍ා මරදානේ පංචිකාවත්තේ ලිංගම් පොත්හලේ හිමිකරු ලිංගම් මුදලාලියි. එදා ඔහු කීවේ ‘මිනිස්සුන්ට එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන්, සිගරැට් සුරුට්ටු වාගේ ඉක්මනින් විකිණෙන, පොත් ලියන්න කියලයි. ඔහු වික්කේ ඒ කාලේ කලෙයිමගල් සමාගම පළ කළ සින්දු පොත්. ඊට අමතරව දකුණු ඉන්දියාවෙන් ගෙනාපු දෙමළ හා ඉංග්‍රීසි පොත් තමයි, ඒ පොත් හලේ තිබුණේ. ලිංගම් මුදලාලි කිව්ව විදියට ඩීමන් එයාගේ පළමුවන පොත ලියලා දුන්නා. පොත පළ කළේ කලෙයි‍‍‍මගල් සමාගමයි. ‘ගංතෙර හොල්මන’ පිටු 112යි. මිල ශත 75යි. 

මා හිතමිතුරු සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ඩීමන් ආනන්දගේ පොත් ගැන මා සමග මධ්‍යස්ථව කතා කළ අයෙක්. එතුමා ඩීමන් ආනන්දගේ පොත් දකින්නේ අපේ සාහිත්‍යයේ ඇති වූ හිඩැසක් පුරවන්නට ආ පොත් ප්‍රවර්ගයක් ලෙසයි. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහගේ පොත් ඒ කාලේ සමාජයේ පිළිගැනීමට ලක් වූ පොත් වූ අතර ඒවා පාසල්වල භාවිතය සඳහා නිර්දේශ වුණා. පියදාස සිරිසේනගේ ජයතිස්ස සහ රොසලින් නවකතාවට පවා පාසල් ළමයින් කියවනවාට වැඩිහිටියන් විරුද්ධ වුණා. ඒ වගේ ම ඒ කාලේ බටහිරෙන් ආ චිත්‍රපට, නවකතා ලොව පුරා තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය වූ අතර සිංහලෙන් එවැනි නිර්මාණ බිහි වී තිබුණේ නැහැ. අපේ යොවුන් පරපුරට සංත්‍රාසය, දෙගිඩියාව, ඇතුළත් වික්‍රමාන්විත නවකතා කියවීමට අවශ්‍යව තිබුණා. ඒත් ඒ කාලේ තිබූ නවකතාවලින් ඒ අවශ්‍යතාව පිරිමැහුණේ නෑ. 

ඩීමන් ආනන්ද ලියූ 1009න් පොත් කීපයක්

එහෙම තියෙද්දී තමයි, ඩීමන් ආනන්දගෙ පොත් වෙළඳ පොළට ආවෙ. පිටු සීයක් විතර තියෙන ශත 75කට මිල කර ගම්පහ අබේසිංහ චිත්‍රශිල්පියාගේ දර්ශනීය වර්ණවත් පිට කවරයකින් සැරසී ආ ඒ කතා පොත් තරුණ පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්තා. ටොපි, සිගරැට් සුරුට්ටු විකිණූ කඩවල පොත් වැල් එල්ලා මග යන එන්නට පෙනෙන සේ ඒවා තබා තිබුණා. ලිංගම් මුදලාලි කී විදියට ඒ පොත් ටොලි, සුරැට්ටු, සිගරැට් වගේ විකිණුණා. 

‘ඩීමන් ආනන්ද ඒ කාලෙ හිටියේ මාත් එක්ක එක බෝඩිං කාමරේක. මරදානේ ශ්‍රී වජිරඥාන මාවතේ හෝටලයක උඩ තට්ටුවේ තිබුණු. ඔහුගේ ලියන මැෂිම ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ එදා මුල්ම පොත පිටවුණු දවසෙමයි. ඔහු රැයක් එළිවෙන්න කලින් පොතක් ලියලා ඉවර කරපු හැටි මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔහුගේ ලියන වේගය ගැන මට පුදුම හිතුනා. ඒ තරම් වේගයෙන් ලියන කෙනෙක් මං කවදාවත් දැකලා නෑ.’ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සූරීන් කීවා මට අද වගේ මතකයි. 

‘එයා හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට බලලා ඇවිත් එදා රෑ ම පොතක් ලිව්වා. එහෙම කතාවක් බලලා ඇවිත් මතකින් ලීවත් ඒවායේ රසය අඩු වුණේ නෑ. පොත අවසාන වන තෙක්ම කුතුහලය පවත්වා ගෙන යන්න ඔහු දක්ෂ වුණා. ඒ වගේ ම ඔහු භාෂාවත් නිවරදිව භාවිත කළා. ඒ නිසා ඔහුගේ පොත් නිසා පාඨකයාගේ කියවීමේ වැඩි කළා මිස පාඨකයාට හානියක් වුණේ නැහැ. සාමාන්‍ය පෙළේ ලේඛකයකු හැටියට ඔහුව අගය කළ යුතු ව තිබුණා. ඒත් ඒක ඉටු වුණේ නැහැ. ඒත් පාය කන්නඩි දාගෙන උන්න විචාරකයන් නිසා ඔහුට නිසි ඇගයීමක් ලැබුණේ නැහැ’ පල්ලියගුරු සූරීන් තවදුරටත් කීවා. 

1956 දී සිංහල, රාජ්‍ය භාෂාව වීමත් සමග සිංහල භාෂාව ගැන විශාල උනන්දුවක් ඇති වුණා. වෙනදා පොත් නො කියවන පිරිස් පවා ඩීමන්ගේ පොත් කියෙව්වා. ත්‍රාසය, කුතුහලය රැගත් ඩීමන්ගේ ඒ සරල නවකතා පොත්වලින් කියවීම හුරුකර ගත්, සිංහල පාඨකයන් පිරිස පුළුල් වුණා. ඒ අනුව ඔහුගෙන් පසුව ආ වඩා උසස් පොත් කියවන්නට එක් වූ පාඨක පිරිස වැඩි වුණා. ඒ වගේ ම ඩීමන්ගේ පොත් කියවා ලේඛකයන් වූ විශාල පිරිසක් ද අද සාහිත්‍ය ලෝකයේ ඉන්නවා. 

ඩීමන් ආනන්දටත් සම්මානයක් දිය යුතු යැයි 90 දශකයේ මුල් භාගයේදී එවකට සංස්කෘතික ඇමති ධුරය දැරූ විජමු ලොකු බණ්ඩාරට ප්‍රකාශක දයාවංශ ජයකොඩි යෝජනා කළා. පොත් වැඩි ගණනක් ප්‍රකාශනයට පත් කරන පොත් ප්‍රකාශකයාට සම්මානයක් පිරිනමන්නේ නම් පොත් වැඩි ගණනක් රචනා කළ ලේඛකයාට සම්මානයක් ලබා දිය නොහැක්කේ මන්දැයි එදා ඔහු තර්ක කළා. එහෙත් එදා සාහිත්‍ය අනුමණ්ඩලයේ සිටි සාමාජිකයන් එරෙහි වීම නිසා එය වැළකී ගියා. ඩීමන් ආනන්ද, පසුව සිනමා තිර රචකයකු බවට ද පත් වුණා. මේ දෑස කුමකටද, යළි ඉපදේ, සූරයා සූරයාමයි, දාමරිකයෝ යන සිනමා පටවල තිර රචකයා වූයේ ඔහුයි. 

60 - 70 දශකවල හිණි පෙත්තේ වැජඹුණු ඩීමන් ආනන්දගේ මාරක කතා පොත්වලට ඇති ඉල්ලුම 80 දශකයේ පහත වැටුණු බව කියන මහාචාර්ය පල්ලියගුරු කියන්නේ අසභ්‍ය පොතපත වෙළඳපොළට පැමිණීමෙන් ඩීමන් ආනන්දගේ පොත් කෙරෙහි තිබූ පාඨක ඉල්ලුම අඩු වූ බවයි. 

1999 සැප්තැම්බර් 14 වනදා ඔහුගේ 1009 වන කෘතිය වූ ‘සැඩ සුළඟ’ නිකුත් වූයේ දයාවංශ ජයකොඩි සමාගමේ දීයි. ඉන් අවුරුදු අටකට පසු 2007 දී ඩීමන් ආනන්ද වසර 74ක ආයුකාලයක් භක්ති විඳ දිවියෙන් සමු ගත්තේ ලෝකයේ වැඩිම පොත් ගණනක් එකම නමකින් ලියූ ලේඛකයා ලෙසයි. ලොව වැඩිම පොත් ගණනක් ලියූ ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි බ්‍රසීල ජාතික රියෝකි ඉනෝයි (Ryoki Inoue) පොත් 1075ක් ලියා ඇත්තේ විවිධ අන්වර්ථ නාම ගණනාවකිනි. ඔහු ද ඩීමන් ආනන්ද මෙන් පොතක් ලියන්නට පටන් ගත් පසු නොකඩවා දිවා රාත්‍රිය පුරා ලියා අවසන් කරන අයෙක්. 

ලොව පුරා වැඩි ම පොත් අළෙවි වී ඇති ඇගතා ක්‍රිස්ටි ලේඛිකාව ලියූවේත් රහස් පරීක්ෂක කතා. ඒ නිසා ඇයටත්, අගේ නිර්මාණවලටත්, ඇගේ බිලියන දෙකක් පොත් අළෙවියත් ඇයට ලොකු ගෞරවයක් ගෙනාවේ නැහැ. උසස් නවකතාකරුවකු ලෙස ඇයත් සලකනු ලැබුවේ නැහැ. ඒ නිසා මට හිතෙන විදියට අපේ ඩීමන් ආනන්දට වූ දේ අරුමයක් නෙවෙයි. 

- පර්සි ජයමාන්න 

 


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. මාත් ඩීමන් ආනන්ද කතුවරයාගේ රසිකයෙක්. ඔහුගේ පොතෙක හුස්මට කියවිය හැකි ඒවායි. රීඩබල්!
    අපි ඒ පොත්වලට වහ වැටෙන කාලේ පොතක් සත 90 යි.

    ඒ පොත්වල සයිස් එක ඩිමයි 1/8 නෙවෙයි, ඊටත් කුඩායි. ඉස්කෝලේ යද්දී රෝල් කරලා සාක්කුවේ ඔබාගෙන යන්නමද මන්දා එච්චර පොඩියට ඒ පොත් ගැහුවේ. අනෙක ඒ පොත්වල කවරත් අච්චු ගහලා තිබුණේ ආර්ට් පේපර්වලනෙ.

    එතුමාගේ පොත්වලට ලැබුණු ලොකුම ප්‍රසිද්ධිය 'මේ දෙඇස් කුමටද?' චිත්‍රපටයයි කියලා මට හිතෙන්නේ. ඒ film එකට පාදක වුණේ ඒ පොත.

    ReplyDelete
  2. නිදීගෙ පංච තන්තරේ, ඔබට තුති වැඩිපුර තතු දුන්නාට. ඩීමන්ගෙ පොත්වල හැඩය ඒ ගණයේ ඉන්දියානු පොත්වල අනුකරනයක්. මේ දෙ ඇස් කුමටද පොත ලිව්වෙ 'ඩීඩාර්' කියන හින්දි චිත්‍රපටය බලලා. ඒ චිත්‍රපටයෙ තිර කතාවත් ඩීමන්ගෙ. එහි අධ්‍යක්ෂ තිමති වීරරත්නයි.

    ReplyDelete