HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විදු වදන් හැදුණු හැටි - 1 සොබා දහම දායාද කළ විස්මිත ක්‍රියාවලියක් - ක්‍රමාකුංචනය (Peristalsis)

ක්‍රමාකුංචනය (Peristalsis) යන වදන, විද්‍යාව හදාරන දරුවන්ට මෙය නුහුරු නුපුරුදු වදනක් නොවේ. ආහාර මාර්ගය ගැන ඉගෙන ගනිද්දි මෙය නිතර භාවිත වන වදනක්. ආහාර මාර්ගය කියන නාළයේ පිහිටි වටකුරු පේශි, අනුපිළිවෙළට හැකිළීමත්, දිගහැරීමත් නිසා ආහාර එම නලය දිගේ ගමන් කරවීමට මෙය දායක වෙනවා. එපමණක් නොවේ. වකුගඩුවල පෙරෙන මූත්‍ර මූත්‍රාශයට තල්ලු කර යැවීමට, පිත් යුෂ පිත්තාශයෙන් ග්‍රහණිය වෙතට තල්ලු කිරිමට මෙන්ම ඩිම්බ කෝෂවල හට ගන්නා ඩිම්බ පැලෝපීය නාළ දිගේ ගමන් කරවීමටත් මේ ක්‍රමාකුංචනය යන සංසිද්ධිය උපකාරි වනවා. ඔබ ගැඩවිලෙකුගේ ගමන හොඳින් බලා සිටියොත් උගේ සිරුරේ හටගන්නා ක්‍රමාකුංචන තරංග දැක ගන්නට පුලුවන්. 

ආහාර දිර වීමට ඒවා ආමාශය වෙත ගෙන යන්නේ ක්‍රමාකුංචනයයි.

ක්‍රමාකුංචනය කියන වචනයේ අරුත පිළිවෙළකට හැකිළීමක් යන්නයි. සිංහල වදනට පාදක වූ ඉංගිරිසි පදය Peristalsis යන්නයි.එය බිඳී ආවේ Peristaltikos කියන ග්‍රීක පදයෙන්. මෙහි Peri යන්නෙහි අදහස වට කර ගත් යන්නයි. මේ peri කියන උපසර්ගය ඇතුළත් වදන් රැසක් තියෙනවා. Perimeter- පරිමිතිය, Peri circle-පරිවෘත්තය, pericarp-ගෙඩියක පිටතින් පිහිටි ලෙල්ල ඉන් කීපයක්. ඒ සියල්ලේ ම අරුත පිටතින් වටකොට පිහිටි යන්නයි. staltikos නැතිනම් stalsis යන පදයේ අරුත වන්නේ හැකිළීම යන්නයි. ආහාර මාර්ගයේ මුලින් සඳහන් කළ තැන්වල පිහිටි නළවල වටකුරු පේශිවල හැකිළීමෙන් සිදුවන චලනයක් නිසා ඒ නම යෙදෙනවා. මේ විදියට පදයක නිරුක්තිය දැන ගත්තා ම ඒවා නැවත නැවත හමුවන විට වටහා ගැනීම පහසුයි. 

ක්‍රමාකුංචනය නැතිනම් Peristalsis කියන ක්‍රියාව දැන් දැන් සිරුරෙන් බාහිරව විවිධ කටයුතු සඳහා ද උපයෝගී කරගන්නා බව ඔබ දන්නවාද? රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත වන හදවත් පෙණහලු මැසිම ආධාරයෙන් රුධිරය කාත්‍රිම ලෙස රෝගියාගේ සිරුර තුළ ගලා යැවීමට මෙම ක්‍රමාකුංචන ක්‍රිය වලිය උපයෝගී කර ගන්නවා. එහිදී රුධිරය පොම්පය තුළින් ගලන්නේ නැහැ. එසේ ම විවිධ කර්මාන්තවල දී පොම්පයක් තුළින් ගලා යාමට අවකාශ නො දී බට දිගේ දියර හෝ අර්ධ-ඝන ද්‍රව්‍ය තල්ලු කර යැවීටමත් මේ ක්‍රමාකුංචන ක්‍රියාවලිය උදව් කර ගන්නවා. 

- තිලක් ගමගේ 

(දිවයිනේ ප්‍රවීණ විද්‍යා ලේඛකයකු වන තිලක් ගමගේ මහතා ප්‍රකට විද්‍යා දේශකයෙකි. කාලයක් තිස්සේ ‘විජය’ ‘නවයුගය’ පුවත්වලට විද්‍යා ලිපි සැපයූ ඔහු, අප සමග එක්ව 6-12 ශ්‍රේණිවල සිසු දරුවන් වෙනුවෙන් මෙවැනි විද්‍යා කරුණු එක් රැස් කළ ‘සරසවි පාඨශාලීය ශබ්දකෝෂය’ සම්පාදනය කළේය. පාසල් සිසු දරුවන් වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කළ ඒ ග්‍රන්ථය මෙතෙක් සිංහලෙන් පළ වූ එකම කෘතිය වේ. එය සරසවි ප්‍රකාශනයකි. - පර්සි ජයමාන්න) 

 

Post a Comment

0 Comments