HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විදු වදන් හැදුණු හැටි - 2 ගුණය හෝ වේගය වැඩි කරන ‘උත්ප්‍රේරක’ (Catalyst)

යම් රසායනික විපර්සාසයක් අඩු ශක්තියක් යොදා වැඩි වේගයකින් සිදු කිරීම සඳහා විද්‍යාඥයන් විසින් ඒවාට යම් බාහිර ද්‍රව්‍ය එකතු කරනු ලබනවා. එමගින් සිදු වන්නේ සාමාන්‍යයෙන් අසීරු මාර්ගයක් ඔස්සේ සිදුවන එම විපර්සාස වඩාත් පහසු මාර්ග ඔස්සේ සිදු කිරීම සදහා යොමු කිරීමයි. ‘ප්‍රේරණය’ යනු යොමු කරන නැතිනම් පොලඹවන යන අරුත දෙන අතර ‘උත්-‘ යන්නෙන් එම ගුණය වැඩි දියුණු කිරීමක් අඟවනවා. උත්ප්‍රේරක යන සිංහල වදන යෙදෙන්නේ Catalyst යන ඉංගිරිසි පදය වෙනුවටයි. මෙය Katalyein යන ග්‍රීක පදයෙන් බිඳී ආවක්. kata යනු පහත හෙළීමක් නැතිනම් බිඳහෙළීමක් යන අරුත දෙන අතර lyein යනු ලිහිල් කිරිමක් යන්න අදහස් වනවා. ඒ නයින් ගත් කළ උත්ප්‍රේරක යනු ප්‍රතික්‍රියාවක අරම්භක ද්‍රව්‍ය හා අවසන් ඵල අතර පවතින ශක්ති බාධකය බිඳහෙළා එය වඩාත් පහසු මට්ටමක් දක්වා පහතට ගෙන ඒමට දායක වන ද්‍රව්‍ය ලෙස සැලකිය හැකියි. 


විද්‍යාත්මක වශයෙන් ‘උත්ප්‍රේරක’ යන්න නිර්වචනය වන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වෙනස් කරන අතර අවසානයේ බරින් හෝ සංයුතියෙන් වෙනස් නොවී පවතින ද්‍රව්‍ය ලෙසයි. උත්ප්‍රේරක භාවිතය ගැන මුල්ම වාර්තා 1552 තරම් ඈතට දිවෙනවා. වැලරියස් කෝඩස් (Valerius Cordus) නමැත්තෙකු විසින් මද්‍යසාරය ඊතර් බවට පත්කිරීම සඳහා සල්ෆියුරික් අම්ලය උත්ප්‍රේරකයක් ලෙස යොදා ගත් බව වාර්තා වෙනවා. පසුකාලිනව 1830 දී එලිසබෙත් ෆුල්හේම් (Elizabeth Fulhame ) මෙන්ම 1865 දී ජාකොබ් බර්සිලියස් (Jacob Bezelius) උත්ප්‍රෙරක භාවිතාවට ගත් බව සඳහන් වෙනවා. 

Catalyst යන ඉංගිරිසි පදයේ සාමාන්‍ය අරුත වන්නේ යම් වැදගත් සිදුවිමකට පාදක වන සංසිද්ධියක් ලෙසටයි. යම් අපරාධයක් සිදු වූ විට එය උත්ප්‍රේරකයක් වී එම අපරාධකරුවාට එරෙහි ව ජනතා නැගී සිටීමක් සිදුවිම එවැන්නක්. කොරෝනා නිරෝධායන වකවානුවල ජනතාව තමන්ට අවශ්‍ය වන ආහාර ගෙවත්තේ ම හැකි තරම් වවා ගැනීමටත් ඇතමුන් මේ සමයේ අවශ්‍ය වන විවිධ නිපැයුම් නිර්මාණය කිරීමටත් උනන්දු වීම මේ තවත් උදාහරණ ලෙස දැක්විය හැකියි. ඇතැම් විට උත්ප්‍රේරක මගින් යම් ප්‍රතික්‍රියාවක් වේගවත් කිරීම වෙනුවට එය අඩාල කිරීමක් සඳහා යොමු වන අවස්ථා ද තිබෙනවා. මේ නිසා ප්‍රතික්‍රියා වේගවත් කරන උත්ප්‍රේරක ධන උත්ප්‍රේරක ලෙසත් ඒවා අඩාල කරන උත්ප්‍රේරක සෘණ උත්ප්‍රේරක ලෙසත් වර්ගකර තිබෙනවා. 

සාමාන්‍ය උදාහරණයකින් දැක්වුවහොත් ගුරුවරයෙකු විසින් පවරන ලද කාර්යයක් ඒ ගුරුවරයා එම ස්ථානයේ නැති විට සිදු වන්නේ මන්දගාමී ස්වරූපයකින් වුවත් ගුරුවරයා එම ස්ථානයට පැමිණි විගස ළමුන්ගේ ක්‍රියාකාරීත්වය වේගවත් වීම දක්වන්න පිළිවන්.එහිදී ගුරුවරයා එම ක්‍රියාවට සහභාගී වන්නේ නැහැ. පෙනී සිටීමක් පමණයි. එසේ ම බෙහෙවින් ඝෝෂාකාරී පන්තියක ළමුන්ගේ එම හැසිරීම ගුරුවරයෙකුගේ පැමිණීමත් සමග සම්පූර්ණයෙන්ම වාගේ අඩාල වෙනවා. 

මුල් අවස්ථාවේ දී ගුරුවරයා ළමුන්ගේ චර්යාවන් සඳහා ධන උත්ප්‍රේරකයක් ලෙසත් දෙවන අවස්ථාවේ සෘණ උත්ප්‍රේරකයක් ලෙසත් ක්‍රියා කර තිබෙනවා. එක් එක් ප්‍රතික්‍රියාවක් සඳහා සුවිශේෂී උත්ප්‍රේරකයක් පවතින බව ද දත යුතුයි. එක ප්‍රතික්‍රියාවකට උත්ප්‍රේරකයක් වූ පමණින් එය සැමට ම පොදු වන්නේ නැහැ. පෙර නිදසුන ම පාදක කර ගත්විට ගුරුවරයාට තම සිසුන්නේ ක්‍රියාකාරකම් වේගවත් කිරීමට දායක විය හැකි වූවත් පාසලේ ම ඉදිකිරීමේ කටයුත්තක නිරත වන කම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරිමට ඔහුට හැකියාවක් නැහැ. 

- තිලක් ගමගේ

Post a Comment

0 Comments