අපේ ජාතික කොඩියට සිංහයා ආවේ කොහොමද? මහාවංශයේ සිංහබාහු පුරාවෘත්තය නිසාද? නැතිනම් අතීතයේ දී සිංහයන් ඇත්ත වශයෙන් ම අපේ රටේ ජීවත්ව සිටියාද? සිංහරාජ වනාන්තරයට ඒ නම ලැබුණේ අතීතයේ සිංහයන් එහි ජීවත්ව සිටි නිසාද? සිංහයන් අපේ රටේ ජීවත්ව සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්කියක් 1936 දී රත්නපුර, කුරුවිට, ඒදණ්ඩාවල පන්විල ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවුණා. පොළොව මට්ටමේ සිට අඩි 19ක් විතර ගැඹුරෙනුයි, මේ සාක්කිය සොයා ගනු ලැබුවේ. ඒ සිංහයකුගේ පොසිල දතක්! සිංහයකුගේ චාර්වක දතක් ලෙස හඳුනාගත් එය පසුව අපේ කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයකු ව සිටි පී. ඊ. පී. දැරණියගල මහතා විසින් ඒ සිංහ දත බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට තෑගි කොට තියෙනවා.
මේ සිංහ දතත් සමග තවත් පොසිල භවනය වූ තවත් සත්ව කොටස් මේ මැණික් පතලෙන් හමුවුණා. ඒවා අතර හිපපොටේමස්, රයිනෝසිරස් (කඟවේනා) පමණක් නොව වත්මන් අලියාට කලින් ජීවත්ව සිට වඳවී ගියේ යැයි සැලකෙන ‘එලිෆස් මැක්සිමුස් සිංහලයුස්’ (Elephas maximus sinhalaeyus) නමින් විද්‍යාත්මකව හැඳින්වෙන ආදීම අලියාගේ කොටස් ද තිබුණා.
මේ හැරෙන්නට ඈත අතීතයේ දී ලංකාවේ ව්‍යාඝ්‍රයන්, පැරණි ගවයන් වූ ගවරා වැනි සතුන් ද ජීවත් වූ බවට තහවුරු කරන පුරාවිද්‍යාත්මක සාක්කි මේ වන විට සොයා ගෙන තියෙනවා.
අප ජීවත්වන මේ හොලෝසින යුගය ආරම්භ වූයේ මින් වසර 11,700කට පමණ පෙරයි. ඊට පෙර යුගය පැවතියේ අවසාන ග්ලැසියර යුගයයි. එය හැඳින්වෙන්නේ ප්ලයිටෝසීන (Pleistocene) යුගය ලෙසයි. එය වසර ලක්ෂ 26ක් තරම් විශාල කාල පරිච්ඡේදයක්. කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියන්නේ මේ කාලය තුළ, එනම් මීට වසර එක් ලක්ෂ පනස් දහසක් හෝ ඊට පෙර සිංහයන්, ව්‍යාඝ්‍රයන්, හිපපොටේමස් වැනි වඳ වී ගිය සතුන් ජීවත්ව සිටියා යැයි සැලකිය හැකි බවයි.
ප්ලයිටෝසීන යුගයේ ජීවත්ව වඳ වී ගිය සතුන්ගේ පොසිල වැඩි හරියක් හමු වී ඇත්තේ රත්නපුරය අවට ප්‍රදේශයේ දියළු තැන්පතුවලින්. රත්නපුරයට අමතරව මොණරාගල, බදුල්ල යන ප්‍රදේශවල ලුණුගල, අඩාවත්ත මැණික් පතල්වලින් මෙන්ම දකුණු පළාතේ කලමැටියෙන් ද මේ යුගයේ පොසිල හමුවී තියෙනවා. මේ යුගයේ දී රත්නපුරය ප්‍රදේශය ගංගා විල් ආදියෙන් පිරුණු, අධික වැසි සහිත වනාන්තරවලින් සමන්විත සැවනා බිම් ලෙස පවතින්නට ඇතැයි ද වැසි සහිත විද්‍යාඥයන් විශ්වාස කරනවා.
‘මිනිස්සු මැණික් පතල් හාරන්නේ ඒ අතීතයේ පැවති ගංගාවල පතුල් හමුවන බිම්වලයි. ඒ තෙත් සහිත පොළොවෙහි පරිසරය සතුන්ගේ අස්ථි කොටස් සුරැකිව තැන්පත් වීමටත් ඒවා පොසිලභවනය වීමටත් තත්වයක් උදා කරනවා. රත්නපුරයේ විතරක් නොවෙයි, අනෙක් ප්‍රදේශවලත් සිංහයෝ ඉන්න ඇති. ඒත් අපට තවම සාක්කි හමුවෙලා නෑ.’ යයි මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා.
1982 දී ආචාර්ය ශිරාන් දැරණියගලගේ මෙහෙයවීම යටතේ බටදොඹ ලෙනෙහි කැණීම් ආරම්භ කෙරුණු අතර එහි දී සතුන්ගේ අස්ථි කොටස් හා දත් අති විශාල ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා. ඒවා බලන්ගොඩ මානවයා විසින් දඩයම් කර ගෙන අවුත් අනුභව කරන ලද සතුන්ගේ කොටස් ලෙස හඳුනා ගැනුණා. මේවා විශ්ලේෂණය කරන්නට 1985 දී එක් වූ සත්ව විශේෂඥයන් අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජූඩ් පෙරේරාත් කීට විද්‍යාඥ පී. බී. කරුණාරත්න, තමනුත් සම්බන්ධ වූ බව කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා.
‘බටදොඹ් ලෙනේ හතර වන පස්වන ස්තරවල කැණීම්වලදී අපට ලැබුණා, සුවිශේෂ ඇඟිලි පුරුක් සහ දත් කෑලි හතරක්. ඒකෙන් දෙවැනි ඇඟිලි පුරුක කිසිම පළුද්දක් නැතිව සම්පූර්ණව තිබුණා. අපි ඒ වෙලාවෙ හිතුවෙ ඒක සිංහයකුගෙ කියලයි. ඒක 1986 දී ආචාර්ය ශිරාන් දැරණියගල මහත්තයා ඒක යැව්වා එංගලන්තතෙ ලන්ඩන් නුවර ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයට. ඒක පරීක්ෂා කර බැලූ ක්ෂීරපායීන් පිළිබඳ විශේෂඥ ආචාර්ය ක්ලූටන් බ්‍රෝක් ඒවා පරීක්ෂා කර බලා ඒවා සිංහයකුට අයත් ඒවා යයි නිගමන කළා.
‘ඒත් ඊට පස්සෙ 1994 පටන් මම මේ ඇඟිලි පුරුක හා දත් කෑලි අර ගෙන ඉන්දියාව, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල කෞතුකාගාරවලට ගියා. ඒවායේ තියෙන සිංහ හා ව්‍යාඝ්‍ර ඇඟිලි පුරුක් සිය ගණනක් මැන සන්සන්දනය කර බැලුවා. ඒ ගණනය කිරීම් අනුව ඒක සිංහයන්ට නොව ව්‍යාඝ්‍රයන්ට සම්බන්ධ එකක් බව තහවුරු වුණා. ඒ අනුව මම පළමු වතාවට ඒ බව තහවුරු කරලා පර්යේෂණ පත්‍රිකාවක් පළ කළා.’ යයි කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා.
බටදොඹ ලෙනෙන් හමු වූ ‘සිංහයා’ ඉන් වසර අටකට පසු ‘ව්‍යාඝ්‍රයකු’ වූයේ එහෙමයි. ඒ සමගම ඒ අස්ථි කොටස් කාබන් 14 පරීක්ෂාවට ලක් කළ අතර එයින් එම කොටස් වසර 17,000ක් පැරණි ඒවා බවට තහවුරු වුණා. ඒ සොයා ගැනීම වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානය ද පිරිනැමුණා.
ශ්‍රී ලංකාවේ ජීවත්වූ ව්‍යාඝ්‍රයන්ගේ පොසිල තවත් හමු වී තියෙනවා. 2008-9 වසරවල ගම්පහ පොත්ගුල් ලෙනෙන් වගේ ම 2012 දී බුලත්සිංහල පාහියන් ලෙනෙන් ද හමුවුණා. මීට අමතරව 2008 දී කුරුවිට මැණික් පතලකින් රදනක දතක් හමුවූ අතර එය සිංහයකුගේ ද ව්‍යාඝ්‍රයකුගේ ද නිශ්චිත කිව නොහැකිව ඇත්තේ එහි කොටසකට හානි වී තිබීම නිසයි.
‘ඉන්පසු නමුණුකුළ කඳුවැටිය ආසන්නයේ පිහිටි ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ කළ මැණික් පතල් කැණීම්වලදී රයිනෝසිරස් හිස් කබල් දෙකක් හමුවුනත් අවාසනාවට ඒවා අප අතට පත් වුණේ නැහැ. ඒවා හමුවුණේ අඩි 62ක් ගැඹුරු මැණික් පතලකින්. මහා වැස්සක් ඇද වැටී ඒවා ගහගෙන ගිය බවත්, එහි වූ දත් පමණක් ගලවා ගත් බවත්, ඒ ගෙනා තරුණයන් අපට කීවා. ඒ දත් වසර 80,000ක් පැරණි යැයි විද්‍යාත්මකව තහවුරු වුණා.’ යයි කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා.
කැලුම් මනමේන්ද්‍ර ආරච්චි මහතා තවත් අපූරු වැඩක් කරලා තියෙනවා. අතීතයේ විසූ පසුව වඳවී ගිය සතුන් ඔබට දැක ගන්න කැමති නම් ඒ සතුන් දැන් ප්‍රති නිර්මාණය කරලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකය සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුව තමයි, එයට දායකත්වය සපයා තියෙන්නේ. රත්නපුර කෞතුකාගාරය නරඹන්න ගියොත් එහි එළිමහනේ මේ සතුන් ඉන්නවා දැක ගත හැකියි.
‘ඒක අධීක්ෂණය කළේ මමයි. සම්පූර්ණ සතාව කොළයක ඇඳලා මිමි, මූලික රූප විද්‍යාත්මක ලක්ෂණ ආදිය සියල්ල විශ්ව විද්‍යාලවල විශේෂ පුහුණුව ලත් මූර්ති ශිල්පීන්ට දුන්නා. අපට අවශ්‍ය වුණේ පොසිල විද්‍යාව, පුරාණ ජෛව විවිධත්වය ගැන විශ්ව විද්‍යාල සිසුන්ට, පාසල් සිසුන්ට සහ පොදු ජනතාවට දැනමක් ලබා දෙන්නයි, මේවා නිර්මාණය කළේ.’ මනමේන්ද්‍ර ආරච්චි මහතා කියනවා. (බී.බී. සී සිංහල සේවය ඇසුරෙනි.)
- පර්සි ජයමාන්න
0 Comments