HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවට පළමු පැරා ඔලිම්පික් රන් පදක්කම දිනා දුන් දිනේශ්

මෙවර 2021 තෝකියෝ පැවති 2020 ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා ගැනීමට නොහැකි වුවත් ඉන් අනතුරුව එහි ම පැවති පැරා ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වීම අපේ ක්‍රීඩා ලෝලීන්ට බලවත් සතුටක්. මේ සතුට අපට අත් කර දුන්නේ ‍දිනේශ් ප්‍රියන්තයි. ඔහු හෙල්ල විසි කිරීමේ F45 ඉසව්වෙන් මීටර 67.79ක් දුර හෙල්ල විසි කොට ලෝක වාර්තාවක් ද පිහිටුවමින් පසුගිය අගෝස්තු 30 වැනිදා රන්පදක්කම දිනා ගත්තා. පැරා ඔලිම්පික් ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව හිමි කර ගත් එකම රන් පදක්කම එයයි. 

ලක්මව රනින් එළිය කළ දිනේශ් ප්‍රියන්ත ජයග්‍රාහී මොහොතේ සිංහ ධජය ගෙන

2016 වසරේ බ්‍රසීලයේ රියෝ ඩි ජනීරෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ දීත් ඔහු මේ ඉසව්වනේ ම ලෝකඩ පදක්කමක් දිනා ගන්නට සමත් වුණා. 

අනුරාධපුරයෙන් ආ ඔහුගේ සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ දිනේශ් ප්‍රියන්තයි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට බැඳුණේ 2004 දියි. කිලිනොච්චියේ යුද බිමේ සටන් කරමින් සිටියදී 2008 දී ඔහුගේ අතට සතුරු ප්‍රහාරයක් එල්ල වුණා. පිට පිට වැදුණු වෙඩි උණ්ඩ තුනක් නිසා ඔහුගේ වම් අතේ මාංශ පේශීවල ශක්තියට හානි සිදු වුණා. ඔහු ආබාධිත ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් වූයේ ඒ නිසයි. ආබාධිත ක්‍රීඩකයකු වශයෙන් 2019 සිට දස්කම් දැක්වුවා. ඒ වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ දී හොඳම ක්‍රීඩකයා ලෙස කැපී පෙනුණා. 

2012 දී පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු නියෝජනය කරන්නේ ගජබා ක්‍රීඩා සමාජයයි. ඔහුගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්තයි. දිනේශ් ප්‍රියන්ත විවාහ වී සිටින වසන්තා ද ක්‍රීඩිකාවක්. 

මෙවර පැරා ඔලිම්පික් උළෙලට ගිය කණ්ඩායමේ නායකයා වශයෙන් ජාතික ධජය රැගෙන ගියේ ද දිනේශ් ප්‍රියන්තයි. 

හේරත් මුදියන්සේලාගේ දිනේශ් ප්‍රියන්තයි

පැරා ඔලිම්පික් ක්‍රීඩාව ආරම්භ වූයේ 1948 දියි. එංගලන්තයේ ස්ටොක් මැන්ඩෙවිල්හී රෝහලක සේවය කළ සර් ලුඩ්විග් ගුට්මන් නම් වෛද්‍යවරයා එහි පුරෝගාමියා වුණා. ඔහු හමුදා භටයන් දෙවන ලෝක සංග්‍රාමයේ දී කශේරුකාවට හානි වී ආබාධිත වූ සෙබළුන් පුනරුත්ථාපනය කිරීමේ පියවරක් වශයෙන් ඔහු දුන්නෙන් විදීමේ තරඟයක් සංවිධානය කළා. එය පසුව 1952 දී ජාත්‍යන්තර තරඟාවලියක් බවට පත් වුණා. 1960 රෝමයේ පැවති ඔලිම්පික් උළෙලෙන් පසු එ් රටේ දීම ඔලිම්පික් තරඟාවලියක් පැවැත්වීමෙන් මේ පැරා ඔලිම්පික් ආරම්භ වුණා. 1988 දී දකුණු කොරියාවේ සොල් නුවර පැවති ඔලිම්පික් උළෙලෙන් පසු ඒ ක්‍රීඩාංගන හා උපකරණ පහසුකම් යොදා ගෙන ඒ රටේ දීම ඒ තරඟ පැවැත් වුණා. ඒ ආකාරයට තෝකියෝ නුවර පැවැත්වෙන පැරා ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 48ක් දිනා ගනිමින් චීනය ඉදිරියෙන් සිටිනවා. රන් පදක්කම් 25ක් සමග මහා බ්‍රිතාන්‍යය දෙවැනි තැන ගෙන ඇති අතර තතුන් වන තැන පසුවන්නේ රන් පදක්කම් 15ක් ගබා ගත් ඇමරිකාවයි. 

ජපානයේ තෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් උළෙලේ ආරම්භක අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් දිනේශ් ප්‍රියන්ත ජාතික ධජය රැගෙන ඉදිරියෙන් ගමන් කළ අයුරු.
දිනේශ් ප්‍රියන්ත ජයග්‍රාහී මොහොතේ සිංහ ධජය ගෙන 
මේ ඉන්නේ ඔහුගේ වාර්තාව සටහන් පුවරුව අසලයි.

Post a Comment

0 Comments