HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ නිත්තෑවුන්ගේ අබිරහස කුමක් ද?

ලෝකය පුරා ම ගුප්ත මිනිසුන් ගැන කතා තියෙනවා. හිමාලයේ ‘හිම මිනිසා’ හෙවත් ‘යෙටී’ ගැන, මෙන්ම ඇමරිකාවේ ‘බිග් ෆුට්’ නැත්නම් ‘සැස්කොච්’ වැනි යෝධයන් ගැන ඔවුන්ගේ පා සලකුණු ගැන ඔබ කොතෙකුත් අසා ඇති. ශ්‍රී ලංකාවේ එවැනි කතාවක් එවැනි ගුප්ත මිනිස් විශේෂයක් ගැන කතාව්ක් තියෙනවා. ඒත් ඒ ‘බිග්ෆුට්’ (bigfoot) කෙනෙකු ගැන නොවෙයි. ‘ලිටල්ෆුට්’ (littlefoot) කෙනෙකු හෙවත් කුරුමිට්ටකු ගැනයි. ඔවුන් තමා නිත්තෑවුන්. 

නිත්තෑවා නපුරු පෙනුමක් ඇත්තෙකැයි මේ චිත්‍රයෙන් පෙනේ.

නිත්තෑවුන් නමින් ප්‍රමාණයෙන් කුඩා මිනිස් විශේෂයක් ඉස්සර මෙහෙ හිටියලු. සමහරු අය කියනවා ඔවුන් දැන් නෑ කියලා. හැබැයි දැන් නම් ඔවුන් ඇස් දෙකෙන් දැකපු අය නැහැ. අතීතයේ දී එනම් 1886 දී වැද්දන්ගෙන් තොරතුරු ලබා ගෙන නිත්තෑවුන් ගැන සවිස්තර වාර්තාවක් හියු නෙවිල් විසින් සපයලා තියෙනවා. ඉතාමත් සිත් ගන්නසුලු වාර්තාවක් වූ එය නම් කර ඇත්තේ ‘ලංකාවේ නිත්තෑවෝ - තැප්‍රොබේනියන් (The Nittaewo of Ceylon – The Taprobanian)’කියායි. 

මේ නිත්තෑවුන් කියා හඳුන්වන්නේ වලසකුට සමාන සත්වයකු මිස සත්ත්‍ය වශයෙන් කුරු මිනිසකු නොවන අයත් ඉන්නවා. ඔවුන් ඒ සතා හඳුන්වන්නේ ‘රාහු වලසා’ කියලයි. ඒ අය කියන්නේ ඒ සතා දැන් වඳ වී ඇති බවයි. ඒ හැරෙන්නට ඇතැම් අය කියන්නේ නෙග්‍රිටෝවරුන්ගෙන් පැවත එන විශේෂයක් බවයි. ඒ වගේ ම නිත්තෑවුන් කියන්නේ යාල නැගෙනහිර අතරමැදි කලාපයත් තමන්කඩුව ප්‍රදේශයත් අතර පිහිටා ඇති මහ ලේනව ආශ්‍රිතව විසූ කුරු මිනිසුන් විශේෂයක් බවයි. 

මීට වසර 250කට පෙර විසූ කුරු මිනිසුන් වැද්දන් කළ හතුරුකම් නිසා සහමුලින් ම වඳ වී ගොස් ඇති බවයි. හියු නෙවිල් ඔහුගේ වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ‘නිත්තෑවන් වනාහි ලේනම ප්‍රදේශය ආශ්‍රිතව විසූ, කුරිරු හා වනචාරි ගතිපැවතුම් ඇති කළු පැහැති සමකින් යුත්, ප්‍රමාණයෙන් කුඩා මිනිස් ප්‍රජාවක්’ කියායි. හියු නෙවිල්ට අනුව ඔවුන් ජීවත්ව සිට ඇත්තේ ගස් උඩ පැල් බැඳ ඒවා තුළයි. කොළ අතු සෙවිලි කර සකසා ගත් ඒවායේයි. ඔවුන් වැද්දන්ගේ බස හෝ සිංහල හෝ දෙමළ කතා කළ නො කළ බවත් ඔවුන් කතා කළ බස කතරගම වන්දනාවේ ආ ඇතැම් ජනප්‍රජාවන් භාවිත කළ තෙළිගු බසට සමාන බසක් බවත් එහි සඳහන් වුණා. 

නිත්තෑවකුගේ මේ අඹන ලද රුව කෞතුකාගාරයක දක්නට ලැබෙන්නක්.

නිත්තෑවන් මීපැණි සොයන්නට ඔවුන්ගේ සීමාවලට ඇතුළු වූ වැද්දන්ට පහර දීමට තරම් දරුණු වූ නිසා වැද්දන් ඔවුන්ට එරෙහි වූ අතර නිතර නිතර ඔවුන් අතර සටන් ඇති වී තියෙනවා. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් එකිනෙකා වෛර කළ දරුණු සතුරන් වුණා. 

හියු නෙවිල්ට තොරතුරු දුන් වැද්දන් කියා ඇත්තේ අතීතයේ දී ඔවුන්ගේ මුතුන්මිත්තන් නිත්තෑවුන් සමග කලක් තිස්සේ සටන් කොට අවසානයේ දී ඉතිරි වූ නිත්තෑවුන් දරුමල්ලන් සමග ගල්ලෙනක් තුළ සිරකර ගිනි තබා මරා සහමුලින් ම වනසා දැමූ බවයි. ඉන් අනතුරුව ඒ වැද්දන්ගේ ආදීමයන් විසින් නිත්තෑවුන්ගේ බිම් අත්පත් කර ගත් බවයි. 

1914 දී පළ වූ ලංකා රාජකීය ආසියාතික සංගමයේ වාර්ෂික ප්‍රකාශනයේ පළ වූ වාර්තාවක නිත්තෑවුන් ගැන සඳහනක් තියෙනවා. 18 වන සියවසේ අග භාගයේ දී නැගෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව ආශ්‍රිතව මේ අරුම පුදුම මිනිසුන් විසූ බව එහි දැක්වෙනවා. එය ෆ්‍රෙඩ්රික් ලුවිස් (Frederick Lewis) කළ ගවේෂණාත්මක වාර්තාවක්. එහි වැද්දන්ගේ සිරිත් විරිත් කෙරෙහි විශේෂයෙන් අවධානයක් යොමු කර තිබුණා. නිත්තෑවුන් ගැන සඳහන් කරන ඔහු එහි දී කියා ඇත්තේ ඔවුන් අඩි 3ක් පමණ උස කුරු මානවයන් විශේෂයක් බවයි. ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වූණා. වැද්දන්ගේ කතාවලට අනුව නිරුවතින් විසූ වලිග රහිත ඔවුන්, මිනිසුන් මෙන් කඳ කෙළින් තබා ගෙන ඇවිද ගිය බවත්, ඔවුන්ගේ බාහු කෙටි වූ අතර නියපොතු උකුස්සන්ගේ මෙන් ශක්තිමත්ව පිහිටා තිබුණු බවත්, ඔවුන් ගස් මත, ලෙන් ගුහා හා පාෂාණ බේදයන් ආශ්‍රිතව ජීවත්ව සිටි බවත් සඳහන් වෙනවා. 

ඔවුන් ආහාරයට ගෙන ඇත්තේ ඔවුන් විසින් ම දඩයම් කර ගත් හාවුන්, ලේනුන්, ඉබ්බන් ආදී සතුන් වූ අතර ඔවුන් ජීවත් වූයේ 10ක 12 කණ්ඩායම් වශයෙනුයි. ඒ සටහනේ දැක්වෙන හැටියට ඔවුන්ගේ කතා කළේ කුරුල්ලන්ගේ කටහඬට සමාන හඬකින්. වැද්දන්ගේ පුරාකතාවලට අනුව මේ නිත්තෑවුන් ජීවත්වූයේ ඔවුන්ගේ පරම්පරා දෙකකට පෙරාතුව නම් ඔවුන් සහමුලින් ම වඳ වී යාමට පෙර දහ අට වන සියවස අවසාන භාගය තෙක් ජීවත්ව සිටින්නට ඇතැයි ලුවිස් අනුමාන කරනවා. 

1945 දී මේ ප්‍රදේශයේ ගවේෂණයක යෙදුණු ඩබ්ලිව්. සී. ඔස්මන් හිල් නම් බ්‍රිතාන්‍ය ජාතික ආදීවාසීන් පිළිබඳ වි‍ශේෂඥයකුට පෙනීගොස් තියෙනවා, නිත්තෑවුන් පිළිබඳ විශ්වාසය ඒ පළාතේ මිනිසුන් අතර තදින්ම පැතිර ඇති බව. ඒ පිළිබඳ තම නිරීක්ෂණ දක්වන ඔහු කියා ඇත්තේ ඔහුට අසන්නට ලැබුණු විස්තර අනුව නිත්තෑවා, ජාවා මිනිසා යනුවෙන් හැඳින්වෙන මිනිස් වර්ගයට සමාන යයි සිතිය හැති බවයි. 

නිත්තෑවන් පිරිසක් සතුරකු සමග දරුණු සටනක් කරන අයුරු දැක්වෙන 
මේ චිත්‍රය දැරණිගල මහතා විසින් අඳින ලද්දක් 

මේ පිළිබඳ අදහස් දක්වන දේශීය විශේෂඥයකු වූ කපිතන් ඒ. ටී. රඹුක්වැල්ල නියන්නේ මේ අපූරු මිනිසා ඔස්ට්‍රොලෝපිතකස් (Australopithecus) නම් ආදි මානව විශේෂයට නෑකම් කියන මිනිසුන් නොවන දෙපයින් නැඟිට කඳ කෙළින් කර ගෙන ඇවිද ගිය වානර වර්ගයකට සමාන විය හැකි බවයි. ඔහු 1963 මැයි මාසයේ දී නිත්තෑවන් සොයා මහලේනව ප්‍රදේශයයේ ගවේෂණයක යෙදුණේය. එහි දී ඔවුන් සිදු කළ, කුඩුම්බිගල ගල් ලෙනක කළ කැනීම්වලදී සෙ.මී. 25ක් ගැඹුරින් වැළලී තිබුණු තලගොයකුගේ කොඳු ඇට පෙළක් හා තාරකා ඉබ්බකුගේ කටුවක් හමුවී තියෙනවා. ඒ සතුන් නිත්තෑවුන් නිතර ආහාරයට ගත් බව සඳහන් වෙනවා. 

ස්පාඤ්ඤ ජාතික මානවවිද්‍යාඥයකු වූ ආචාර්ය සැල්වඩෝර් මාටිනස් (Salvador Martinez) 1984 දී ලංකාවට ආ අවස්ථාවේ දී නිත්තෑවන් දැක තිබෙනවා. ඒත් ඒ වෙලාවේවත්, වසර කීපයක් යනතුරුත් ඔහු ඒ බව හෙළිදරවු කළේ නැහැ. ඔහුට අනුව මිනිසාට හුරු පෙනුමක් හා දිගු හිස කේ හා ඇඟපුරා වැඩුණු ලෝම පිරුණු ඇඟක් ද සිරුරේ ඇතැම් තැනක කොරපොතු තිබූ බවද ඔහු පසුව කළ විස්තරයේ සඳහන් වෙනවා. ඔහු දැක බියට පත් ඔවුන් අමුතු ශබ්දයක් නිකුත් කොට බලා ගිය බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඒ වුනත් සමහරුන් කියන්නේ ඔහු ඒ පළාත්වල විසූ ගවයන් ඇති කළ ‘මට්ටයන්’ නම් වූ ප්‍රමාණයෙන් කුඩා මිනිසුන් විශේෂයක් වූ මුසල්මානුවකුට රැවටුනා විය හැකි බවයි. 

2004 ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ ෆ්ලෝරේස් (Flores) දූපතේ හෝමෝ (Homo) ගණයට අයත් හොමෝ ෆ්ලොරෙන්සිස් (Homo Floresiensis) මානවයකුගේ පොසිල විශේෂයක් හමුවුණා. ඒවායෙන් හෙළි වුණේ ඒ නිත්තෑවුන්ට යම් කිසි සමානකමක් ඇති සත්ව විශේෂයකට අයත් බවයි. ඒ වගේ ම ඌව හා නැගෙනහිර පළාත්වල හමුවූ පාෂාණ මෙවලම් කුඩා ප්‍රමාණයේ මිනිසුන් පරිහරණය කළ ඒවා බව හෙළිවීමත් සමග යළිත් නිත්තෑවුන් පිළිබඳ අදහස යළිත් ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශවලත් දැන් කතාබහට ලක් වී තියෙනවා. 

 - පර්සි ජයමාන්න 



Post a Comment

2 Comments

  1. චිත්‍රය දැරණියගල ඇඳපු එකක්. නෙවිල්ගෙ වාර්තාවට පස්සෙ

    ReplyDelete
  2. pra jay, ඔබ හරි! එහි පයළින් දැරණියගල මහත්තයාගේ අත්සන සමග 1965 කියන වර්ෂයත් යොදා තියෙනවා. හියු නෙවිල්ගේ වාර්තාව 1888 එකක්. මේ පින්තූරය අප ලබා ගත්තතේ හියු නෙවිල්ගේ ලියැවිල්ලේ තොරතුරු ඇතුළත් පසු කාලයක පළ වූ ලිපියකින්. පෙන්වා දුන්නා ස්තූතියි!

    ReplyDelete