HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ක‍ොවිඩ් වයිරසය ඇතුළු වයිරස ගැන ඔබ දත යුතු ම දේ!

ක‍ොවිඩ් - 19 කියන්නේ වයිරස කාණ්ඩයට අයත් එකක්. ඒ වගේ රෝග පතුරුවන වයිරස රාශියක් ම තියෙනවා. වයිරස කියන්නේ ආසාදන ඇති කරන, ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා රෝග කාරකයෙක්. වයිරසවලට සිය වර්ගයා බෝ කළ හැක්කේ තවත් ජීවියකුගේ සජීවිසෛලයකට ඇතුළු වුවහොත් පමණයි. වයිරසවලට හැකියාව තියෙනවා, සෑම වර්ගයකම ජීවීන් තුළ ආසාදන ඇති කරන්න. ඒ වගේ ම සියලුම සතුන්, ගහකොළ, බැක්ටීරියා ඇතුළු සියලු ක්ෂුද්‍රජීවීන් තුළ ආසාදන ඇති කරන්නත් ඒවාට පුලුවන්. 

එන්නත්කරණය තුළින් කොවිඩ් - 19 වයිරසයෙන් එල්ල වන අවදානම අඩු කර ගත හැකියි.

වයිරසවලට නම් ලැබෙන්නේ කොහොමද? 

වයිරස්වලට නම් තැබෙන්නේ එහි ජානමය ව්‍යුහය පදනම් කර ගෙනයි. එයට හේතුව රෝග විනිශ්චය කරන පරීක්ෂණවලට, එන්නත් හා ඖෂධ නිපදවීමට කරන පර්යේෂණවලට ද ඒ වයිරස පහසුවෙන් හඳුනා ගැනීමට ලොවපුරා විද්‍යාඥයන්ට අවශ්‍ය නිසයි. ඒ සිදු කරන්නේ වයිරස විද්‍යාඥයන් ඇතුළු පුළුල් විද්‍යා ප්‍රජාවකගේ සහභාගිත්වයෙන්. ඒ අනුව වයිරස නම් කරන්නේ ඒ සඳහා විශේෂිත වූ ආයතනයක් වන වයිරස වර්ගීකරණය කරන අන්තර්ජාතික වයිරස වර්ගීකරණ කමිටුව (International Committee on Taxonomy of Viruses - ICTV) මගිනුයි. 

අන්තර්ජාතික වයිරස වර්ගීකරණ කමිටුව 2020 පෙබරවාරි 11 වැනිදා ප්‍රකාශයට පත් කළා, නව වයිරසයක්. එය හැඳින්වූයේ ‘දරුණු උග්‍ර ශ්වසන සංකූලතා කොරෝනා වයිරසය’- severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) හෙවත් ‘සාර්ස්-කොව් 02 කියායි. ඒ නම මේ නව වයිරසයට යෙදුවේ 2003 දී සාර්ස් වසංගතයට මුල්වූ කොරේනා වයිරසයට ජානමය වශයෙන් සම්බන්ධකමක් පෙන් වූ නිසයි. එසේ සම්බන්ධකම් තිබුණත් ඒ වයිරස දෙක එනෙකට වෙනස් දෙකක්, 

කොරෝනා වයිරස කොපමණ කාලයක් සිට පැවත එන්නේ ද? 

මේ වයිරසයේ වඩාත් මෑත දී හමුවූ ආදීමයා ක්‍රිස්තු පූර්ව වසර 8000කට පමණ ඉහත දී පැවති බව සොයා ගෙන තියෙනවා. ඒත් සමහර සොයා ගැනීම්වලට අනුව මේ වයිරසයේ පොදු ආදීතමයා වසර මිලියන 55කට පෙර වවුලන් හා වෙනත් ඉගිල්ලෙන සතුන් ඇසුරු කර ගෙන ජීවත්වන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. 

මිනිසාට ආසාදනය වන කොරෝනා වයිරස මොනවා‍ද? 

මිනිසාට ආසාදනය වන කොරෝනා වයිරසය සාමාන්‍ය හෙම්බිරිස්සාවේ සිට සියයට 34ක මරණ අනුපාතයක් පෙන්වන දරුණු රෝග තත්වයක් වූ ‘මැදපෙරදිග ශ්වසන සංකූලතාව’ (Middle East respiratory syndrome - MERS) දක්වා විවිධ වෙනවා. සාර්ස් (SARS-CoV-2) යනු මිනිසාට ආසාදනය 7 වන කොරෝනා වයිරසයයි. කලින් ඒවා හඳුන්වන්නේ 229E, NL63, OC43, HKU1, MERS-CoV, and the original SARS-CoV කියායි. 

කොවිඩ් - 19 (COVID-19) වදන හැදුණේ ක‍ෙසේ ද? 

කොරෝනා සඳහා 'CO' යන්නත් වයිරස සඳහා 'VI' යන්නත් රෝගය සඳහා 'D' අකුරත්, එය ආරම්භ වූ වසර 2019 සඳහා 19ත් එක් කර තමයි යන COVID-19 වදන හදා ඇත්තේ. ඒ වයිරසය පිළිබඳ මූලික තොරතුරු ඒ වදනෙහි ගැබ්ව තියෙනවා. මේ වයිරසය නිල වශයෙන් COVID-19 කියා කියන්නට පෙර ආරම්භයේ දී හැඳින්වුණේ 2019 නව කොරෝනා වයිරසය හෙවත් 2019-nCoV කියලයි. මේ වයිරසය තමයි, අප දන්නා හඳුනන සාමාන්‍ය හෙම්බිරිස්සාවටත් ඊට වඩා දරුණු සාර්ස්වලටත් නෑකම් කියන්නක්. 

කොරෝනා වයිරස ඇති කරන රෝග තත්වයන් මොනවාද? 

කොරෝනා වයිරස කාණ්ඩය ක්ෂීරපායී සතුන්ට හා කුරුල්ලන්ට තමයි රෝග ඇති කරන්නේ. එයින් මිනිසුන්ට මේ වයිරසය ඇතුළු වූ විට ශ්වසන පද්ධතියේ ආසාදන ඇති කරනවා. ඒවා සුළු ආසාදනවල පටන් මාරාන්තික තත්වය දක්වා රෝගය බරපතල කළ හැකියි. 

කොවිඩ් - 19 සහ ඉන්ෆ්‍ලුවන්සා අතර ඇති සමානකම් මොනවාද?

පළමුව, කොවිඩ් - 19 හා ඉන්ෆ්‍ලුවන්සා වයිරස සමාන රෝග තත්වයන් ඇති කරනවා. ඒ දෙකෙන් ම සමාන ලක්ෂණ පෙන්වනවා. එයින් විවිධ පරාසයේ රෝග ඇති කරනවා. රෝග ලක්ෂණ රහිත, සුළු රෝග ලක්ෂණ පෙන්වමින් සිට එක්වරම දරුණු තත්වයකට හෝ මරණයට පත්කළ හැති තත්වයක් තියෙනවා. 

දෙවැනිව, මේ වයිරස දෙකම සම්ප්‍රේෂණයෙන්, ඒ කියන්නේ කෙළ හා සෙම බිඳිතිවලින්, බෝවී රෝග ඇති කරන ඒවායි. ඒ නිසා මේ රෝග දෙකම බෝ වීම වැළැක්වීමට ගත යුතුව ඇත්තේ එකම සනීපාරක්ෂක ක්‍රියා මාර්ගයි. නිදසුනක් වශයෙන් අත් සේදීම, මුඛ ආවරණ පැලඳීම, කහින විට මුව ආවරණය වන පරිදි වැලමිට හකුළුවා ආවරණය කර ගැනීම, අත්පිස්නා කඩදාසියකට කිවිසීමෙන් පසු ඒවා ආරක්ෂිත ලෙස විනාශ දැමීම වැනි ‍සනීපාරක්ෂක පුරුදු දැක්විය හැකියි. 

කොවිඩ් - 19 වයිරසය කිසියම් මතුපිටක කොතරම් වෙලාවක් නොනැසී රැ‍ඳ‍ෙනවා ද? 

මෑතදී කරන ලද පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ කොවිඩ් - 19 වයිරසය ප්ලාස්ටික් හා මල නොබැ‍‍ඳ‍ෙන වානේ මත පැය 72ක්, තඹ ලෝහය මත පැය හතරක්, කාඩ් බෝඩ් මත පැය 24ක් නොනැසී පැවතිය හැකි බවයි. 

අත්වලින් කොවිඩ් - 19 වයිරසය ශරීරගත විය හැකි ද? 

අත්වලින් බොහෝ මතුපිට ස්පර්ශ කරන බැවින් ඒවා මත නොනැසී පවතින වයිරස ඉක්මනින්ම ඇඟිලිවල තැවරිය හැකියි. ඇඟිලිවල තැවරෙන ඒවා මුහුණ අත ගෑමේදී හෝ නාසය කට ඇල්ලීමේදී හෝ එහි තැවරී ඒ මගින් ඔබේ සිරුරට ඇතුළුවිය හැකියි. 

කොවිඩ් - 19 වයිරසය ආහාරවලින් සම්ප්‍රේෂණය විය හැකි ද? 

තවමත් ආහාරවලින් මේ වයිරසය සිරුර තුළට සම්ප්‍රේෂණය වන බවට සාක්ෂි කිසිවක් මෙතෙක් සොයා ගෙන නැත. ආහාර පිසීමේදී භාවිත කරන උෂ්ණත්වය නිසා වෙනත් වයිරස බැක්ටීරියා වර්ග මෙන් කොවිඩ් - 19 වයිරසය වුවත් විනාශ වී යන්න පුලුවන්. 

සුපර්මාකට්වලට යාමේ දී කොවිඩ් - 19 වයිරසය ඇතුළුවීම වළක්වා ගත හැකි ද? 

සුපිරි වෙළඳහල්වලට ඇතුළු වෙද්දී සැනිටයිසර් හෝ සබන් යොදා අත් පිරිසිදු කර ගැනීමෙන්, එහි ඉන්නා අනෙක් අය සමග මීටරයකට වැඩි දුරස්ථ භාවයක් පවත්වා ගැනීමෙන්, කිවිසීමේ දී වැලමිට නවා ආවරණය කර ගැනීමෙන්, නිතරම මුඛ ආවරණයක් නිසි ලෙස පැලඳීමෙන් වයිරසය වළක්වා ගත හැකියි. 

ගෙදර ගිය පසු ගෙන ගිය ද්‍රව්‍ය තැන්පත් කිරීමෙන් අනතුරුව හොඳින් සබන් ගා අත් සෝදා ගැනීම කළ යුතුයි. මෙසේ ගෙන යන ආහාර ද්‍රව්‍යවලින් හෝ ඇසුරුම්වල ඇති ආහාරවලින් කොවිඩ් 19 ලොව කිසිවකුට හෝ ආසාදනය වූ බව වාර්තා වී නැහැ. 

කොවිඩ් - 19 වයිරසය ආසාදනයෙන් වැළකීමට ඇති හොඳම ක්‍රමය එන්නත්කරණය ද? 

කොවිඩ් - 19 වයිරසයෙන් බේරී සිටීමට හොඳම ක්‍රමය නිසි සනීපාරක්ෂක පුරුදු භාවිතයයි. ඒවා නම් මුඛ ආවරණ පැලඳීම, මුහුණ කට නො අල්ලා සිටීම, යම් පෘෂ්ඨයක් ස්පර්ශ කළොත් හොඳින් සබන්ගා අත් සේදීම, අනිත් අයට මීටරයකට වඩා දුරින් සිටීම, සෙනඟ ගැවසෙන තැන්වලට නොයා සිටීම වැනි ඒවායි. ඒ වගේ ම එන්නත්කරණය තුළින් කොවිඩ් - 19 වයිරසයෙන් එල්ල වන අවදානම අඩු කර ගත හැකියි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments