නස්රුදින්ගේ බිරිඳ යෙහෙළියන් කට්ටියක් ඇවිත් ඒ අය සමග සතුටු සාමීචියක යෙදෙමින් සිටියා. එහිදි ඔවුන් වැඩිපුර ම කතා කළේ එකිනෙකාගේ සැමියන් ගැනයි.
නස්රුදින්ගේ බිරිඳ කතා කරමින් කීවේ මෙහෙම කතාවක්, ‘අනේ ඔයාලට කියන්න, අපේ මනුස්සයා හැම තිස්සේ ම හැසිරෙන්නෙ එයා සියල්ල දත් කෙනා හැටියටයි.’
ඒ කතා බහ අතරතුර නස්රුදින් එතැනට ආවා. ඇවිත් නිහඬව හිටියෙ නෑ. ඇහුවා, ‘ඔයාල මොනව ගැන ද මේ කතා කර කර ඉන්නේ?’ කියලා
‘ආ! ඒකද?’ කී නස්රුදින්ගේ බිරිඳ යෙහෙළියන් දිහා බලලා ඉඟි මරල මෙහෙම කිව්වා. ‘අපි මේ කතා කර කර හිටියෙ පාන් පුච්චන එක ගැන.’
‘එහෙනම් මං මෙතැනට කතා බහට එකතු වුණේ හරි වෙලාවට. ඔහෙලට කියන්න, මං මේ ලෝකේ ඉන්න, පාන් පුච්චන් දන්න දක්ෂම බක්කරේ කෙනෙක්!’ නස්රුදින් කිවා.
‘ඔය ඇත්තමද?’ නස්රුදින්ගෙ බිරිඳ ආයිත් යෙහෙළියන්ට ඉඟිමරලා නස්රුදින් දිහා පුදුමයෙන් වාගෙ බලල මෙහෙම කිව්වා, ‘අනේ මං මෙහෙම ඇහුවට තරහ ගන්න එපා! ඔයා එහෙම වෙන්න ඇති. මං නෑ කියන්නේ නෑ. මං ඔයාව සැක කරන්නෙත් නෑ. එත්..!’
‘මොකක්ද ඒත් කියල නැවැත්තුවෙ. කමක් නෑ ඕනෑ දෙයක් අහන්න.’ නස්රුදින් කිව්වා.
‘මං කසාද බැඳලා ඔයා එක්ක ඇවිත් මේ අවුරුදු ගානට ම, එක දවසක් හරි ඔයා මට පාන් ගෙඩියක් එපා, බනිස් ගෙඩියක්වත් පුච්චලා දීලා තියෙනවද?’ නස්රුදින්ගේ බිරිඳ ආයිත් යෙහෙළියන් දිහාට හැරිලා ඉඟි මැරුවා.
‘ඒකට උත්තරේ හරිම ලේසියි!’ කී නස්රුදින්, ‘ඒ වගේ දේකට හේතුව, ඒකට අවශ්‍ය හොඳම අමු ද්‍රව්‍ය කවදාවත් එක විට නොතිබීමයි. පිටි තියෙන කොට, යීස්ට් නෑ. යීස්ට් තියෙන කොට, පිටි නෑ. ඒ දෙක ම තියෙන කොට මං නෑ.’ කියලයි උත්තර දුන්නෙ.
0 Comments