HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බුදුන් දවස සිදුවූ අසිරිමත් අහස් ගමනක්! - පූජාවලියෙන්

අද නිකිනි පොහොය නිසා බෞද්ධ සාහිත්‍යයේ පූජාවට හා සම්භාවනාවට පාත්‍ර වූ පොතකින් පිටුවක් ඉදිරිපත් කිරීමට මා අදහස් කළා. මේ පූජාවලිය නම් පැරණි ග්‍රන්ථයෙන්. මෙය දඹදෙණි අවධියෙහි (ක්‍රි.ව. 1248-1298 දක්වා) මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි විසින් මීට වසර 750කට පෙර රචනා කරන ලද්දක්. මෙයින් වර්ණනා කෙරෙන්නේ බුදුරදුන් තව්තිසාවට වැඩම කොට මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ දිව්‍ය සමූහයාට ධර්මදේශනා කොට ආපසු දඹදිව සංකස්ස පුරයට වැඩම කළ අවස්ථාව දෑසින් දැක ගන්නට සැවැත් නුවර සිට බොදු සැදැහැතියන් තත්පර 60ත් තුළ අහසින් ගිය ගමනක්. මෙහි බස ඒ යුගයට අයත් සිංහලය නිසා ඔබට තරමක් නුහුරු බවක් පෙනේවි. එහෙත් රසවිඳුමට එය බාධාවක් නොවෙයි. මා මෙය උපුටා ගන්නේ කෙළින්ම පූජාවලියෙන් නොවෙයි, මීට අවුරුදු 50කට පෙර ඇස්. පී. පෙරේරා ඇදුරුතුමන් සැකසූ ‘දැනුම’ සඟරාවෙනි. මෙහි ආරම්භක සටහන ද එතුමාගෙනි. 

බුදුරදුන් තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩ ම කළ අවස්ථාව සිත්තරකු දුටු හැටි

ඉ පැරණි අහස් ගමන් 

යොදුනක් යනු මයිල 16ක් වේ යැයි සලකතොත් පහත විස්තර කෙරෙන තිස් යොදුන් ගමන මයිල 500ක පමණක් යැයි කිව හැකි යි. මෙය බුදුන් දවස හටගත් ගම‍නෙකි. අද අජටාකාශ ගමන් වේග සමඟ සසඳන විට එදා ඒ සැදැහත් පිරිස අහසින් වැඩි වේගය ඇත්තෙන් ම විස්මය ජනක යැ. පූජාවලි කාරයාණන් වණන මේ ගමන විනාඩියකට මයිල 500ක වේගයෙන් හටගත් එකකි. අද අපේ ඇන්ජිනේරුවන් සමත් වී ඇත්තේ විනාඩියකට මයිල 7ක් ගමන් කිරීමට පමණ ය. ඍධිබලය අපමණ බවත් නූතන විද්‍යා දියුණුව තවමත් බඩගානා බවත් මෙයින් පැහැදිලි නො වන්නේ ද? 

‘ඒ වේලෙහි මහ පිරිස මහ තෙරුන්වහන්සේට සාධුකාර පූජා කොට, “ස්වාමීනි, අප බුදුන් කවර දවස් දකුමෝද, කුමක් වදාළ සේක්දැ” යි විචාල හ. 

එකල මහ තෙරුන් වහන්සේ, “උපාසක ජනයෙනි! බුදුහු සත්වන දවස සකස් පුර දොරට බස්නා සේක. බුදුන් දක්නා කැමති කෙනෙක් එතෙනට රැස්වව්” වදාළ සේක. 

“ස්වාමීනි, ඒ සකස් පුර දොර නම් මේ සැවැත් නුවරට ක‍ෙතෙක් තැන්දැ”යි විචාල හ. 

“උපාසක ජනයෙනි! මේ නුවරට තිස් යොදු‍නෙකැ”යි වදාළ සේක. 

ඒ වේලෙහි මනුෂ්‍යයෝ, “ස්වාමීනි, මෙ තැනට රැස් වූ බාල දරුවෝ බෙහෙව, ජරා දුර්වලයෝ බෙහෙව, පයින් යා නොහෙන ශ්‍රී වන්තයෝ බෙහෙව, ඔහු එ තෙක් තැන් කෙසේ පලායෙත් දැ”යි විචාල හ. එ 

වේලෙහි මහ තෙරුන් වහන්සේ “කිසි කෙනෙකුනටත්, කිසි පීඩාවකුත් නොවෙයි, දුරෙකැයි නො සිතා මගේ බුදුන්ගේ හා මාගේ ආනුභාවයෙන් හැම දෙන ම නිකමෙව”යි වදාළ සේක. 

ඒ බස හා සමග ම මියර සුන් මහ වතුරක් සේ මහ පිරිස එක විට ම සෙල වී නික්මුණ හ. එ කෙනෙහි බුදුන් ‍ගේ ආනුභවාය‍ෙන් මහ පිරිස ආකාශ‍යෙන් යන සක්විති පිරිසක් සේ, 

ඉක්බිති ගෙයක මඟුල් බලන්නට යන්නා සේ, 

කිසි පීඩාවකුත් නැතිව, පතුල් බොලැට ගැහැටුමකුත් නැති ව, යන්නාහු, 

සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොර දී කෑ හ. 

සමහරු ඉස කේ බැඳ බැඳ යන්නාහු ඔබ වන් කල ම බැඳ නිමවූ හ. එක් කනෙක කර්ණාභරණ සැවැත් නුවර දී පැලඳ අනෙක් කන සකස් පුර දොර දී පැලැන්ද හ. 

ඔවුනොවුන් පරයා නික්මුණාහු, එක් අතෙක හස්තාභරණ පැලඳ අනෙක් අත හස්තාභරණ සකස් පුර  දී ලූ හ. 

ඔවුනොවුන් පරයා සන්සලයෙහි සුවහස් අගනා මුත්හර කරට දමා කර බඳිනා පමුයෙහි යතුරු ගන්ව ගන්වා ගොස් වැද ගිය උත්තමාංගනාවෝ කෙනෙක් දෙදෙනෙක් ද, 

දත් මැද මුහුණු තෙල් ගා එක් ඇ‍ස‍ෙක අඳුන් ගා අනෙක් ඇස අඳුන් ගානා දෑතුරෙහි වැද ගියා වූ යෞවන ස්ත්‍රී කෙතෙක් දෙන ද, 

රන් කැටපත් වමතින් ගෙන තමන් මුහුණ වටට කැටපත් වට නපුරැයි විසුළු ගන්වන්නා සේ කැටපත් බල බලා සුවෙන් ග‍ොස් වැද ගියා වූ දෙවඟනෝ බඳු වරඟනෝ කෙතෙක් දෙන ද, 

අපි පසුවමෝ දෝ හෝ අපි පසුවමෝ දෝ හෝ යි ඔවුනොවුන් පරයා නික්මුණු කල්හි එක් කනෙක සක් පත් තබා අනෙක් කන සක් පත් තන තනා ගොස් එ තැනට වැද ගියා වූ තැන සිටි යොවුන් සිටියෝ කෙතෙක් දෙන ද, 

එක මලක් හිස ගන්වා, අනෙක් මල මුකුලිත කොට කොට හිසට දිගු කරන දෑ තුරෙහි දිගු මග ගෙවා ගොස් වැද ගිය සල්ලාල ස්ත්‍රී පුරුෂයෝ කෙතෙක් දෙන ද, 

කිරි බොන දරුවන් වඩා ගෙන නික්ම, “තොපට දුක, දරුවන් මා අතට වඩා පියව”යි පුරුෂයන් දරුවන් කරා දෑත් දිගු කළ කල්හි පියන් අතට දරුවන් වඩාලන දෑ තුරෙහි ගොස් එ නුවර වැද ගියා වූ, දෙ දහසක් අගනා කසී සළු දම දමා යෙහෙන් ගොස් වැද ගියා වූ, මත් බමුණෝ කෙතෙක් දෙන ද, 

පේරැනි පැන පැන කීප පිම්මකින් සකස් පුර දොරට ගොස්, “කොල! මේ කිමෙක්දැ”යි ඔවුනොවුන් මුහුණු බලා විස්මය පත්වැ නැවත පේරැනි ම පනින්නා වූ ලංසිකයෝ කෝමතක් දෙන ද, 

නරු තන තනා පිළි හැඳ එක් වළල්ලක් තබා ගන්නා දෑ තුරෙහි හඹා ම ගොස් එ නුවර ගියා වූ නළුවෝ කෙතෙක් දෙන ද, 

සත් සිත්නම් තුඩ තබා එක් දෙය ලත් පිඹ තුන්වන ධ්වනිය නො නඟන තෙක් ගොස් වැද ගියා වූ, ධ්වනිකයෝ කෙතෙක් දෙන ද, 

රන් පැන රිදී පැන 

රන් කලස රිදී කලස 

රන් කොතලා රිදී කොතලා 

රන් ධ්ඩජ රිදී ධ්වජ, එක අතෙකින් ඔසවා ගෙන අනිත් අතට මාරු නො කොට එක අත නො එලෙන තෙක් නොයෙක් පූජා භාණ්ඩ ගෙන කෙළ කෙළ ගොස් වැද ගියා වූථ පින් සොඬ වූ සත්වයෝ කෙතෙක් දෙන ද, 

සතිස් යොදනෙහි අතුරු නො දී ඒ මහා පිරිස ඒ සැවැත් නුවර සිට තිස් යොදුන් මත ගෙවා පැනත් බී නො පියෙන ඇසිල්ලෙහි බුලතක් යොදා නො ගන්නා ඇසිල්ලෙහි කිසි පීඩාවක් නැතිවැ ස්වප්නයෙන් ගිය ගමනක් සේ, 

ඒ සකස් පුර දොරට ගියා වූ ඒ ගමන් පෙළහර මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු වූ බුදුරජාණන් ‍ගේ මහත් වූ බුද්ධානුභාවයෙන් ම විය. 

එ කල ඒ මහා පිරිස සකස් පුර දොර වැද උපන් සන්තෝෂයෙන් උත්සව කෙළි කෙළ ඒ තැන් හි ද කඳවුරු බැඳ උන් හ.’ (පූජාවලියෙනි.) 

බුදුරදුන් තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවරට 
වැඩ ම කළ අවස්ථාව - ඉන්දියාවේ සාංචි ස්තූපයෙහි 
මූර්ති කැටයම්වලින්

(සැ.යු. මෙහි රුප සටහන් අන්තර්ජාලයෙන් ගෙන ඇතුළත් කළ ඒවායි)

 

Post a Comment

0 Comments