HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හීනෙන් ආ මිනිසාට වඩා සුපිරි සතා කී අමුතු කතාව!

මා ඊයේ රාත්‍රියේ අමුතු හීනයක් දුටුවා. හීනෙන් මං ලිලිපුට්ටෙක් වෙලයි හිටිය‍ෙ. මගේ ඉදිරියේ ඉහළින් සිට දෙස බලා උන්නේ අමුතු යෝධ සත්වයෙක්! මීට කලින් මා කවදාකවත් නොදුටු අමුතු සතෙක්! ‘ජුරැසික් පාක්’ යුගයේ සතෙක් වගෙයි, මට පෙනුනේ. ඔළුව ලොකු ඩයිනසෝරයෙක්! මං පොත්වල දැකපු එවුන්ට වඩා වෙනස්. ඌට ලොකු ඔළුවක් හා ලොකු ඇස් දෙකක් තිබුණා. දිග අං දෙකක් තිබුණ. හරියට හෙල්ල දෙකක් වගේ. ඌ හිස පහතට බර කොට මා දෙස බැලුවා. එතකොටයි මං දැක්කේ, ඌට කතුරක් වාගේ ලොකු හොටක් තිබුණා. මං බයෙන් ඇකිළුණා. ‘බයවෙන්න එපා! මගෙන් ඔයාට අනතුරක් වෙන්නේ නෑ. ඔහේ මාව හොඳින් හඳුනනවා. මං කවුරුවත් නෙවෙයි කූඹියෙක්! මට දැවැන්ත ශරීරයක් ලැබුණ නිසයි, මට මෙහෙම එන්න සිද්ධ වුණේ. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා, අපේ සහෝදර පරපුර ගැන. ඒවා මට ඔහේ මගින් ඔහෙලගෙ පරපු‍රේ අයට දන්වන්න ඕනෑ.’ ඌ දෝංකාර දෙන ගැඹුරු හඬකින් කතා කළා. 

සත්වලෝකයේ සුපිරි සතා, කුහුඹුවා

‘මොනවද මං කියන්න ඕනෑ?’ මං ඇසුවේ පහත් හඬින්. 

‘ඉස්සෙල්ල කියන්න මොනවද ඔහෙ අපි ගැන දන්නේ?’ 

‘ලෝකයේ ඇන්ටාක්ටිකාවේ හැර අනික් හැම තැනක ම කුහුඹුවන් ජීවත් වෙනවා. කුහුඹු විශේෂ 12,000ක් අපි හඳුනා ගෙන තියෙනවා. ඔවුන් ගණනින් කියන්න බැරි තරම් ගහනයක් ලොව පුරා විසිරිලා ජීවත්වෙනවා. ඔවුන්ට කකුල් හයක් තියෙනවා. කන් නැහැ. පෙණහලු නැහැ. ආමාශ දෙකක් තියෙනව.’ මා කියන්න හැදුවත් ඒ යෝධ සතා හිස සලමින් මාව නැවැත්තුවා. 

‘ඕව ඔහෙලා හොයා ගෙන තියෙන දේවල් නෙ. ඔයිට වඩා දෙයක් මං මේ කියන්න යන්නෙ. ඔන්න අහගන්න.’ ඒ සතා කියා ගෙන ආ කතාව තමයි මෙතැන ඉඳලා මං ඔබට කියන්නෙ. 

කුහුඹු පොකුරක් එක්වී වතුර බින්දුවක් ගෙන යන අයුරු

'ඔහෙ දන්නවද ඔහෙලගේ පරපුරේ අය අපි දිහා බලලා හුඟක් දේ ඉගෙන ගත්ත බව. අද ඔහෙලා ලෝකෙට මහ ආඩම්බරෙන් කියන ‘මිනිසාගේ සොයා ගැනීම්’ මිනිසා සොයා ගන්න ඉස්සර අපේ වරිගයේ කූඹියෙක් තමයි සොයා ගත්තෙ. 

'මුලින් ම කඩදාසි හැදුවෙ චීන ජාතිකයන් කීවත් ඒ අය ඒ ගැන හිතන්න ‍බොහෝ කලකට ඉස්සරයි, අපේ පරපුරේ කඩදාසි බමරු (paper wasp) සමහර ගස්වල පොතු හපා කෙළ සමග මුසු කොට කඩදාසි විශේෂයක් තනා එයින් උන්ගේ කූඩු හැදුවේ. 

'වෙදකමත් මුලින් ම සොයා ගත්තේ අපේ කෙනෙක්. අපේ කුහුඹුවන් උන්ගේ සිරුරු තුළ විෂ ද්‍රව්‍ය නිපදවනවා. ඒ ඔවුන්ගේ සිරුරුවල ඇති වන ආසාදනවලට ප්‍රතිකාර හැටියටයි. 

'මිනිසාට වඩා ලොකු සේවයක් කෘමීන් සොබාදහම වෙනුවෙන් කරනවා. ඒ මල්වලින් රොන් ගන්නා ගමන් ඒවා පරාගපෝෂණය කරමින් වගාවට උදවු කරනවා. මිනිසුන් කෘත්‍රිම පරාගපෝෂණ කරන්න ඉගෙන ගත්තේ කෘමීන්ගෙන්. 

එකමුතු බව නිසා ඔවුන්ට දම්වල් හැදෙමින් ඕනෑම තැනකට යා හැකියි.

'මිනිසා ශබ්ද කිරීමෙන් සන්නිවේදනය කරන්නට, ශබ්දයෙන් භාෂාවන් තනා ගෙන ගනුදෙනු කරන්න පටන් ගන්නට, අනාදිමත් කාලයකට පෙර සිටයි, කෘමීන් ශබ්දය යොදා ගෙන අදහස් හුවමාරු කරන්න පටන් ගත්තේ. මීමැස්සා ශබ්දයක් නිකුත් කරමින් නැටුමක් නටලා පාර කියන හැටි ගැන අදත් ඔහෙලා පුදුම වෙනවා. ඒ වගේම මීමැසි වදය සිසිලසෙන් තබන්නට හැකි වන විධියට නිර්මාණය කරන්න ඌ දක්වන හැකියාව විමසා බලා වාස්තු විද්‍යාඥයන් ඒ ක්‍රම අනුකරණය කරමින් ගෙවල් හදනවා. 

'නූල් නිපදවීමත් මුලින් ම කළේ පටපණුවන්. මිනිසා උන් හීලෑ කර ගත්තාට පස්සේ අද වනගතව උන් දකින්නට නැහැ. මහන ශිල්පයත් කුහුඹුවන්ගෙන් තමයි මිනිස්සු ඉගෙන ගත්තේ. කුහුඹුවන් ගස්වල කොළවල දාර එක් කොට මසා කූඩු තනා ගන්නත් දක්ෂයි. ඒ ටේලර් කුහුඹුවන්. 

'වෙස්වළා ගන්න එකත් කළේ මුලින් ම කෘමීන්. සතුරන්ට සැඟවී සිට පහරදීමේ උපක්‍රමය ඔහෙලාගේ හමුදාව ඉගෙන ගත්තේ කෘමීන්ගෙන්. තමන්ගේ ජනපද ආරක්ෂාකර ගැනීමට හමුදා සංවිධානය කිරීම කෘමීන් ආරම්භ කළේ මිනිසා ලොව පහළ වෙන්නටත් පෙරාතුවයි. වැඩ කරන්න කම්කරු පන්තියක් ඇති කර ගත්තේත් කෘමීන් තමයි. 

තමන්ගේ බර මෙන් 50 ගුණයක බරක් කුහුඹුවාට ඔසවාගෙන යා හැකියි.

'අද ඔහේල අතර ජනප්‍රිය ක්ෂණික ආහාර හෙවත් කෙටි කෑම (shorteats) කියන ආහාර ක්‍රමයත් අපේ වරිගයේ කෙනකු‍ගේ සොයා ගැනීමක්. ඒ තමයි බත්කූරා (dragonfly)! ඌ අහසේ පියාසර කරන ගමන් කට ඇර ගෙන ඉන්නවා. ඒ වගේ ඔහෙලගේ හෙලිකොප්ටර අහසේ එක තැන පියාසර කරමින් එක තැන රැඳී ඉන්නා ක්‍රමය (hoovering) ඉගෙන ගත්තේ බත්කූරාගෙන්. බත්කූරා ඒ විධියට අහසේ රැඳී සිටිමින් කටට අහුවෙන කුඩා සත්තු අල්ලා ගෙන කනවා. මදුරුවන්, හෝහපුටුවන් වැනි සතුන් තමයි වැඩිපුරම ආහාරයට ගන්නෙ. සමනලුන්, ශලබයන්, මීමැස්සන් විතරක් නෙවෙයි, පුංචි බත්කූරන් වුනත් ඉස්සරහට ආවොත් දෑතින් අල්ලා ගෙන කෑලි කඩා ගෙන කන්න ඌට පුලුවන්. 

'ඒ වගේ ම වසර ලක්ෂ ගානකට ඉස්සරින් මුලින් ම මිහිමත පියෑඹීම ඇරඹුවේ බත්කූරන් තමයි. අවුරුදු 117කට ඉස්සර ඔහෙලගේ අහස්යානය හදපු රයිට් (Wright) සහෝදරයන් බත්කූරාගේ හැඩය කොපි කරලයි ඔවුන් ඒ කිටී හෝක් (Kitty Hawk) යානය හැදුවෙ. 

'කිරි හරක් හදන එක ඔහෙලා දැන් කළාට ඒකත් අපේ අය මුලින් කළ දෙයක්. සමනල් කීටයන් අල්ලා ගෙන ‘කිරි’ දොවා ගන්නා කුහුඹු වර්ග ඉන්නවා. ඔවුන්ගේ ‘කිරි’ පැණි දියරයක්. ඔහෙලාගෙ සත්ව විද්‍යාඥයන් ඒක හඳුන්වන්නේ honeydew කියලයි. 

'මිනිසා ජනපදයක් (colony) හදන්න කලින් ජනපදයක් හැදුවෙත් කුහුඹු පරපුරේ අයයි. ඔහෙලා අපේ ජනපද හඳුන්වන්නේ formicary කියලයි. මීමැස්සන් (bees) වැනි කෘමීන් ඒ අතර ප්‍රධානයි. ජනපදවලට අමතරව නිවාස සංකීර්ණ හැදීම අතින් වේයන් (termites) ඉදිරියෙන් ම සිටිනවා. ඒ වගේ වේගවත් මේසන්ලා ඔහෙලා අතර නම් නැහැ. ‘තුඹස’ කියලා ඔහෙලා හඳුන්වන අපේ නිවාස සංකීර්ණයක් හවසක කඩා දැමුවොත් පහුවදා එළි‍වෙන්න අපේ මේසන්ලාට හදන්න පුලුවන් බව ඔහෙලා අත්දැකලත් ඇති. 

'අපේ එක ලොකු ජනපදයක් මිනිසුන්ගේ නගරයක් තරම් ලොකුයි. ඒ වගේ අති දැවැන්ත කොලනියක් ඔහෙලගෙ විද්‍යාඥයන් 2000දී ආජෙන්ටිනාවේ දී සොයා ගත්තා. එහි හැතැප්ම 3,700 පළලයි. විවිධ කුහුඹු ගහන 33ක් ඒ ජනපදයේ ජීවත්වෙනවා. සුපිරි කොලනියක් ලෙස හඳුන්වන එහි එකට සම්බන්ධ වුණු කැදලි මිලියන ගානක් තියෙනවා. ඒ වාගේ වැඩ සේවක කුහුඹුවන් බිලියන ගානක් ඉන්නවා. 

මීමැස්සන් වැනි කුහුඹුවන් සොබා දහ‍මට කරන සේවය අනුපමේයයි

'දිවි රැක ගැනීමටත් කෘමීන් අනෙක් හැම සතෙකුටත් වඩා දක්ෂයි. උන් ප්‍රමාණයෙන් කුඩා වීමත් බොහෝ කෘමීන්ට පියැඹීමට හැකි වීමත් නිසා ඔවුන් ඒ අතින් මුලටම එනවා. 

'කුහුඹුවන් සත්වලෝකයේ ඉන්නා ශක්තියෙන් වැඩිම සතුන් උන්ගේ ප්‍රමාණය සසඳා බලන විට. උන්ට උන්ගේ සිරුරේ බර මෙන් 50 ගුණයක බරක් උසුලන්න පුලුවන්. ඒවාගේම සමූහිකව වැඩි කිරීමේ හැකියාව උන්ට ඇති නිසා ඊට වැඩි ඕනෑම බරක් එකමුතු වෙමින් ඔසවාගෙන යන්නටත් ඔවුන්ට පුලුවන්. 

'කුහුඹුවන්ට කන් නැති නිසා සවන් දෙන්නේ කම්පන තරංග මගින්. බිම ඇවිදින විට ඔවුන්ගේ දෙපාවලට මේ කම්පන තරංග දැනෙනවා. ඇස් නැති කුහුඹුවන් විශේෂයක් වන ඩ්‍රයිවර් කුහුඹුවන් (driver ant) සන්නිවේදනය කරන්නේ ඇන්ටෙනා මගින්. 

මීමැස්සාගෙන් ඔහෙලාට ඉගෙන ගත් හුඟක් දේ තියෙනවා.

'ඒ හැරෙන්නට සමහර කුහුඹුවන් රසායනික සංඥා නිකුත් කරනවා. ඒ රසායනික සංඥා ඔහේලගේ විද්‍යාඥයන් හඳුන්වන්නේ ෆෙරෝමෝන (pheremones) කියලයි. කුහුඹුවන් සිරුරෙන් නිකුත් කරන මේවායෙන් අනික් කුහුඹුවන්ට පණිවිඩ යවනවා. අනතුරක් ඇති විට, ඒ තැන් අනික් අයට සන්නිවේදනය කරන්නට, ආහාර ඇති තැන්වලට මග කියන්නට, මේ ෆෙරෝමෝන යන එන මග තවරනවා. ඒ විතරක් න‍ොවෙයි, සහකාරයන් හෝ සහකාරියක් කැඳවා ගන්නත් ෆෙරෝමෝන නිකුත් කරනවා. මේ වගේ වැඩට මිනිස්සු සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ කුහුඹුවන්ගෙන් ඉගෙන ගෙනයි. 

'මිනිසුන් ඉතා වටිනා ඔසුවක් ලෙසත්, පෝෂ්‍යදායක රස ආහාරයක් ලෙසත් සලකන මීපැණි තනන්නේ අපේ පරපුරේ එකෙක්. අදටත් ඒක පරදවිය හැකි ආහාරයක් මිනිසා සතුව නැහැ.'

අපට හිරිහැර කරන ලොකු ම කෘමියා වන මදුරුවකු දෂ්ඨ කළ නිසා මට එකවරම ඇහැරුණ නිසා ඉතිරි හරිය අහගන්න බැරි වුණා. 

 - පර්සි ජයමාන්න 

 

 

 

 

Post a Comment

0 Comments