කොවිඩ් - 19 වල නව ප්‍රභේද ඇති වීමත් සමග වසංගතයට එරෙහිව ගෙන යන සටනේ මුහුණුවර වෙනස් වී තියෙනවා. ඉක්මනින් පැතිරෙන මාදිළි නිසා මේ තත්වය පාලනය කිරීම ශ්‍රී ලංවේ අපටත් ප්‍රශ්නයක් වෙලයි තියෙන්නෙ. රෝගීන්ගේ තත්වය වැඩි වීමත්, රෝහල්වල ධාරිතාව ඉක්මවා යාම නිසා, සංකූලතා නොපෙන්වන හෝ ආසාධ්‍ය නොවන රෝගීන් ඔවුන්ගේම නිවෙස්වල ම රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් දැන් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් හඳුන්වා දීලා තියෙනවා.
මේ නව ක්‍රමය අනුව කොවිඩ් ‘පොසිටිව්’ වන අයට කැමති නම් ගෙදර ම රැඳී ප්‍රතිකාර ගන්න පුළුවන්. හැබැයි කෝවිඩ් ආසාදිතයාට පවුලේ වෙනත් අයගෙන් වෙන්ව සිටීමේ ඉඩකඩක්, ඒ කියන්නේ වෙනම කාමරයක් ඒ නිවසේ තියෙන්න ඕනෑ. එහෙම නැතිනම් අනික් අයගේ ආරක්ෂාවට රෝගියා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යාමයි වඩාත් සුදුසු වන්නේ. කොහොම වුනත් කොවිඩ් පොසිටිව් වුනොත් ඔබට නිවසේ ම නැවතී ප්‍රතිකාර ගන්න නම් රජයේ අනුග්‍රහය අවශ්‍ය වෙනවා. පීසීආර් පරීක්ෂණයකින් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකින් හෝ පොසිටිව් වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දැනුම් දෙන්න ඕනෑ. ඔහු තමා තීරණය කරන්නේ නිවසේ සිට ප්‍රතිකාර ගැනීම සුදුසුයි කියලා. ඒ වගේ ම නිවසේ සිට ප්‍රතිකාර ගන්නට අවසර ලැබෙන්නේ වයස අවුරුදු දෙකත්, 65ත් අතර අයට විතරයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පරීක්ෂාකර නිර්දේශ කිරීමෙන් පසු ඔහුගේ අධීක්ෂණය යටතේ නිවසේ රැඳී සිට ප්‍රතිකාර කර ගත හැකියි. ඒ අයට පැය 24 පුරා ක්‍රියාත්මක වන 1390 දුරකථන අංකය හරහා ඔවුන්ට විශේෂඥ වෛද්‍ය සහය ලබා ගත හැකියි. හදිසියක දී මේ රෝගීන් රෝහල් ගත කිරීමට ද ඔවුන් අවශ්‍ය කටයුතු කරනවා. කොවිඩ් සඳහා එන්නත් කළ ද රෝගය වැලඳීමට ඉඩ ඇති නිසා නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා.
නිවසේ සිට ප්‍රතිකාර ගන්නා විට ආසාදිතයාට හා ඔවුන්ගේ පවුලේ අයට පිළිපැදිය යුතු කරුණු ගණනාවක් ප්‍රසිද්ධ කෙරුණා. ඊට වෛද්‍යවරුන්ගේ උපදෙස් ද ඇතුළත් වුණා. එයින් වඩාත් වැදගත් වෙතැයි සිතන කරුණු කීහිපයක් මෙහි දක්වනවා.
පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න
• දින දෙකකට වඩා පවතින තද උණ
• අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම සහ මහන්සි ගතිය
• හුස්ම ගැනීමේ අපහසුව (කෙටි හුස්ම වේගයෙන් ගැනීමට සිදු වීම)
• පපුවේ එක දිගට පවතින වේදනාව
• සුළු වැඩක යෙදුනත් පෙර නොතිබුණු තෙහෙට්ටුවක් දැනීම
• සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96%කට අඩු අගයක පැවතීම (පල්ස් ඔක්සිමීටරයක් භාවිත කොට මෙය මැන බැලිය හැකිය.)
නිවසේ දී කළ යුතු දෑ -
• කාමරයෙන් පිටත යන විට මුහුණු ආවරණය කට හා නාසය හොඳින් වැසෙන සේ නිවැරදිව පලඳින්න. එසේ පැලඳීමට මුහුණු ආවරණය අල්ලන්නට පෙර සබන් දා හොඳින් අත් සෝදන්න.
• හැමවිටම අන් අය සමග මීටර දෙකක පරතරයක් තබා ගන්න.
• පාවිච්චි කළ මුව ආවරණ තැන තැන නොදමා වැසූ බඳුනකට දමා පසුව පුළුස්සා දමන්න.
• දිනපතා පිරිසුදු ජලය ලීටර දෙක හමාරක් පමණ බොන්න.
• පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න.
• දුම්පානය හා මත්පැන් ඉතාමත් අහිතකර බව මතක තබා ගන්න.
• හැකි පමණ විවේකයෙන් සිටීම අවශ්‍යය. කාමරය තුළ ඇවිදින්න. ඇඟ වෙහෙසෙන කටයුතුවල නොයෙදෙන්න. නිවසේ අතුපතුගෑම, රෙදී සේදීම වැනි කටයුතුවල නොයෙදෙන්න.
• නිදා ගැනීමේ දී හැමවිටම දකුණු හෝ වම් ඇලයට හැරී නිදා ගන්න. උඩුබැලි අතට නිදා ගැනීම අවම කරන්න.
• හන්දිවල වේදනාව, නාසයෙන් දියර ගැලීම, වියළි කැස්ස, උගුරේ කැක්කුම, කෑම අප්‍රිය බව, ගඳ සුවඳ දැනීම අඩු වීම වැනි රෝග ලක්ෂණ බහුලව ඇති විය හැකියි.
• වෛද්‍ය උපදෙස් මත නියම කරන ඖෂධ භාවිත කරන්න. උණ වැඩි නම් පැය හයකට වඩා පැරසිටමෝල් ගන්න.
• සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96%කට අඩු අගයක නම් වෛද්‍යවරයාට ඒ බව දන්වන්න.
කොවිඩ් - 19 රෝගියකුට ප්‍රතිකාර කරන අයට -
• උවටැන් කිරීමෙන් පසු, මුහුණු ආවරණය ගැලවූ පසු, ආහාර පිළියෙල කිරීමට පෙර සබන් ගා හොඳින් අත් සෝදන්න.
• රෝගියාගේ ශාරීරික ස්‍රාවයන් පිරිසිදු කිරීමේ දී අත්වැසුම් පාවිච්චි කරන්න. නැතිනම් සබන් යොදා වැඩි වේලාවක් දෑත් සෝදන්න.
• රෝගියා පාවිච්චි කරන මුව ආවරණ මෙන් ම ඔබ පාචිච්චි කරන මුව ආවරණ පුළුස්සා විනාශ කරන්න.
රෝගය සුවපත් වූ පසු -
• රෝගය සුව වීමෙන් පසුත් සිරුරේ අප්‍රාණික ගතිය, ඇඟපත වේදනාව, වියළි කැස්ස පැවති හැකිය. ඒ ගැන වද නොවන්න. හෙමින් ඒවා පහව යනු ඇත.
• එදිනෙදා සාමාන්‍ය කටයුතුවල යෙදෙන්න. එහෙත් සති දෙකක් යන තෙක් ඇඟ වෙහෙසන කටයුතුවල නොයෙදෙන්න.
• කොවිඩ් වැළඳීමෙන් පසු එය ඔබගේ මානසික සුවයට ද බලපෑම් කරන්නට ඉඩ තිබේ. ඒ නිසා විවේකීව ආදරණීය නෑදැ හිතවතුන් සමග සතුටින් කාලය ගත කරන්න. සුපුරුදු විනෝදාංශවල (දුම් පානය හා මධුවිත භාවිතය නොවේ.) යෙදෙන්න.
0 Comments