HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එක රැයක් තුළ තැපැල් බෙදීමේ සිහිනය සැබෑ කර ගෙන කෝටිපතියකු වූ හැටි!

ඔහු ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ සිසුවෙක්. ඔහුගේ නම ‍ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ස්මිත්. (Fredrick W. Smith) එහි ආර්ථික විද්‍යාව හදාරමින් සිටිය දී ඔහුට අපූරු සිතුවිල්ලක් ඇති වුණා. එදා ඔහු සිතුවේ ඇමරිකාව පුරා යැවෙන ලියුම් හා පාර්සල් එක් රැයකින් බෙදීම කළ නොහැකිද යන්නයි. 1960 ගණන්වල එවැන්නක් සිතන්නවත් බැරි තරම් විප්ලකාරී අදහසක්! ඒ මොකද කීවොත් ඒ කාලේ එවැන්නක් එක් තැනකින් තවත් තැනකට ගෙනියන්න අඩුම තරමින් වැඩ කරන දවස් තුනක්වත් ගත වන නිසයි. 

ෆෙඩ්එක්ස් කූරියර් සමාගමේ වැන් රථයක් පැකේජ එකතු කරමින්

ඔහු සිතුවේ මුලින් ම ඇමරිකාව පුරා ගුවන්තොටුපොළවල් මධ්‍යස්ථාන කර ගෙන ඒ අවට තැපෑලෙන් ගෙන යා යුතු පාර්සල් මෝටර් රථ මගින් එක් රැස් කරනවා. ඊළඟට ඒ ගුවන්තොටු‍පොළෙන් යන ගුවන්යානයක් මගින් ඒවා ඇමරිකාව මැද තියෙන ගුවන්තොටුපොළක පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගෙන යනවා. ඇමරිකාව පුරා හැම තැනකින් ම එන පාර්සල් සියල්ල එහි දී එක තැනකට ගොඩ බානවා. ඉන් පසු ඒවා යා යුතු තැන් අනුව තෝරා බේරා වෙන් කරනවා. ඊළඟට ඒවා යායුතු තැන්වලට යළිත් එහි එන ගුවන්යානා මගින් හරවා යවනවා. 

ඔහුගේ සිතට ආ මේ සංකල්පය විස්තර සහිත නිබන්ධනයක් සේ සටහන් කර ඔහු තමාට ව්‍යාපාර අධ්‍යයනය ඉගැන්වූ මහාචාර්යවරයා අතට දුන්නා. ඔහු එය පිළිගෙන ස්මිත්ට මැද පෙළ සාමාර්ථයක් දුන්නා. ‘අදහස හොඳයි. ඒත් මේ වගේ දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න බැහැ.’ මහාචාර්යවරයා කීවා. පසුව ස්මිත් මෙය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳ විශේෂඥයන් කීප දෙනෙකුට ම පෙන්නුවා. ඔවුන් කීවේද ඒ අදහස බොළඳ එකක් බවයි. ඒත් මේ කතාවලින් ස්මිත් අධෛර්යයට පත් වුණේ නෑ. ඔහු ඒ අදහස ගැන තවදුරටත් හිතුවා. ඔහු සිතුවේ ලියුමක්, පාර්සලයක් පසුවදාම තමන් අතට ලැබෙන්නේ නම් කිසිවකු ඊට අකමැති නොවන බවයි. මිනිස්සු මේක ආසාවෙන් බාර ගනීවි කියා ඔහු හිතුවා. 

ෆෙඩ්එක්ස් සංකල්පය ලොවට දුන් ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ස්මිත්.

කොහොම වුනත්, 21 හැවිරිදි වියේ සිටි තරුණයෙකු හැටියට ඔහුට ඒ විධියේ බරපතල ව්‍යාපාරයක් ක්‍රියාවට නංවන්න තරම් ධනයක් තිබුණේ නෑ. ඊට අවශ්‍ය සුළු මෙවලම් කීපයක් විතරයි ඔහු සතුව තිබුණේ. 

වියට්නාම් යුද්ධයේ දී තමා ලත් නායකත්ව අත්දැකීම් අනුව කළ යුත්තේ කුමක්දැයි අවබෝධයක් ඔහුට තිබුණා. තමා හා එක්වන අයට ගෞරව දක්වන ආකාරය ගැනත්, තමන්ගේ පිරිස රැක බලා ගැනීමේ වැදගත්කම ගැනත් ඔහු තේරුම් ගෙන තිබුණා. ඒ වගේ ම ඔහු බුද්ධිමතුන්ගේ නම්‍යශීලී ගතිය අගයන්නත් ඉගෙන ගෙන තිබුණා. අනපේක්ෂිත අවස්ථාවලට මුහුණ දීමේ දී අණ දෙන නිලධාරින්ගේ හිතුවක්කාර දැඩි තීරණ නිසා හෝ තීරණ ගැනීමේ ප්‍රමාදය නිසා භටයන් යුද බිමේදී අසරණව මිය යනු ඔහු අත්දුටුවා. ඒ අනුව ඔහු තීරණය කළේ සාමාන්‍ය මිනිසුන්ට අභියෝග බාර දෙන්නයි. ඔවුන් අවස්ථාවට උචිත ආකාරයට කටයුතු කරාවි කියා ඔහු විශ්වාස කළා. 

ස්මිත් ආරම්භයේ දී ම තේරුම් ගෙන සිටියා, ඔහුගේ සමාගමේ කටයුතුවලදී කිසියම් අර්බුදයක් ඇති වූ විට ඒ සෑම එකකට ම තීරණ දෙමින් ඒවා ක්‍රියාවට නංවන්නට තමාට ඒ තැන්වල සිටින නොහැකි බව. ඒ නිසා ඔහු මුදල්වලටත්, ගුවන්යානාවලටත් වඩා වැඩි තැනක් නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීම කෙරෙහි බර තබා ක්‍රියා කළා. ඔහු සිය සමාගමට බඳවා ගත් හැම දෙනාම එහි හිමිකරුවන් ලෙසයි සැලකුවේ. 

අද ඇමරිකාවේ ඉන්නා ලොකුම ධනවතකු වන ෆ්‍රෙඩ්රික් ඩබ්ලිව්. ස්මිත්.

ඒ සමාගම ආරම්භයේ පටන් සිටි අයකු වූ ආතර් සී. බාස්, ස්මිත්ගේ නායකත්වය ගැන කීවේ හරිම සතුටින්. ‘ඔහු පිරිස් වශයෙන් රැස් කළේ තමන් කරන කාර්යය ගැන අභිමානයෙන් යුතුව කටයුතු කළ හැකි අයයි. එසේ තෝරා ගන්නා අයට ඔහු කීවේ, “ට්‍රක් එකක, ගුවන්යානයක හෝ ප්‍රධාන මධ්‍යස්ථානයේ හෝ කොතැනක සිටියත් ඔබ ස්වාධීනව තීරණය ගෙන කටයුතු කරන්න ඕනෑ. හැම දෙනාම ඔබ කෙරෙහි විශ්වාසය හා බලාපොරොත්තුව තබාගෙන ඉන්නවා.” කියලයි. 

ඔහුගේ නව සමාගම 1973 මාර්තු 12 වැනිදා ආරම්භ කෙරුණා. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසි ජනපදයේ මෙම්පිස්හී පිහිටි එහි ජාතික මධ්‍යස්ථානය වෙතට අවට ප්‍රාන්තවල සිට ගුවන්යානා මගින් ප්‍රථම ඩිලිවරි තොගය ගෙන ආවා. ඊට අයත් වු‍ණේ පාර්සල් 6ක් පමණයි. එදා වෑන් කීපයක්, ජෙට් යානා 14ක් හා නගර 25ක් තමයි, ආරම්භයේ දී යොදා ගත්තේ. ඒ අනුව ස්මිත් හැර කවුරුත් හිතුවේ අප්‍රේල් මාසය අවසාන වන විට සමාගම වහලා දාන්න වෙයි කියලයි. ඒ වන විට සමාගම ලබා තිබූ පාඩුව ඩොලර් මිලියන 4.4ක් වුණා. 

තවතවත් පාඩු සිදු වුණා. ඊළඟට 1973 සැප්තැම්බර්වලදී එහි කටයුතු නවතා දමතැයි බලාපොරොත්තු වුණා. ඒ වන විට ණය තවත් වැඩි වී අගරුවෙන තත්වයට පත් වෙන ලකුණු පහළ වුණා. ස්මිත් තම සේවාවේ නියුතු අයට මෙසේ දන්වා යැව්වා, ‘හද පත්ලෙන් ම කනගාටුවෙමින් ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පවත්නා තත්වය ගැන සලකා මෙවර ඔබේ වේතන චෙක්පත බැංකුවේ තැන්පත් කරන්නට ලබන සඳුදා වනතෙක් පමා කරන ලෙසයි’ '

මේ ගුවන්යානා මගින් එක් දිනක් තුළ ලොව පුරා රටවල් 210කට පැකේජ රැගෙන යයි.

ස්මිත්ගේ සමාගමේ ණය මිලියන 30ක් දක්වා වැඩි වුණා. ඊට එක්වී සිටි කොටස්කරුවන් ස්මිත්ට එරෙහිව ගියා. ඔවුන් කුමන්ත්‍රණය කර ඔහු එහි නායකත්වයෙන් පහ කර හිටපු ගුවන්හමුදා ජනරල් වරයකු ඒ තැනට පත් කර ගත්තා. ස්මිත් නිකම් හිටියේ නෑ. ඔහු වසරක් තුළ සටන් කර ආපසු තමාගේ තැන ලබා ගත්තා. 

බංක‍ොලොත් වීම හිමිකරුට විතරක් නොවෙයි සේවකයන්ටත් එක වගේ ම තර්ජනයක් ගෙනාවා. සමාගමේ මුල්‍ය අර්බුදය ඒ හැම දෙනාටමත් ප්‍රශ්නයක් වුනේ ඒ හැම දෙනාම ව්‍යවසායකයන් වූ නිසයි. 

සමාගමේ සේවය කළ පණිවුඩකරුවන්ට පැවරී තිබුණේ නියමිත වෙලාවට පැකේජ සියල්ල එකතු කර ගෙන ගුවන්තොටුපොළ වෙත ගෙන ගොස් බාර දීම පමණයි. රියැදුරු ඒ කාර්යය නිසි වෙලාවට කරන අතර ඒ ගැන සොයා බලන්නට, ප්‍රශ්න කරන්නට කිසිවකු නැත. ඔවුන් තමාගේ කාර්යයක් සේ සලකා ඒ කටයුත්තෙහි නිරත වුණා. සමහරුන් ඔවුන්ගේ ඔරලෝසු පවා උගස් කොට ගැසොලින් මිලට ගෙන තමාගේ වාහනය ඒ සඳහා පාවිච්චි කළ අවස්ථා වාර්තා වුණා. ‘කොම්පැනියට සල්ලි තිබුණෙ නෑ කියන එක අපි ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. මේක නව තාලේ අත්හදා බැලීමක්! අපටත් ඕනෑ වුණා, කොහොම හරි මේක කරන්න පුලුවන් බව පෙන්වන්න.’ එක් පණිවිඩකරුවකු වූ ටකර් කියනවා. 

කෙහොම වුනත් කාලයත් එක්කම මේ තත්වය වෙනස් වුණා. අමාරුවෙන් පටන් ගත්තත් අද ස්මිත්ගේ ව්‍යාපාරය අති සාර්ථක එකක්. එදා වසර පනහකට ඉස්සර කළ නොහැකි යැයි බොහෝ දෙනා අනාවැකි කී ස්මිත්ගේ නව අදහස එදා ආරම්භ වූයේ ‘ෆෙඩරල් එක්ස්ප්‍රස් ‘ (Federal Express) කියලයි. එය 1994 දී ‘ෆෙඩ් එක්ස්’ (FedEx) වශයෙන් නම් කෙරුණා. අද එය රටවල් 210ක ක්‍රියාත්මක වෙනවා. අද දිනපතා එක් රාත්‍රියක දී පැකේජ ලක්ෂ හතකට වඩා තෝරා නිසි තැන්වලට යවනවා. එහි පැකේජ තෝරන ස්වයංක්‍රීය පටිවල දිග කි.මී. 64ක්. ඒ සඳහා ජෙට් යානා 600කට වඩා යොදා ගන්නවා. ෆෙඩ් එක්ස් සමාගමේ වර්ධනය කෙතරම් ශීඝ්‍රයෙන් සිදුවුණා කීවොත් එය 2004 දී ලාභය ඩොලර් කෝටිය ඉක්මවූ ප්‍රථම ඇමරිකන් සමාගම බවට පත් වුණා. 

- පර්සි ජයමාන්න 

 

 

Post a Comment

0 Comments