HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අපේ අභිමානය ලොවට පෙන්වන මේ විස්මිත සත්වයා ගැන ඔබ දන්නේ මොනවාද?

මේ නුවර ඇසළ පෙරහැර කාලය නිසා අපට ඒ සමග සිහියට එන්නේ අලි ඇතුන්. මේ තරම් අලිඇතුන් සංඛ්‍යාවක් සහභාගි වන වෙනත් පෙරහැරක් ලෝකයේ ම ඇත්තේ නැහැ. මේ තරම් දිගු කාලයක් තිස්සේ වසරක් පාසා නො කඩවා පවත්වන සෙංකඩගල ඇසළ පෙරහර මෙවර කොවිඩ් 19 වසංගතය නිසා නරඹන්නන්ගෙන් තොර ව පවත්වනවා. සෞඛ්‍ය නීති රීතිවලට යටත් ව දළදා මාළිගය ආශ්‍රිත සිදු කළයුතු ආගමික වතාවත් සියල්ල එහිදී සිදු කෙරෙනවා. මේ පෙරහැර කාලයට ම අලි ඇතුන් සම්බන්ධ තවත් විශේෂ සිදුවීමක් යෙදී තිබුණා. ඒ අලි ඇතුන් සුරැකීම‍ කෙරෙහි ලෝක අවධානය යොමු කිරීම පිණිස වෙන්වූ අන්තර්ජාතික අලි දිනයයි. එය සෑම වසරකම අගෝස්තු 12 වැනිදාට යෙදී තිබෙනවා. 

නැඳුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහරේ කරඬුව ගෙන අයුරු

මේ වසරේ අලි ඇතුන් සුරැකීමේ දිනයේ තේමාව වූයේ, ‘අරුම පුදුම සතුන්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය ගැන සොයා දැන ගන්න හොඳම කාලයයි’ යන්නයි. 2011 දී මෙම දිනය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ කැනේඩියානු සිනමාකාරියක වූ පැට්‍රීෂියා සිම්ස්ට හා තායිලන්තයේ අලියා යළි වනයට හඳුන්වා දීමේ පදනමටයි. මුලින් ම මේ දිනය සමරන ලද්දේ 2012 අගෝස්තු 12 වැනිදායි. මේ ක්‍රියාන්විතයට සහය දුන් අනෙක් තැනැත්තා නම් ‘ස්ටාර් ට්‍රෙක්’ රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන නළු විලියම් ෂෙට්නර් ය. ‘ආසියානු අලි ඇතුන් වනය හුරු කිරීම’ නම් ව්‍යාපෘතිය වෙනුවෙන් තැනූ වාර්තා චිත්‍රපටයේ කථනය ද ඔහුගෙන්. මේ වැනි කාලයක වසරකට අලි මිනිස් ගැටුම නිසා අපිට අහිමි වන අලින් රැක ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොසු කළ යුත්ව තියෙනවා. අපේ රටේ ඉන්නා අලි ඇතුන් ගණන 6000ක්. එයින් ඇතුන් ඇත්තේ සියයට 5ක් පමණයි. 

නැඳුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහරට සහභාගි වීමට පූර්ණ හමුදා ආරක්ෂාව 
සහිතව බැලුම්මහර සිට නුවර පාර දිගේ යන්නේ මෙසේයි. ඌ කිසි දිනෙක වාහනයකින් 
ප්‍රවාහනය කරනවාට කැමති නැත.

මේ විස්මිත අලි ඇතුන් ගැන ඔබ දතයුතු කරුණු කීපයක්. 

1. අලියකුගේ ගර්භිණී සමය අනිත් සතුන්ට වඩා වැඩියි. එය මාස 22ක්! 

2. උපතේ දී අලි පැටියකුගේ සාමාන්‍යයෙන් කිලෝ ග්රෑම් 95 (රාත්තල් 210ක්) විතර වෙනවා. 

3. අප්‍රිකානු අලියා ආසියානු අලියාට වඩා ප්‍රමාණයෙන් විශාල වුවත් උපතේ දී අප්‍රිකානු අලි පැටියා ප්‍රමාණයෙන් කුඩායි. 

4. අලියාගේ නාසයේ කාර්යයත්, අතේ කාර්යයත් දෙක ඉටු කරන්නේ හොඬවැලයි. උගේ හොඬවැලට සියුම් කටයුතු රැසක් කළ හැකියි. එයට යම් වස්තුවක ප්‍රමාණය හා හැඩය ගැන දැන ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් අලියාගේ ඇස් පෙනීම එතරම් හොඳ නැහැ. 

5. අලියකුට පානය සඳහා ජලය ඇති තැනක් හැතැප්ම 12ක් දුර තියා දැන ගැනීමේ ඉවක් තියෙනවා. 

6. අලියකුට දවසකට බීමට ජලය ලීටර් 210ක් අවශ්‍ය වෙනවා. 

7. අලියකු දවසකට පැය 16ක් පමණ කාලයක් කෑම හා ජලය සොයා ඇවිද යනවා. 

8. අලියකු නිදන්නට ගත කරන්නේ පැය 2-3ක් පමණයි. 

9. අලියා මඬ නාන්නේ උගේ සම අති සංවේදී නිසා එය රැක ගැනීමට ආරක්ෂක ආවරණයක් ලෙසයි. 

10. අලියකුගේ ආයු කාලය සාමාන්‍ය‍යෙන් අවුරුදු 70ක් පමණයි. දළදා කරඬුව වැඩමවීමට යොදා ගන්නා නැඳුන්ගමුවේ රාජා හස්තියා පසුවන්නේ මේ වයසේයි. ඔහු ලංකාවට ආවේණික අලි වි‍ශේෂය වූ එලිෆාස් මැක්සිමස් මැක්සිමස් (Elephas maximus maximus) ගනයට අයත් වන්නේ නැහැ. ඉන්දියාවෙන් ගෙනා ඌ අයත් වන්නේ එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus) ගණයටයි. 

ආසියානු වන අලියා

11. වසරකට අපේ රටේ අලි-මිනිස් ගැටුමින් අහිමි වන අලින් ගණන 300ක් පමණ වන අතර ඒ නිසා අහිමි වන මිනිස් ජීවිත ගණන 100ක්. මසකට අප්‍රිකානු ඇතුන් 100ක් මිනිසාට දළ ලබා දීමට දිවි පුදනවා. 

12. තවත් වැදගත් දෙයක් නම්, මිනිසා හැරුණු විට නිකටක් ඇති එකම සතා අලියායි. 

13. අලියාට මාංශ පේශීන් 100,000කට වඩා තියෙනවා. එයින් මාංශ පේශීන් 40,000ක් ඇත්තේ හොඬවැලෙහියි. මිනිසාට ඇත්තේ මාංශ පේශීන් 639ක් තරම් සොච්චමක් විතරයි. 

14. අලියාගේ හොඬවැලෙහි අග ඇඟිලි බඳු‍ පේශීන් දෙකක් තියෙනවා. කොළ කඩා කන්නටත් ඒවා යොදා ගන්නවා. ඒ විතරන් නොවෙයි, ඒවා පාවිච්චි කර බිම ඇති අල්පෙනෙත්තක් වැනි දෙයක් වුනත් අහුලා ගන්න ඌට පුලුවන්. 

15. ඇත් පැටියකු බිහි කළ හැක්කේ ඇතින්නියකට පමණයි! කෙණෙරකට ඇත් පැටියකු බිහි කළ නොහැකියි. අලියකුට ඇත් පැටියකු බිහි කරන්න නම් අතින්නියක් අවශ්‍ය වෙනවා. 

අප්‍රිකානු වන අලියා

16. අනිත් සිවුපාවන්ගේ මෙන් නොව අලියාගේ පාද හතරම පසු පසට නැමෙනවා. ඇත් ලමන සුවිශේෂ වන්නේ ඒ නිසයි. 

17. අලියාගේ හැඩ රුව ලෝකයේ ජීවත්වන අනෙක් සියලු ම සතුන්ට වඩා වෙනස්. පැතලි විශාල කන්, දිග නැහැය, ලොකු මහත පාද හතර වැනි අවයව වෙනත් කිසිම සතකුගේ දක්නට ලැබෙන්නේ නැහැ. බුදුන්වහන්සේ අන්ධයන් හත්දෙනා අලියා දුටු හැටි උපමා කතාවට අලියා යොදා ගත්තේ මේ අමුතු හැඩරුව නිසයි. 

18. බළලා, බල්ලා, කුකුළා, අශ්වයා වැනි සතුන් මිනිසා විසින් හීලෑකර ගෙන නොයෙක් වෙනස්කම්වලට භාජනය කොට අප සමග ජීවත්වීමට හොඳින් ම හුරුකර ගෙන සිටියත් අලියා තවමත් අපි අල්ලා ගෙන සිටින වන සතෙක්. අනාථාගාර වැනි තැන්වල බිහිවී මිනිසාට හුරුපුරුදු වුනත් වන සතකුගේ තත්වයෙන් කොහොමත් මිදී නැහැ. 

19. දළදා පෙරහරේ වසර පනහක් දළදා කරඬුව වැඩමවමින් ලොව වෙනත් කිසිම සතකු නොකළ වාර්තා ගත මෙහෙයක් කළ දළදා මාලිගයේ රාජා ඇතා මියගියද තවමත් ජීවමාන ස්වරූපයෙන් සංරක්ෂණය කොට ‍දළදා මළිගය අසල විශේෂ මැදිරික ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 

20. ගොඩබිම ඉන්නා ලොකුම සතා අලියා නිසා ගොඩබිම සිටින අන් හැම සතකුට ම වඩා අලියාගේ මොළය විශාලයි. එය සාමාන්‍යයෙන් කිලෝ ග්රෑම් 5ක් බරයි.

 - පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments