එක ධජයක් යටතේ, එකමුතු හැඟීමෙන්, ජාති, ආගම්, කුල, ගෝත්‍ර, වර්ණ, භාෂා, පක්ෂ ආදි හේද සියල්ල අතහැර, එක ගම්මානයකට ඇවිත් එකාවන්ව තම ශක්තිය උරගා බැලූ රටවල් 205ක ජනතාව නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායම් හා රටක් නැති සරණාගත ක්‍රීඩා කණ්ඩායමත් පසුගියදා විසිර ගියා. වසර හතරකට වරක් එන මේ විශේෂ අවස්ථාව දෙස විමසුම් ඇසින් බැලුවොත් අපට ඉගෙන ගන්නට ඇති දේ බොහෝයි. මා මේ කතා කරන්නේ පසුගියදා අවසන් වුණු ලොව පැරණිම ක්‍රීඩා උළෙල ගැනයි. එනම් ජපානයේ තෝකියෝ අගනුවර පැවති 32 ඔලිම්පික් උළෙල ගැනයි.
ඔලිම්පික් උළෙලේ ඉතිහාසය වසර දහස් ගණනක් ඈත අතීතයට දිව ගියත් 1896 දී නවීන ඔගිම්පික් උළෙල ආරම්භ කළ ප්‍රංශ ජාතික පියරි ඩි කුබෝර්ටීන් (Baron Pierre de Coubertin) සාමිවරයා විසින් වුනත්, සිතන්න නැතුව ඇති වසර හතරකට වරක් පැවැත්වෙන මෙම උළෙලෙන් ලොව පුරා සිටින ජනතාව එකිනෙකා මේ තරම් සමීප වෙතැයි කියා. ඒ වගේ ම මේ තරම් සේවයත් ඉටු වෙතැයි කියා. ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනවා හැරෙන්නට ලොව පුරා ක්‍රීඩාවන් නංවාලන්නට ලොකු මෙහෙයක් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉටු වෙනවා. ඒ වගේ ම ලොව පුරා ජාතික ඔලිම්පික් කමිටු 186ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 දෙනකුට මේ 2020 ඔලිම්පික් සහයෝගතා වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබා දෙනවා.
ලෝක වාර්තා 6ක් බිඳ හෙළමින් නව ඔලිම්පික් වාර්තා 24ක් පිහිටුවයි!
2020 තෝකියෝ ඔලිම්පික් උළෙල ගිය ඉරිදා අවසන් වුණේ කෝවිඩ් 19 වසංගතය නිසා වසරකින් කල් ගිය පසුබිමකයි. මේ ආකාරයට ඔලිම්පික් උළෙලක් කල් දමනු ලැබුවේ පළමු වතාවටයි. මේ වතාවේ ඔලිම්පික් උළෙලේ දී නව වාර්තා 24ක් පිහිටුවනු ලැබුවා. ඒ හපන්කම් වැඩියෙන් ම කළේ පිහිනුම් ඔරු පැදීම් ශූරියන්, ශූරයන් තමයි. මෙවර උළෙලේ දී ඔලිම්පික් වාර්තා විතරක් නෙවෙයි, ලෝක වාර්තා හතකුත් බිඳ දමනු ලැබුවා. ඒ බර ඉසිලීම් ඉසව්වලින් හතරකුත්, මලල ක්‍රීඩා හා සයිකල් තරඟ තුනකිනුත් වශයෙන්.
වැඩි ම රන් පදක්කම් දිනූ දෙදෙනා
ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරියක වූ එමා මැකියන් (Emma McKeon) රන් පදක්කම් හතක් දිනා ගත්තා. 27 හැවිරිදි එමා ඒ රන් පදක්කම් දිනුවේ කාන්තා මීටර 50, මීටර 100 නිදහස් ආර, කාන්තා කඩින් කඩ පිහිනුම් 4x100m නිදහස් ආර හා මිශ්‍ර ආර යන පිහිනුම් ඉසවු සඳහායි.
එක්සත් ජනපද පිහිනුම් ශූරයකු වූ කේලබ් ඩ්‍රෙසෙල් (Caeleb Dressel) වැඩි ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා. ඔහු තෝකියෝ පිහිනුම් තටාකයට පිවිසි වඩාත් දක්ෂ පිහිනුම්කරුවා වුුණා. පිරිමි මීටර 50 හා මීටර 100 නිදහස් ආර, මීටර 100 සමනල ආර, පිරිමි කඩින් කඩ පිහිනුම් 4x100m නිදහස් ආර හා මිශ්‍ර ආර ආදී පිහිනුම් ඉසවුවලින් තමයි, ඔහු රන් පදක්කම් දිනුවේ.
රන් පදක්කම් දිනූ ළා බාල ම ඔලිම්පික් ශූරිය හා වයස්ගත ම රන් පදක්කම්ලාභිණිය.
තෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් දිනූ ළා බාල ම තරඟකාරිය වූයේ ජපානයේ මොමිජි නිශියා (Momiji Nishiya)යි. ඒ කාන්තා වීදී ස්කේට්බෝඩ් පදින ඉසවුවෙන්. ඒ රන් පදක්ක දිනන අවස්ථාවේ දී ඇගේ වයස අවුරුදු 13 දින 330ක්. මීට කලින් ඒ වාර්තාව පිහිටුවා තිබුණේ ඇමරිකන් කිමිදුම් ශූරියක වූ මාජරී ගෙස්ට්‍රින් (Marjorie Gestring) 1936 බර්ලින් ඔලිම්පික් උළෙලේදියි. ඒ අවස්ථාවේ ඇගේ වයස අවුරුදු 13 දින 267ක් වුණා. තෝකියෝ ඔලිම්පික්වලදී කාන්තා ස්කේටින් බෝඩ් ඉසවුවෙන් රිදී පදක්කම හිමි කර ගත් 12 හැවිරිදි කොකෝනා හිරාකි (Kokona Hiraki) ස්කේටින් ශූරිය අනෙක් ළා බාල ම කාන්තාව වුණා.
තෝකියෝ ඔලිම්පික්වලට සහභාගි වී රන්පදක්කමක් දිනූ වයස්තම කාන්තාව වූයේ අශ්වාරෝහක කණ්ඩායම් ඉසවුවට සහභාගි වූ 52 හැවිරිදි ජර්මන් ජාතික ඩොරති ෂ්නයිඩර් (Dorothee Schneider) වූ අතර ඇය සමග රන්පදක්කම දිනූ ඒ කණ්ඩායමේ ජෙසිකා වොන් බ්‍රෙඩෝ වර්න්ඩ්ල්(Jessica von Bredow-Werndl) හා ඉසබෙල් වෘත් (Isabell Werth) යන දෙදෙනා ම 52 හැවිරිදි වුවද ඔවුන් ඩොරතිට වඩා මාස කීපයකින් වැඩිමහල් අයයි. ඒ වගේ ම ඕස්ට්‍රේලියානු අශ්වාරෝහක ඉසවු ක්‍රීඩිකාවක වූ 62 හැවිරිදි ඇන්ඩෲ හෝයි (Andrew Hoy) කණ්ඩායම් තරඟවලින් රිදී පදක්කමක් ද ඒකල ඉසවුවකින් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තා.
ඉන්දියාවේ එකම රන් පදක්කම දිනූ නිරාජ් චොප්රා
මුළු ඔලිම්පික් උළෙලේ ඉතිහාසයට ම ඉන්දියාව දිනා ගෙන තියෙන්නේ රන් පදක්කම් 10ක් පමණයි. එයින් 8ක් ම දිනා ගෙන ඇත්තේ හොකි ක්‍රීඩාව සඳහා ඉන්දියානු හොකි කණ්ඩායමටයි. ඉතිරි රන් පදක්කම් දෙක දිනා ගත්තේ කේවල ක්‍රීඩා ඉසවු සඳහායි. ඉන් පළමු කේවල රන් පදක්කම දිනා ගත්තේ අභිනව් බින්ද්‍රා (Abhinav Bindra) 2008 දී බෙයිජිං ඔලිම්පික් උෙළලේදියි. දෙවැනි ඔලිම්පික් රන්පදක්කම ඉන්දියාවට හිමිකර දුන්නේ නිරාජ් චොප්රා (Neeraj Chopra) යි.
නිරාජ් චොප්රා මෙවර රන්පදක්කම දිනා ගත්තේ හෙල්ල විසි කිරීමේ තරඟයෙන්. එය විස්මයජනක හෙල්ල විසි කිරීමක් ලෙසයි. ඔහු මීටර 87.58ක් දුර හෙල්ල විසි කළා. ඉන්දියාවට රන් පදක්කමක් ලැබුණේ මේ වසර 12කට පසුවයි. ඉන්දියාවේ නිරාජ්ගේ ජයග්‍රහණය ඉන්දියනු වැසියන් කෙතරම් උද්දාමයට පත් වුණා ද කීවොත් ගුජරාටයේ හා නේත්‍රාන් නගරයේ ඉන්ධන හල් හිමියන් දෙදෙනෙක්ම නිරාජ් නම ඇති ඕනෑම කෙනෙකුට පැට්‍ර්ල් නොමිලයේ ලබා දුන්නා. ගුජරාටයේ ජනාගාද්වල ගිරිනාර් කේබල් කාර් පද්ධතියෙන් අගෝස්තු 20 වැනිදා දක්වා ‘නීරාජ්’ නම තියෙන ඕනෑම කෙනෙකුට නොමිලේ ඒ වාහන මගින් ගමන් කළ හැකියි, කියලා දැන්වීම් ප්‍රසිද්ධ කරලා තියෙනවා.
නිරාජ් චොප්රා හෙල්ල විසි කිරීමේ තරඟයේ දී හෙල්ල විසිකරන්න සූදානම් වෙන මොහෙතේ ඉන්දියානු නරඹන්නන් ඔහුව දිරිමත් කරනු ඔහුට අසන්ට ලැබුණා. ඔහු ඒ ජයග්‍රාහී හෙල්ල විසි කළ මොහොතේ ඉන් උද්දාමයට පත් නිරාජ් ඉන්දියානු ජාතික කොඩිය ඔසවාගෙන නරඹන්නන් සිටි දෙසට දිව ගියා. ඒත් එහි නරඹන්නන් නැති බව ඔහුට අවබෝධ වුණේ ටිකක් දුර ගියාට පස්සෙයි. ඔහු හැරිලා ආවා. ඔහුට විතරක් නොවෙයි අනික් තරඟකරුවන්ටත් ඒ ආකාරයෙන් ම ඔවුන්ගේ රටේ නරඹන්නන් තරඟකරුවන් දිරිමත් කර ආකාරයේ ශබ්ද සියල්ල ඩිජිටල් ක්‍රමයට පටිගත කර ඒ අවස්ථාවල ඔවුන්ට අසන්නට සැලැස්වීමට ඔලිම්පික් තරඟ සංවිධායකයන් කටයුතු කර තිබුණා.
නීරාජ් චොප්රාගේ හෙල්ල විසි කළ අවස්ථාව මේ විඩියෝවෙන් නරඹන්න
නරඹන්නන් නැති අඩුව පිරිමැහුවේ විඩියෝ වෝල් මගින්!
මෙවර ඔලිම්පික් උළෙලට නරඹන්නන් සහභාගි කර ගත්තේ නැහැ. ඒත් ක්‍රීඩකයන්ට තමන් තනිවී නැති බව හඟවන්නට, අවශ්‍ය උද්යෝගය හා උත්තේජනය ලබා දෙන්නට, නරඹන්නන් උද්ඝෝෂණ, අත්පොලසන් හා තරඟකරුවන් දිරිමත් කිරීම් ඇතුළත් ඩිජිටල් පටි ගත කිරීම් මිලියන 250ක් යොදා ගෙන වීඩියෝ වෝල් සෑම තැන ස්ථාපිත කරන්න සංවිධායකයන් කටයුතු යොදා තිබුණා.
ඔලිම්පික් උළෙලේ විස්මිත කරුණු 8ක් ගෙනා ‘විශ්මිත ලෝකය’ වීඩියෝව පහතින් නරඹන්න!
කොන්ඩමයේ පිහිටෙන් රන් පදක්කම් දිනූ ජෙසිකා
ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපත්පාලන කොපු හෙවත් කොන්ඩම් 60 දහසක් ලබා දී තිබුණා. කාන්තා කායැක් ඔරු පැදීමට සූදානම් වෙද්දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා 27 හැවිරිදි ජෙසිකා ෆොක්ස් (Jessica Fox) දුටුවා ඇගේ කායැක් ඔරුවේ මුල්ලක් බිඳී ඇති බව. එයින් වතුර ඇතුළට කාන්දුවීමක් සිදුවිය හැකියි. කායැක් ඔරුවේ සමබරතාව නැති වී යාමෙන් ඇය අනතුරට පත් විය හැකි ඇය තේරුම් ගත්තා. තරඟයට සූදානම් ව සිටි අවස්ථාව නිසා ඇයට ඒක අලුත්වැඩියා කරවා ගන්න වෙලාවක් නැහැ. ඇයට එක පාරටම තමන්ට දීලා තිබුණ රබර් කොන්ඩමය මතක් වුණා. ඇය ඒ කොන්ඩමයකින් ඒ තුවාල වුණු ඔරු කොන තමන් විසින්ම අලුත් වැඩියා කර ගත්තා. එසේ කර ගෙන තරඟය හොඳින් කළා. කාන්තා කායැත් ස්ලාලෝම් තරඟ ඉසවු දෙකකින් ලෝකඩ පදක්කමක් හා රන් පදක්කමක් දිනා ගත්තා.
ඇය ලෝකයේ අංක එකේ ඔරු පැදීමේ ශූරියයි. මෙවර ඔලිම්පික් ඔරු පැදීමේ ඉසව්වක් දිනූ පළමු කාන්තාව ඇයයි. ඇය ටික්ටොක් ඔස්සේ වීඩියෝවක් පළ කරමින් කීවේ, ‘ඔයාල කවදාවත් හිතන්න නැතුව ඇති කොන්ඩම් යොදා ගෙන කායැක් ඔරු අලුත්වැඩියා කළ හැකි බව. කායැක් ඔරුපදින්නන් කොන්ඩම් පාවිච්චි කරන්නේ මෙහෙමයි’ කියායි
0 Comments