HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ජූලි 31 වැනිදා රාත්‍රියේ මියගිය ප්‍රේම් පසුවදා ආයුබෝවන් තුළින් යළි උපන් හැටි!

මීට වසර 32කට පෙර ජූලි 31 වැනිදා රෑ ත්‍රස්තයන් ඔහු සොයා ආවේය. ඒ රජයට එරෙහිව ගිය ත්‍රස්ත ව්‍යාපාරයේ එක් පියවරක් වූ රජයේ සේවයට කැප වූ අයට මරණීය තර්ජනය කර සේවාවලින් ඉවත් කරවීමය. ඊට අවනත නොවූ අය කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් අනිත් අය බියට පත් කිරීමත් එහි එක් අරමුණක් විය. භීෂණ අවදියක් ඇති කොට භීෂණය ඔස්සේ රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කිරීම ඔවුන්ගේ මූලික අරමුණ විය. එහිදී ඔවුන් තෝරා ගත්තේ අනාරක්ෂිතව ජීවත්වූ වඩාත් ජනප්‍රිය අයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඇඳිරි නිතිය පැවති වෙලාවේ මහා රෑ අවට නිවෙස්වල ලාම්පු බලෙන් නිවා දමා ඔවුහූ ප්‍රේමකීර්ති සොයා ආහ. ඇවිත් ඔහු නිවසෙන් පිටතට කැඳවා ගෙන ගියහ. 

ප්‍රේමකීර්ති ද අල්විස් දුවට ලියූ සටහනක්

පසුවදා උදේ ප්‍රේමකීර්ති ද අල්විස් නිවස ආසන්නයේ ම දෙවටක වෙඩි පහර තුනක් සහිතව ඝාතනය කොට තිබී හමුවිය. ‍සිංහල ජාතියට ම ප්‍රේමය, ආදරය, කරුණාව බෙදා දුන් ප්‍රේමකීර්ති අකාලයේ අපට අහිමි කළ ඒ අවස්ථාව අප කිසිවකුටවත් කිසිදාකවත් අමතක කළ නොහැකිය. 

ජූලි 31 වැනිදා රාත්‍රියේ ප්‍රේම් මෙලොව හැර ගිය ද පසුදා උදෑසන ඔහු ජාතික රූපවාහිනියෙන් ජාතියට රස බෙදා දීම සඳහා එහි ‘ආයුබෝවන් වැඩසටහනට එක්වීමට නියමිතව සිටි එකම නිවේදකයා විය. ඒ වැඩසටහන නිෂ්පාදනය කළ ප්‍රේමකීර්තිගේ මිතුරු පියදාස රත්නසිංහට ඔහුගේ අභාවය ගැන දැන ගන්නට ලැබුණේ 1 වැනිදා උදේ 6.45 පමණය. ඒ වෙලාවේ ‘ආයුබෝවන්’ මෙහෙයවන්නට කෙනකු සොයා ගන්නට තරම් වෙලාවක් නැත. ඔහු පුස්තකාලයට පසුගිය කාලයේ ප්‍රේමකීර්ති මෙහෙය වූ ‘ආයුබෝවන්’ වැඩසටහන් සියල්ල එකතු කොට මැදිරියට එවන්නැයි කියා ඔහු එහි ගියේය. 


එදා ප්‍රේමකීර්ති මෙලොව හැර ගිය බව මුළු රටම දැන ගත්තේ ඒ ප්‍රේමකීර්ති විසින් මෙහෙයවන්නට සිටි ඒ වැඩසටහනෙනි. පියදාස ඒ දුක්බර ආරංචිය දී එතැන් පටන් ප්‍රේමකීර්ති කළ වැඩසටහන්වලින් උපුටා ගත් කොටස්වලින් ඒ මුළු වැඩසටහන ම සැරසීය. කලින් දා රාත්‍රියේ ශෝචනීය ලෙස අප හැර ප්‍රේම් පසුවදා උදේ යළිත් උපන්නේ එසේ ය. 

ප්‍රේමකීර්ති ගැන අපේ මිතුරු තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ඔහුගේ ‘කීර්තිශේෂ’ නම් කෘතියට කළ සඳහනක් මෙහිදී මගේ මතකයට නැගෙයි. 

‘ප්‍රේමකීර්ති ද අල්විස් අතිශය සංවේදී පුද්ගලයෙක් විය. ඒ භීෂණ අවදියේ විටින් විට ඇසෙන වෙඩි හඬක් පාසා කම්පාවෙමින්, “කාගෙ හරි ජීවිතයක් නෙ බංචි?” කියමින් නිර්මලා සමග විස්සෝප විය. තමන්ගේම ක්ෂේත්‍රයේ නියැළි මහාචාර්ය සුනිල් ආරියරත්න, ඩී. බී. නිහාල්සිංහගේ ‘රේඛා’ ටෙලි නාට්‍යයට ලියූ ගී පදවැලක් ගැන පැහැදී වරක් ඔශුගේ නිවසට ආවේ කිසියම් සිහිවටන ඵලකයක් ද රැගෙන ය. ඒ පදවැල මෙසේ ය. 

‘වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද 
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත’ 

‘එවැනි සත්පුරුෂයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් 1989 ජූලි 31 වැනිදා රාත්‍රි ඇඳිරි නීතිය බලපැවැත්වෙන මොහොතක සිය නිවසින් පිටතට කැඳවාගෙන විත් තරුණයන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබීය. පසුවදා අලුයම වෙඩි පහර තුනක් සහිත ඔහුගේ දේහය නිවසට නුදුරු දෙවටක අසල තිබී හමුවිය. 

‘ආචාර්ය සරත් අමුණුගම විජය කුමාරතුංග ඝාතනය හැඳින්වූයේ ‘සමනළයකුට වෙඩි තැබීම’ යනුවෙනි. ප්‍රේමකීර්තිට වෙඩි තැබීම හැඳින්විය හැකි යෝග්‍යතම යෙදුමත් එයමය.’ (116-117 පිටු. ‘කීර්තිශේෂ - 2020 සරසවි) 


ප්‍රේමකීර්ති නිසි ලෙස හඳුනා ගන්න නම් ඔහු ගැන ඇති රස කතා විමසිය යුතුය. ඔහු ලියූ ගී රචනා කවි රස විඳිය යුතුය. 

ප්‍රේමකීර්ති අපූරු චරිතයකි. නිර්මාණකරණයේ දී ඔහු පළ කළ අසම්මතභාවය ගුවන් විදුලි නිවේදන කලාවට පමණක් නොව සිය එදිනෙදා ජීවිතයටත් එක් කළේය. එවකට ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතා කළ කතාවකට සංවේදී ප්‍රේමකීර්ති තවත් නොගැළපෙන ඇඳුමක් ඇඳ ගෙන සේවයට ආවේය. ඔහු ඇඳ සිටියේ කොට කලිසමකි. කමිස උඩින් දමා ගෙන සෙරෙප්පු කබල් දෙකක් දමා ගෙන ආවා මදිවාට නාටු බල්ලෙකුත් එල්ලා ගෙන සිටියේය. ආරක්ෂකයෝ ඔහුට හරස් වූහ. ඒත් ඔහු ඒ කිසිවකට මෙල්ල නොවීය. කාර්යාල පිවිසුම් පතේ සේවයට එන විට ඇඳගෙන ආ යුතු ඇඳුම කුමක් විය යුතු දැයි හඳහන්ව නැති බව ඔහුගේ තර්කය විය. අනෙක් අතට බල්ලකු කැටුව පැමිණිය නොහැකි බවක් ද එහි සඳහන්ව නැති බවත් ඔහු කීවේය. ඔහු බලහත්කාරයෙන් බල්ලාත් කැටුව කාර්යාලය ඇතුළට ගියේය. 

මේ බව සැල වූ විගස තිලකරත්න මහතා ප්‍රේමකීර්තිව තමන් හමුවට කැ‍‍ඳ‍ෙව්වේය. ඒ අනුව ප්‍රේමකීර්ති අධ්‍යක්ෂ ජනරාල් හමුවට ගියේය. 

‘මේ මොකද?’ තිලකරත්න මහතා ඇසී ය. 

‘සර්! ඇඳුම න‍ෙමෙයි, මනුස්සයයි වටින්නෙ. ඇඳුමෙන් මිනිස්සු මනින එක වැරදියි’ ප්‍රේමකීර්තිගේ පිළිතුර විය. 

‘මට මනුස්සයා වටින හින්දයි එන්න කිව්වේ. මං කැමති නෑ වටින මනුස්සයෙක් ඔහොම ඉන්නව දකින්න’ තිලකරත්න මහතා කීවේය. ඔහු මිනිස් ගුණ හඳුනන මිනිසකු වූ නිසා ප්‍රේමකීර්තිට නිදහසේ තම මාධ්‍යය දිගටම කරගෙන යාමට හැකි විය. 

‘ඔහුගේ ගුවන්විදුලි ජීවිතය අවුරුදු 25ක් පමණ වෙයි. ප්‍රේමකීර්ති ද අල්විස් සරස්වතී තෛලය බිව් කලක මෙන් මනා වාග් චාතූර්යයකින් හෙබියේය. ඔහුගේ වාග් කෝෂයත්, වාග් විලාසයත් පොදු ජන හද ඇදබැඳ ගන්නසුලු විය. ඔහුගේ කටහඬ නොබෝ කලකින්ම සමස්ත ශ්‍රී ලංකාවාසීන් දන්න හඳුනන කටහඬක් විය. ඔහු ඉදිරිපත් කළ සොඳුරු සෙවණ, සැරිසර පුවත් සඟරාව, දවසේ පුවත, ශනිදා සාදය අසන්නන් අමන්දානන්දයට පත් කළේය. එවා ජන හද දිනූ වැඩසටහන් බවට පත්විය. 

‘ගුවන්විදුලිය හැඳින්වෙන්නේ ‘අන්ධ මාධ්‍යය’ (Blind Media) නමිනි. ගුවන්විදුලියේ රූප නැත. බලන්නට දකින්නට දෙයක් නැත. එහෙත් වඩාත් ප්‍රබල ලෙස රූප මැවීමේ හැකියාවක් ගුවන්විදුලියට තිබේ. රූපවාහිකියෙන් හෝ සිනමාවෙන් මවා දෙන රූප එක් අතකින් අධිපතිවාදීත්වයකින්ද ඕලාරිකභාවයකින්ද යුක්තය. එම රූප පද්ධති නිර්මාණකරුවාගේ චින්තන සීමාවේ නතර වෙයි. එහෙත් ගුවන්විදුලි ශ්‍රාවකයා මවා ගන්නා රූප ඔස්සේ ඒ ඒ ශ්‍රාවකයාගේ පරිකල්පනයෙන් ඈතින් ඈතට යා හැකිය. එහි මායිම - සීමාව රඳා පවතින්නේ සන්නිවේදකයාගේ වාග් ශක්තිය අනුවයි. 

ලංකා ගුවන්විදුලිය ඔස්සේ පරිකල්පනයෙන් ශ්‍රාවකයා ඈතින් ඈතට ගෙන යා හැකි නිවේදන කලාව හඳුන්වා දෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. ඔහු ඉතා ප්‍රශස්ත ගුවන්විදුලි රූප රචකයෙක් විය. ඔහු කළේ අන්ධ මාධ්‍යයට රූප දැකීමට ‘ඇස් ලබා දීමේ’ නිවේදන කලාවකි. (99- 100 පිටු ‘කීර්තිශේෂ - 2020 සරසවි.)

ප්‍රේමකීර්ති ගුවන්විදුලියට ක‍ෙතරම් ආදරය කළත් ගුවන්විදුලිය ඔහුට එතරම් ආදරය කළේ නැත. ඔහුගේ ප්‍රතිභාවට ඊර්ෂ්‍යා කළ අය එහි බලධාරීන් ලවා ඔහුව 1969 සිට 1977 දක්වා 12 වතාවක් වැඩ තහනමට ලක් කළහ. විවිධ අවස්ථාවල දී ගුවන්විදුලියේ ප්‍රාදේශීය සේවාවලට මාරු කර යැවූහ. රජරට සේවයට ගිය ප්‍රේමකීර්ති එය එකල ජනප්‍රියම ගුවන්විදුලිය බවට පත් කළේය. 

ප්‍රේමකීර්ති නිවේදන කලාවට අමතරව ගීත රචනා කලාවට ද නව මුහුණුවරක් දුන්නේය. ඔහු ගීත රචනයට පිවිසයේ 1969 දීය. ඔහු මුල්ම ගීතය ‘හද පුද අසුනේ සෙනෙහස බැඳුණේ’ ලියුවේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති නන්දසිරි දෙදෙනාටය. එය සංගීතවත් කළේ සනත් නන්දසිරි ය. ඉදිරි අවුරුදු 20 තුළ ඔහු ලියූ ගීත රචනා සංඛ්‍යාව දෙදෙහසකට අධිකය. ඉන් වැඩි හරියක් සරල ගීතය. ඔහු මුල්ම චිත්‍රපට ගීතය වූ ප්‍රෙඩී සිල්වා ගයමින් රඟන ‘පරණ කෝට්’ ලියුවේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ ‘ලොකුම හිනාව’ චිත්‍රපටයටයි. ‘කැකුළු මලක පෙති මත’ නම් ඒ ගීය ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලකයි. සංගීතවත් කළේ ප්‍රෙමසිරි කේමදාසයි. ඔහු මිය යන විට චිත්‍රපට 160කට පමණ ගීත ලියා තිබුණි. 

ප්‍රේමකීර්ති වැඩිපුර ලීවේ ප්‍රේම ගීතය. ඒවා අතර, ‘තනි තරුවේ’, ‘මියුරු කල්පනා’, රනේ රුවට’, ‘මල්සර උක්දඬු දුන්න’, ‘නැවුම් සුවඳින්’, ‘ඔබෙ දෙතොල් පෙති ලිහී’, මට ලියා ගන්න බෑ’, මුතු වරුසාවට තෙමිලා’, ‘මිහිරිද මිහිරියේ’, ‘බිංදුමති’, ‘ආදර ගඟුලෙහි’, ‘කුණ්ඩුමනී, ‘ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ’, ‘ආදර මල් පවනේ’, ‘තරු අත්අකුරින් ලියා තබමි’,‘කඳුලැල් සලා’ ඉන් කීපයක්. ඔහු මවු ගුණ ගැන ලියූ ගීත අතර වික්ටර් රත්නායක ගයන ‘ආදරයේ උල්පත වූ අම්මා’ මෙතෙක් මා අසා ඇති හොඳම ගීතය වෙයි. බුදු ගුණ ගී අතර, ‘දෙව්රම් වෙහෙරේ’, ‘සමිඳු පාමුල’, ‘දොම්නසින් බර’, ‘අරුණලු පැතිරෙන’, නිවන් දුටු හිමි’, වඩාත් කැපී පෙනෙයි. ඔහු තම පුද්ගල අත්දැකීම් ද ජනප්‍රිය ගීත බවට පත් කරන්නට දක්ෂ වුණා. ඒවා ‘යශෝදරා වේවා’, ‘සුරංගීට දුක හිතුණා’, ‘පුතෙක් උපන්නා’, ‘මා එක්කලා අමනාපව’ වැනි ගී කිසිදාක ගීත රසිකයන්ට අමතක නොවේ. 

ඔහු ලියූ ළමා ගී අතර, ‘රූම් පෙත්ත කැරකෙනවා’, කියන්න සුළ‍ඟ‍ෙ ඔබ කොයි සිටදෝ එන්නේ’, ‘පුංචි පන්තිවල’, සමනලයා මල හා ළමයා’ වැනි ගීත වඩාත් ජනප්‍රියය. 

1969 දී වෙළෙඳ තැටියකට ප්‍රේමකීර්ති ලියූ ‘ආරොන් මාමා’ ගීතයෙන් ආරම්භ කළ, ජන හද දිනූ ප්‍රහසන ගීත කලාව තවමත් ඔහුගේ ගීවලින් ඔබ්බට ගෙන යාමට ඔහුගේ අභාවයෙන් වසර 32කකට පසුවත් ගීත රචකයකු බිහිවී නැත. තවමත් ඇසෙන්නේ ඔහු ලියූ, (බොරු කකුල්කාරයා) ‘අමුතු ඇඳුම් ඇඳ හඬවන රබානකි අතේ’, (ගිනිබෝලකාරයා) ‘ගිනිබෝල බෝල කැරකේය’, (පෙත්සම්කාරයා) අලුත් කලාවක් සොයා ගත්තා මං’, (කුණ්ඩුමනී) ‘මන්නාරම් පිටිවැල්ලේ’, (අන්දරේ) ‘දන්නාවු රට පැවතෙන්නාවු පෙර සිට’ ආදී ගීත ය. 

ප්‍රේමකීර්ති ලියූ ‘දොස්තර හොඳ හිත’ සැකිලි රූ ගීය මේ විඩියෝවන් නරඹන්න. 

ටයිටස් තොටවත්ත සූරීන්ගේ රූපවාහිනී සැකිලි රූ සඳහා ද ඔහු මේ උපහාසය යෙදූ ගීත ලියා දුන්නේ ය. ‘දොස්තර හොඳ හිත’ සැකිලි රූ සඳහා ඔහු ලියූ ගීත අතර, ‘බෑයි කියල බෑයි කියලා බෑ’, ‘අඩි ගානක වළක් කපලා’, ‘මුහුද මගේ ගොඩ බිමයි’ ආදිය වසර 32ක් ගෙවිලත් දරුවන් අතර එකසේ ජනප්‍රියය. 

ප්‍රේමකීර්ති කිසි විටෙක කිසිවකුට තබා කුරා කූඹියකුටවත් වරදක් කළේ නැත. කිසිවකුගේ සිත රිදෙව්වේ නැත. ගීතයෙන් පළ කළ ඔහුගේ අහිංසක උපහාසය ඊට ලක් වන්නන්ට පවා වින්දනයක් ගෙනාවේය. දේශපාලනයෙන් අන්ධ වූ ජාතිභ්‍රෂ්ටයන් පිරිසකගේ නියෝගය මත ඔහු සාහසික ලෙස ඝාතනය විය. ඔහුගේ අකල් වියෝවෙන් කම්පාවට පත් සහෘද ගීත රචකයකු වූ ධර්මසිරි ගමගේ ඒ ගැන එදා මෙසෙ සඳහන් කර තිබුණේය. “රුදුරු වෙඩි පහරින් අහසේ පෑයූ සඳ කැබලි වී ගිය එක් රැයක ප්‍රේමකීර්තිගේ හද ගැස්ම නතර විණි. එහෙත් අපට තවමත් ඔහුගේ හද ගැස්ම ඇසෙයි...නාඩි වැටෙන හඬ තවම අපට දැනෙයි...ඒ කවියකුගේ ගී පොත කිසිදාක මළගමක දී දැවිය නොහැකි බැවිනි.” 

ප්‍රේමකීර්ති ද අල්විස් ගැන මේ වීඩියෝ පටියෙන් බලන්න! 

ප්‍රේමකීර්තිගේ ගුවන්විදුලි සන්නිවේදන කලාවේ ගුරුවරයා, ගුවන්විදුලිය එතෙක් මෙතෙක් බිහි කළ නිර්මාණශීලී විශිෂ්ටයා ලෙස සැලකෙන කරුණාරත්න අබේසේකර ය. ඔහු අනුව යමින් නිවේදන කලාවට අසීමිතව ආදරය කළ ප්‍රේමකීර්ති සිය ඇසුරේ සිටි සහෘදයන්ට නොමසුරුව ඔහු දන්නා දෙය බෙ‍දා දුන්නේය. එහි ප්‍රතිලාභය ලැබූ එක් අයකු ලෙස ‘සිරස’ ගුවන්විදුලිය ආරම්භ කරමින් ගුවන්විදුලි සන්නිවේදනයේ නව මාවතක් විවර කළ නිමල් ලක්ෂපති ආරච්චිය. 

ප්‍රේම් මට හිතවත් වූයේ මා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දීය. කරුණාරත්න අබේසේකර සූරීන් ගුවන්විදුලියේ ‘සරස්වතී මණ්ඩපය’ මෙහෙයවද්දී, කුඩා කාලයේ යැවූ මගේ නිර්මාණ දෙකක් ප්‍රේමකිර්ති කියෙව්වා මට මතක වුත් ඔහු ඊට කලින් මා මුණ ගැසී තිබුණේ නැත. ඔහු පාසල් යන කාලයේ සිට ම ලියූ කවි මීමන ප්‍රේමතිලක කර්තෘවරයාව සිටි අවදියේ සිට ම සිළුමිණේ පළ විය. වරක් ඔහු සිය දියණිය සුරංගීගේ උපන්දිනය දා පළ කරන්නට කවි පන්තියක් එව්වේ ය. ඔහුගේ පුද්ගලික අත්දැකීමක් වුනත් පොදු අත්දැකීමක් කර පාඨකයන්ට රස විඳින්නට සැලැස්වීමට ඔහු සමත් වීම මගේ මවිතයට හේතුවුණා. 

වසර 42ක් වැනි කෙටි ජීවිතකාලයක් තුළ දී ඔහු ජාතියට දුන් නිර්මාණ ප්‍රමාණය වසර සීයක් ජීවත්වූ නිර්මාණකරුවකු පවා නොකරන තරම් විශාලය. ඔහුගේ ගීත හැම එකක්ම අන්තර්ජාලයෙන් රස විඳින්නට ඔබට අවස්ථාව තිබේ. වික්ටර් රත්නායක, එච්. ආර්. ජෝතිපාල, සනත් නන්දසිරි, ප්‍රෙඩී සිල්වා, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලව ආරච්චි, අබේවර්ධන බාලසූරිය, ‍නීලා වික්‍රමසිංහ, මොහිදීන් බෙග් ඇතුළු අපේ ගායක පරපුරේ සියලු ගායකයන්ට ඔහු ලියූ ගී අසන තාක් කල් ප්‍රේමකීර්ති අපට කිසිදාක අමතක නොවේ.

-          -- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments