HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 28,000කට පෙර විසූ සිංහ පැටික්කියක් හෙළි කරන අතීත රහස්!

වසර 28,000ක් පැරණි සිංහ පැටික්කියක් සයිබීරියාවෙන් හමුවෙයි. සෙල්සියස් අංශක බින්දුවට පහළ උෂ්ණත්වයක් ඇති සයිබීරියාවේ නිත්‍ය හිම තුහින බිමෙන් (permafrost) හමු වූ මාස දෙකක් වියැති මේ ලෙන් සිංහ පැටික්කියගේ සිරුර ඉතා සුරක්ෂිතව හිම බිමෙහි සිර වී තිබිය දී හමු වී ඇත්තේ මැමත් දළ සොයා ගිය මිනිසුන් පිරිසකටයි. සෙම්යුල්යාකා (Semyuelyakh) ගංගා නිම්නයේදියි. ඇගේ සිරුර රන්වන් ලොම්වලින් වැහිලයි තිබුණේ. ඒ විතරක් නොවෙයි, ඇගේ දත් පවා තිබුණා. සමත් මෘදු පටකත් පමණක් නොව රැවුල් ගස් පවා සුරැකිව තිබුණා. මේ තරම් අංග සම්පූර්ණ, එතරම් පැරණි මළ සිරුරක් මෙතෙක් හමු වී නැති බවයි, විද්‍යාඥයන් කියන්නේ. විද්‍යාඥයන් මේ පැටික්කියට ‘ස්පාටා’ (Sparta) කියා නම් කර තියෙනවා. 

සයිබීරියාවෙන් හමු වූ වසර 28,000ක් පැරණි සිංහ පැටික්කිය, ස්පාටා.

මේ සිංහ පැටික්කිගේ මළ සිරුරට මඳක් ඈතින් අඩි 49ක් වගේ දුරකින් ඒ වගේ ම සිරුරක් හමුවී තියෙනවා. ඒ සිංහ පැටියකුගේ සිරුරක්. මාස දෙකක් වයසැති මේ පැටියාගේ සිරුරත් ඉතා හොඳ තත්වයේ තිබීම ගැන විද්‍යාඥයන් මවිතයට පත් වුණා. මුුලින් ඔවුන් සිතුවේ මේ දෙදෙනා එකම සිංහ ධේනුවකගේ පැටව් විය හැකියි කියලයි. ඒත් කාබන් කාල නිර්ණය අනුව මේ සිංහ පැටියා, සිංහ පැටික්කියට වඩා වසර 15.000ක් විතර පැරණි එකෙක් කියලා හෙළි වුණා. මේ සිංහ පැටියා නම් කර ඇත්තේ ‘බොරිස්’ (Boris) කියායි. බොරිස් ඉපදී ඇත්තේ කාබන් කාල නිර්ණයට අනුව හරියට ම මීට අවුරුදු 43,448කට ඉස්සරයි. ඌ මියයන විට මාසයක් හෝ දෙකක් අතර වයසේ පසු වෙන්නට ඇති. 

මේ සතුන් ස්කෑන් කර රුසියන් හා ජපන් පර්යේෂකයන් කියන්නේ ඔවුන් සතුරු විලෝපිකයකුගේ පහරදීමක් කිසා මරණයට පත් වූ බවට කිසිම සලකුණත් ඒ සිරුරුවල නැති බවයි. ඒ වුනත් ස්කෑන් කළ අවස්ථාවේ දී හෙළිවුණා, හිස් කබල පිපිරී ඇති බව. ඒ වගේ ම ඉළ ඇට ගැලවී ගොස් ඇති අතර වෙනත් අස්ථිවලට හානි සිදු වී ඇති බව ඔවුන්ගේ වාර්තාවෙන් හෙළිදරවු වුණා. 

ස්පාටාගේ සිරුරේ විකිරණ ක්‍රමයට ගත් පිළිබිඹු දෙකක්. (a) සම (b) හිස් කබලේ කොඳු ඇට පෙළ.

එක් පර්යේෂකයකු වූ ලව් ඩේලන් (Love Dalen) සීඑන්එන් ප්‍රවෘත්ති සේවයට කියා ඇත්තේ ඔවුන් මේ තරම් දිගු කලක් හොඳින් සුරැකිව තිබෙන්නට ඇත්තේ මියගිය සැණින් සංරක්ෂණය වූ නිසා විය හැකියි කියායි. ‘ඒ නිසා සමහර විට ඔවුන් මිය යන්නට ඇත්තේ මඩ පහරකට ගසා ගෙන යද්දී හිම කුට්ටියක පැල්මකට වැටීමෙන් විය හැකියි. ඍතු විපර්යාසවලදී හිමහරණය හා හිම මිදීමේ දී හිම කුට්ටිවල විශාල පැලීම් සිදුවෙනවා. මේ පැටවුන් දෙදෙනාත් ඒ වගේ අනතුරකට මුහුණ පාන්නට ඇති.’ ඔහු තවදුරටත් විස්තර කරනවා. 

මේ සිරුරු දෙක හමුවී ඇත්තේ 2017 හා 2019දි රුසියාවේ නැගෙනහිර සයිබීරියාවෙහිදියි. මේ ලෙන් සිංහයන් ඈත අතීතයේ දී යුරෝපය පුරා පැතිර සිටියත් දැන් මුළුමනින් ම වඳ වී ගිහින්. වසර 10,000 කට පෙර යුරෝපයත් ඇලස්කාවත් යා කළ ගොඩබිම් පාලම වසා දමනතුරු ඔවුන් ඇලස්කාවටත් ගියා. 

මේ ලෙන් සිංහයකු හොඳින් වැඩුණු විට අඩි 3 අඟල් 9ක් උස් වූ අතර වලිගය හැර සිරුරෙහි දිග අඩි 6 අඟල් 9ක් විතර වෙනවා. දැන් මේ ලෙන් සිංහයන් වඳ වී ගොස් බොහෝ කලක් වෙනවා. අපි ඒ සතුන් ගැන දැන ගත්තේ පොසිල කොටස්වලින් හා ලෙන් චිත්‍රවලින් විතරයි. 

මෙවැනි ලෙන් සිංහ පැටවුන්ගේ සිරුරු නිත්‍ය හිම තුහින බිමේදී හමුවී තියෙනවා.

සයිබීරියාවේ දී හමු වූ සිංහ පෝතකයන් දෙදෙනා කෙතරම් හොඳින් සංරක්ෂණය වී තිබුණේ ද යත් ඔවුන්ගේ සමේ වර්ණය පවා අධ්‍යයනය කරන්න පර්යේෂකයන්ට හැකියාව ලැබුණා. ‘එයින් ස්පාටාට තිබුණේ බොරිස්ට වඩා මඳ අළු පැහැති සමක්. ඇගේ සමේ සාමාන්‍ය වර්ණ තානය අළු පැහැයත් ළා දුඹුුරු පැහැයක් ගත්තා. බොරිස්ගේ ලොම් ඊට වඩා අඩු පැහැයක් ගත්තා. එය අළු හා කහ අතර පැහැයක්.’ යනුවෙන් ඔවුන්ගේ ව‍ාර්තාවේ සඳහන් වෙනවා. 

‘මේ අනුව පැහැදිලි වෙන්‍නේ, ලෙන් සිංහයන්ගේ ළා පැහැය ඇති වෙන්නට ඇත්තේ උතුරුකරයේ සදා හිමෙන් වැසුණු ප්‍රදේශවලට ගැළපෙන ආකාරයට වෙනස් වීම නිසා බවයි.’ එහි තවදුරටත් දැක්වෙනවා. 

‘මේ පැටවුන් දෙන්නා‍ගෙන් බාල පැටියා, ස්පාටා තමයි අයිස් යුගයට (Ice Age) අයත් සතුන්ගෙන් මෙතෙක් හමු වී ඇති වඩාත් හොඳින් සංරක්ෂණ වී ඇති සතා’ යයි ඩේලාන් කියනවා. ‘ඒ පැටියාගේ සමට කිසිම විධියක හානියක් සිදු වෙලා නැහැ. හැබැයි ‍බොරිස්ට මීට වඩා හානිවෙලා තියෙනවා. ඒත් ඒක අයත්වන කාලය සසඳා බලනකොට ‍ඒ සිරුරත් ආරක්ෂාවෙලා ඇති විධිය විස්මිතයි.’ 

මේ පර්යේෂණ කණ්ඩායම කියන විධියට මෙම පැටවුන් දෙදෙනාම නාය යාමකට හසුව ගහගෙන ගොස් මිදුණු හිම බිමේ පැල්මකට වැටී හිරටෙන්නට ඇති. ඒ සතුන් අයත් වන්නේ මැමතුන්, තුන්ද්‍රා වෘකයන්, වලසුන්, ලෝම සහිත රයිනෝසිරසුන්, බයිසනුන් හා ලෙන් සිංහයන් ජීවත්වූ කාලයටයි. මීට කලින් මේ ප්‍රදේශයෙන් හමුවුණා, වඳ වී ගිය සතුන්ගේ පොසිල රැසක් හමුවුණා. ඒ අතර ලෝම රයිනෝසිරස්, ලෙන් වලසකු වගේ ම ඉතා හොඳින් සුරැකුණු සුනඛ දතක්ද තිබුණා. 

පර්යේෂකයන් මීට කලින් ලෙන් සිංහයන් දැක තිබුණේ ලෙන් චිත්‍රවලින්. මේ ඉන් කීපයක්.

අතීතයේ දී ඒ සතුන් රුසියාවේ ස්ටේප්ස් තණ බිම්වල සැරිසරමින් ජීවත් වුණා. ඒවා මුලින් ම සොයා ගත්තේ මැමත් දළ සොයා ඒ බිම්වල සැරිසරූ පිරිස් විසිනුයි. ඒ මිනිසුන් ලෙන් වසා ඇති අයිස් තට්ටු පුපුරවා හැරියා, දළ සොයා ගැනීමට. දළ සොයා ගිය පිරිස් මේ ගවේෂණවල දී නවීන තාක්ෂණික ක්‍රම භාවිත කළා. ඒ නිසා විද්‍යාඥයන් ඔවුන් හා මිතුරු වී පොසිල ගවේෂණ කටයුතුවලට ඔවුන්ගේ සහය ලබා ගන්නට තීරණය කළා. එසේ දළ සොයා ගිය ගමනකදී තමයි, ඔවුන් සමග ගිය වැලරිට මුලින්ම මේ ලෙන් සිංහ පැටවුන් හමුවුණේ 

වැලරි ප්ලොට්නිකෝෆ් (Valery Plotnikov) මේ පර්යේෂණ වාර්තාවේ සම සංස්කාරකවරයායි. ඔහු ස්වාභාවික ඓතිහාසික කෞතුකාගාරයත් සමග එක්ව 2017 දී දළ රැස් කරන්නන් සමග ගවේෂණයට ගියා. ඒ දළ රැස් කරන්නන් හා එක්ව මාසයක් ම සදා හිම තුහින බිමේ ගත කළා. ඒ කාලය තුළ ඔහුගේ බර කිලෝ ග්රෑම් 22ක් අඩු වුණා. දළ රැස් කරන්නන් වැනි නීති විරෝධී කටයුත්තක් කරන අය මේ වගේ ප්‍රධාන විද්‍යාත්මක සොයා ගැනීමකට හවුල් කර ගැනීම ඇත්තෙන්ම විස්මිත දෙයක්. මේ ගමනේ දී ලෙන් සිංහ පැටවුන් සමග වෘක හිසකුත්, මැමත් අස්ථිත් හමුවුණා. 

පර්යේෂකයන් සීටී ස්කෑන් හා ‍ජාන පරීක්ෂණ යොදා ගෙන, ස්පාටා, ගැහැනු සතකු බවත් බොරිස් පිරිමි පැටියකු බවත් හෙළිදරවු කර ගත්තා. අතීතයේ විසූ වඳ වී ගිය ලෙන් සිංහයන් පිළිබඳ රහස් හෙළි කරගන්න මේවා මගින් බලාපොරොත්තු වෙනවා. ඊළඟ පියවරට ඔවුන් පර්යේෂණ කරන්න බලාපොරොත්තු වන්නේ ස්පාටාගේ ඩීඑන්ඒ අනුක්‍රමය සොයා ගන්නයි. ඊට පස්සෙ මේ ලෙන් සිංහයන් පරිණාමික ඉතිහාසය හෙළිදරවු කර ගන්නයි. 

- පර්සි ජයමාන්න 

 

Post a Comment

0 Comments