අද ජාතික පුරාවිද්‍යා දිනයයි. මුල්ම පුරා විද්‍යා දින ලෙස සැලකෙන්නේ 1890 ජූලි 07 වැනිදායි. මේ අද පවත් වන්නේ 131 වැනි පුරා දිනයයි. එහි ප්‍රධාන අනුස්මරණ උත්සවය අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් ද දියත් කරනු ලැබුවා. අදින් ආරම්භ වෙන සතිය පුරාවිද්‍යා සතිය ලෙස සැලකේ. ඒ නිමිත්තෙන් විවිධ වැඩ සටහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සතිය පුරා ම සංවිධානය කර තියෙනවා. යටත්විජිත සමයේ ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්.සී.පී බෙල් මහතා විසින් අනුරාධපුරයේ ප්‍රථම කැණීම් කළ අවස්ථාව සිහිපත් කිරීමටයි, මේ දිනය නම් කරනු ලැබුවේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ ආරම්භ කළේ 1890 දීයි. ඒත් ඊට වසර ගණනාවකට පෙර සිටම පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කෙරුණා. ඒ එවකට යටත් විජිත ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි හර්කියුලිස් රොබින්සන්ගේ කාලයේදියි. ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ අරඹා වසර හතකට පසු 1868 දී ලංකාවේ දී පුරාණ ගෘහනිර්මාණ කටයුතු පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම සඳහා කමිටුවක් පත් කෙරුණා. 1871 දී අනුරාධපුරයේ හා පොළොන්නරුවේ පැරණි වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි වල ඡායාරූප ගනු ලැබුවා. ඉන්පසු මෙහි පැමිණි විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා නටබුන් වූ ඒ ගොඩනැගිලි ගැන ස්ථානීය සමීක්ෂණයක් කරන්නට නියෝග කළා. 1894 දී ‘අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ’ නමින් පළමුවරට කෘතියක් නිකුත් කෙරුණා.
ඉන්පසු 1875-1879 අතර කාලය තුළ පුරාණ ශිලා ලිපි හා මුල් ලේඛනවල මූලික සොයා බැලීමක් කෙරුණා. එය සිදු කෙරුණේ සිංහල ශිලා ලේඛන විද්‍යාවේ ආරම්භකයා ලෙස සැලකෙන මහාචාර්ය පී. ගොල්ඩ්ස්මිත් විසිනුයි. ඉන්පසු ඊ. මුලර් මහතාත්, එල්. ඩබ්ලිව්. ද සොයිසා මහ මුදලිතුමාත් ඒ කටයුත්ත නොකඩවා කර ගෙන යන්නට දායක වුණා.
1884-1886 කාලය තුළ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ස්මාරක හා වෙනත් පුරාවස්තුවලට අදාළ සමීක්ෂණවල වගකීම එස්. එම්. බරෝස් මහතාට පැවරුණා. ඒ අනුව වනාන්තර හා පැරණි මංමාවත් එළිපෙහෙළි කෙරුණා. තව තවත් කැණීම් කරන්නට සැලසුම් කෙරුණා. කැණීම්වලින් ලද තොරතුරු අනුව තව තවත් කැණීම් සිදු වුණා. එහි දී හමුවුණු එකල කෞතුක භාණ්ඩ කියා හැඳින්වුණු පුරාවස්තු සුරක්ෂිත කිරීමට ප්‍රාදේශීය කෞතුකාගාරයක් ද ආරම්භ කෙරුණා.
1890 ජූලි මාසයේ 7 වැනිදා එවකට සිටි ආණ්ඩුකාරයා වූ සර් ආතර් ගෝඩ්න් විසින් උතුරු මැද පළාතේ පුරාවිද්‍යාත්මක මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලෙස ලංකා සිවිල් සේවයේ එච්.සී.පී. බෙල් මහතාට බාර කරනු ලැබුවා. එතුමාට ඒ පැවරුමෙන් පසු තමයි අපේ උරුමය ආරක්ෂා කිරීම සඳහා අඩිතලාම වැටුණේ. එදින පුරාවිද්‍යා දිනය ලෙස අද සමරන්නේ ඒ නිසයි.
ඉංග්‍රීසි ආණ්ඩුව ඉන්දියාවේ පුරාවිද්‍යා කටයුතු ගැන අත්දැකීම් ලද එච්.සී.පී. බෙල් මහතා මාලදිවයිනේ හා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස්වරයා ලෙස පත් කිරීමෙන් පසු මෙරට පුරාවිද්‍යා කටයුතු විදුහුුරු ලෙස ආරම්භ වුණා. කැලයෙන් වැසී තිබුණු සීගිරිය අප මේ අද දකින විදියට යළි මතු කර ගත්තේ එච්.සී.පී. බෙල් මහතා සිය ජීවිතය පරදුවට තබා එහි සංරක්ෂණ කටයුතු කිරීම නිසයි. එහිදී බෙල් මහත්මිය ද සැමියා සමග එක්ව ඊට සහය දුන්නා. ලණුවල හා පන්දලම් මතින් නගිමින් ඇය ද ඒ කටයුතු අධීක්ෂණ කරන්නට ගියා. එය බෙල් මහතාට ලොකු දිරියක් වුණා.
1897 දී සීගිරියේ සහ පොලොන්නරුවේ බිතුසිතුවම් සොයා ගැනීම මෙරට පුරාවිද්‍යා ගවේෂණවල විශාල ඉදිරි පිම්මක් ලෙස සලකන්න පුලුවන්. නිදහසින් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ලාංකික කොමසාරිස්වරයා වූ සෙනරත් පරණවිතාන මහතායි.
0 Comments