ස්ලාස්ටික් පහසුවෙන් දිරවන ක්‍රමයක් ගවයන්ගේ ආමාශයෙන් සොයා ගෙන!

ස්වාභාවිකව පරිසරයට මුදා හැරීමෙන් සමහර ප්ලාස්ටික් වර්ග දිරා පත් වීමට වසර 500ත් 1000ත් අතර කාලයක් ගන්නවා. ඒ බව ගිනිගත් නැවෙන් අපේ හිත මත කඩා වැටුණු ප්ලාස්ටික් විපත ගැන කතා කරද්දී ඔබට කීවා මතක ඇති. හිතාමතා ප්ලාස්ටික් පරිසරයට එක් නොකරන්නැයි පරිසරවේදීන් කෑගසන්නේත් ඒ නිසයි. මෑතදී ‘ලන්ච් ෂීට්’ වැනි දේ පාවිච්චිය තහනම් කරන්නත් පරිසරයට අසීමිතව ආදරේ කරන අපේ පාලකයන් කටයුතු කළා. ඒකට නම් විකල්පයක් වශයෙන් කෙසෙල් කොළය යොදා ගන්න පුලුවන්. ඒත් අප අතර ප්ලාස්ටික් භාවිතයට ගන්නා දේවල් සඳහා එකවරම ආදේශක සොයා ගන්න එක් ලේසි නැහැ. ඒ නිසා රජය පනවන නීති ක්‍රියාත්මක කරන්න අපහසු වෙනවා. 

එළදෙනුන් ඇතුළත් ‍ගවයන් අයත් වන්නේ රෝමන්ථක ගෝත්‍රයටයි.

ඉදිරියේ දී නම් මේකට විසඳුමක් විද්‍යාඥයන්ගේ ලැබෙන හැඩයි! ඕස්ට්‍රියාවේ (Austria) විද්‍යාඥයන් පිරිසක් ගවයන්ගේ ආමාශයේ ඉන්නා බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවී(microbes) විශේෂයක් යොදා ගෙන ඉක්මනින් හා පහසුවෙන් ප්ලාස්ටික් දිරා යාමට සැලස්විය හැකියැයි අලුත්ම අත්හදා බැලීමකින් හෙළිදරවු කර ගෙන තියෙනවා. ඔවුන්ගේ අධ්‍යයනයෙන් කියන්නේ වමාරා කන සතුන්ගේ ආහාර තැන්පත් කර ගන්නා ප්‍රථම කොටස වන රෝමන්ථය හෙවත් රූමනය (rumen) ආශ්‍රිතව ඉන්නා ක්ෂුද්‍රජීවී ප්‍රජාවක් යොදා ගෙන බහුලව භාවිත කරන ප්ලාස්ටික් වර්ග තුනක් යොදා ගෙන අත්හදා බැලීමක් විස්මයජනක ලෙස සාර්ථක වූ බවයි. 

මේ පර්යේෂණය කරන ලද්දේ ඕස්ට්‍රියාවේ ස්වාභාවික සම්පත් හා ජීවිත විද්‍යා පිළිබඳ විශ්ව විද්‍යාලයේ (University of Natural Resources and Life Sciences) විද්‍යාර්ථීන් පිරිසක් විසිනුයි. ගවයන්ට ආහාර ව‍ගේම ඒ ක්ෂුද්‍රජීවීනුත් අත්‍යවශ්‍යයි. ඔවුන් තමයි ස්වාභාවික ශාකවල ඇති පොලිමර් හෙවත් බහුඅවයවයකයන් ජීර්ණය කර ගැනීමට ඒ සතුන්ට උදවු වන්නේ. ඒ ක්ෂුද්‍රජීවී ප්‍රජාවට විවිධ ක්ෂුද්‍රජීවී විශේෂ ගණනාවක් එක්ව ඇති නිසා කලින් අත්හදා බලා ඇති පරිදි තනි ක්ෂුද්‍රජීවී විශේෂයකට වඩා ඉක්මනින් ජීර්ණාවලිය සිදු කෙරෙනවා. 

එළදෙනුන් ඇතුළත් ‍ගවයන් අයත් වන්නේ රෝමන්ථක ගෝත්‍රයටයි. ඔවුන්ගේ ආමාශය කොටස් හතරක් තියෙනවා. ඒ විලෝපික සතුරන්‍ග‍ෙන් බේරීමට ඉඩ ලද විටෙක හැකි තරම් ආහාර ප්‍රමාණයක් ගිලදමා පසු ආරක්ෂ ස්ථානයකට ගොස් ඒවා වමාරා කෑම සොබාදහම ඔවුන්ට දායාද කර ඇති ආරක්ෂක උපක්‍රමයක් හැටියටයි. ඒ නිසා මූලික ආහාරයේ ඇති ස්වාභාවික ශාකවල ඇගි බහුඅවයවයකයන් දිරවා ගන්නට විවිධ ක්ෂුද්‍රජීවීන් උදවුවෙනවා. ඔවුන් ඉන්නේ ප්‍රථම ආමාශය වූ රෝමන්ථයේ ඇති නාලික පටකවලින් සැදි ජාලකය තුළයි. 

ඔවුන්ගේ ආමාශය කොටස් හතරක් තියෙනවා. කුඩා අන්ත්‍රය (small intestine) තුන්වැනි ආමාශය,  බහුනැමිය (omasum), අන්නස්‍රෝතය (esophagus), රූමනය (rumen), ජඨරාශය (abomasum), දෙවැනි ආමාශය(reticulum)  

“දැවැන්ත ක්ෂුද්‍රජීවී ප්‍රජාවක් රූමනයේ ඇති ජාලකය තුළ ඉන්නවා. ඔවුන් තමයි ඒ සතුන්ගේ ආහාර ජීර්ණය ඉටුකර දෙන වගකීම දන්නේ.” ම‍ෙසේ කියන්නේ මේ අධ්‍යයන වාර්තාවේ කර්තෘ ආචාර්ය ඩොරිස් රිබිටිෂ් නම් ජෛවතාක්ෂණ විශේෂඥවරියයි. ඇය ඕස්ට්‍රියාවේ වියානාහී පිහිටි ස්වාභාවික සම්පත් හා ජීවිත විද්‍යා පිළිබඳ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥවරියක්. ඇගේ කණ්ඩායම තමයි මේ පර්යේෂණය සිදු කළේ. 

තවදුරටත් කතා තරමින් ඇය ඒ ගැන මෙහෙම කිව්වා. “ඉතින් අපි කල්පනා කළා පොලියෙස්ටර් ජලවිවච්ඡේදනය ඇති කරන මේ ජෛවක්‍රියාවලිය, ප්ලාස්ටික් ජීර්ණය කරන්න යොදා ගෙන්න පුලුවන් දැයි අත්හදා බලන්න.” 

ඔවුන්ගේ අධ්‍යයනයට අනුව ඒ පර්යේෂණය සඳහා එකිනෙකට වෙනස් ප්ලාස්ටික් වර්ගය තුනක් යොදා ගෙන තියෙනවා. එක් වර්ගයක් පොලිඑතලීන් ටෙරිප්තලේට් (polyethylene terephthalate) PET කියන කෙටි නමින් හැඳින්වෙන ඒ ප්ලාස්ටික් වර්ගය බහුලව යොදා ගන්නේ රෙදිපිළි හා පැකේජින් භාණ්ඩ නිෂ්පාදනය සඳහායි. අනිත් වර්ග දෙකෙන් එකක් නම් PBAT කෙටි නමින් හැඳින්වෙන පොලිබියුටලීන් ඇඩිපේට් ටෙරිප්තලේට් (polybutylene adipate terephthalate) ප්ලාස්ටික් වර්ගයයි. ප්ලාස්ටික් බෑග් තැනීමට ගන්නා එය බැක්ටීරියා ක්‍රීයාවලියකින් ජීර්ණය කළ හැකි එකක්. තුන් වැන්න PEF යන කෙටි නමින් හැඳින්වෙන ජීව ද්‍රව්‍යවලින් තැනෙන නැවත පාවිච්චියට ගත හැකි පොලිඑතලීන් ‍ෆරර්නෝට් (polyethylene furanoate) ප්ලාස්ටික් විශේෂයක්. 

ඕස්ට්‍රියාවේ ගව ඝාතනාගාරවලින්, ගවයන්ගේ ආමාශවලින් මේ පර්යේෂණයට යොදා ගත් රූමන ස්‍රාවයන් ඔවුන් ලබා ගත්තා. ඒවා භාවිත කොට යටකී ප්ලාස්ටික් වර්ග කුඩු හා පටල හැටියට ජීර්ණ ක්‍රියාවලියකට යොමු කරන්න ඔවුන් කල්පනා කළා. ඔවුන්ගේ විමසීමට ලක්වූයේ ඒවා කෙතරම් ඉක්මනට ඒ රුමන ස්‍රාවයන්වල ඉන්නා ක්ෂුද්‍රජීවීන් ජීර්ණය කරාවිද යන්නයි. අන්තිමේදී ඔවුන්ගේ උත්සාහ විස්මයජනක ලෙස සාර්ථක වුණා. කුඩු කළ ප්ලාස්ටික්, පටල ප්ලාස්ටික්වලට වඩා ඉක්මනින් දිරවනු ලැබුවා. තනි ක්ෂුද්‍රජීවීන් යොදා කලින් කළ ජීර්ණ ක්‍රියාවලියට වඩා ඉතා වේගවත් ව මෙය සිදු වුණා. 

“දිනපතා මේ ඝාතනාගාරවල මහා පරිමාණයෙන් එක් රැස්වන රූමන ස්‍රාවයන් නිසා මෙය පුළුල් ලෙස ක්‍රියාවට නංවන්න පුලුවන්.” කියා ආචාර්ය ඩොරිස් රිබිටිෂ් කියනවා. 

ඇගේ මේ අධ්‍යයන වාර්තාව Frontiers in Bioengineering and Biotechnology ජර්නලයේ සම්පූර්ණයෙන්ම පළ වී තියෙනවා 

 - පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments