ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය ගැන කතාබහ ලොව පුරා සිදු වෙනවා. මෑතදී ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කොන්ටේනර් (බහාලුම්) රාශියක් සමග නෞකාවක් කොළඹ වරායට නුදුරින් අපේ මුහුදු වෙරළාසන්නයේ දී ගිනි ගෙන විනාශයට පත්වීම නිසා මේ කතාබහ වැඩි වුණා. ‘එක්ස්ප්‍රස් පර්ල්’(අධිවේගී මුතු ඇටය) ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ට කළ හානිය මිල කළ නොහැකියි.
ප්ලාස්ටික් දූෂණය අපේ පෘථිවිය මතු පිට හැම තැනකම පැතිර පවතින ලෝක ගැලුවක්. ඊට අමතරව දැන් පොලිමර් වැනි කෘත්‍රිම අපද්‍රව්‍ය ඒ අතරට එක්වලා තියෙනවා. ඒවාට පොදුවේ අප ප්ලාස්ටික් කියා කියනවා. මේ පොලිමර් දූෂණය නිසා බොහෝ විට හානි සිදු වන්නේ සාගර පත්ලටයි. සාගර පත්ලට සිදුවන හානිය අපට පිටතට පේන්නේ නැති නිසා සමාජයේ වැඩි දෙනකුගේ අවධානයට ලක්වෙන්නේ නැහැ. අපට වන හානිය තේරුම් ගන්න නම් දැනට ලෝකයේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ සොයා ගෙන ඇති දත්ත විමසා බලන්න ඕනෑ.
සාගරයේ ගැඹුරුම කලාපය බටහිර පැසිපික් සාගරයේ ඇති මරියානා අගාධය ආශ්‍රිත ප්‍රදේශයයි. මරියානා දූපත්වල නැගෙනහිරින් පිහිටි මේ ප්‍රදේශයේ සාගර ගැඹුර මීටර 11,000ක් ඉක්මවනවා. එහි පිරික්සද්දී මීටර 10,898කදී ප්ලාස්ටික් මල්ලක් හමුවෙලා තියෙනවා. ඒ තමා මිනිසා විසින් ඇති කළ දූෂණයක් මුහුදේ හමු වූ ගැඹුරු ම තැන.
දැන් කෙමෙන් කෙමෙන් ප්ලාස්ටික් දූෂණය මුහුදු පත්ල පුරා පැතිර යන්න පටන් අරන්. ඒවා දැන් සාගරයේ මැද ගැඹුරුම තැන් කරා තල්ලු වෙනවා. මුහුදු වෙරළේ සිට කි.මී. 1000ක් තරම් ඈත සාගර පත්ලවල ප්ලාස්ටික් හමුවී තියෙනවා.
ජපානයේ සාගර - පෘථිවි විද්‍යා හා තාක්ෂණායතනය (Jamstec) විසින් ගොඩැක් (Godac) හෙවත් සාගර විද්‍යා දත්ත මධ්‍යස්ථානය එක් රැස් කළ තොරතුරු 2017 මාර්තු මාසයේ දී පොදු ප්‍රයෝජනය පිණිස ජනගත කළා. ඔවුන් සාගර පත්ලේ පරීක්ෂණ සඳහා කළ විවිධ කිමිදීම් 5,010කින් 3,425ක් ම යොදා ගෙන ඇත්තේ මිනිසා විසින් ඉවතලන ලද අපද්‍රව්‍ය ගණනය කිරීමටයි. ඒ අනුව හෙළි කළ තොරතුරු පහත පළ වෙනවා. එයින් මෙහි බරපතල තත්වය ඔබට සිතා ගත හැකි වේවි.
ඔවුන්ට අනුව සාගර පත්ලේ එකතු වන සුන්බුන්වලින් සියයට 33ක් මයික්‍රො ප්ලාස්ටික් වර්ගයි. අනෙක්වා අතර ලෝහ සියයට 26ක්ද, රබර් සියයට 1.8ක් ද, මසුන් අල්ලන ආම්පන්න සියයට 1.7ක්ද වීදුරු සියයට 1.4ක්ද, රෙදි, කඩදාසි හා දැව කොටස් සියයට 1.3ක්ද, වෙනත් මිනිසා විසින් ඉවත ලන ද්‍රව්‍ය සියයට 35ක් ද වෙනවා.
ඒ හැරෙන්නට මේ ප්ලාටික්වලින් සියයට 89ක් වරක් පාවිච්චි කළ ඉවත ලූ ඒවායි. ඒවා අතර ප්ලාස්ටික් මලු, බෝතල් හා වෙනත් ඇසුරුම් වෙනවා. මේ අධ්‍යයනය ගැඹුරෙන් කරන හැමවිටම තව තවත් හමුවන්නේ වැඩිපුරම ප්ලාස්ටික් තමයි. ඔවුන්ගේ වාර්තාව කියනවා. සාගරයේ මීටර 6,000ක් ගැඹුරට යන විට මයික්‍රො ප්ලාස්ටික් අනුපාතය වැඩි වෙනවා. එය සියයට 52ක් තරම් වෙනවා. වරක් පාවිච්චි කර ඉවත ලූ ප්ලාස්ටික් වර්ග සියයට92කක් විතර වෙනවා.
දැන් අපි අපට වූ විනාශය දෙස බලමු. ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැව 2021 මැයි 15 වැනිදා ඉන්දියාවේ හසීරා වරායෙන් පිටත්ව මැයි 19 වැනි දා කොළඹ වරායට නාවික සැ. 9.5ක් ආසන්නට විත් නැංගුරම් ලෑවේ කොළඹ වරායට ඇතුළු වීමේ අපේක්ෂාවෙන්. හදිසියේ ම ගින්න හටගත්තේ 20 වැනිදායි. ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාත් වරායේ ගිනි නිවන ඒකකයත් එක්ව ගින්න නිවන්න ගත් උත්සාහයන් එකක්වත් සාර්ථක වුණේ නෑ. නැව දින 13ක් ම ගිනි ගත්තා. නැවේ ගෙන ආ විෂ ද්‍රව්‍ය අතර නයිට්රික් ඇසිඩ් ටොන් 25ක්, කෝස්ටික් සෝඩා, මෙතනෝල්, සෝඩියම් මොනොක්සයිඩ් ද්‍රාවණය, විනිල් ඇසිටේට්, රුප ලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 81ක් තිබුණා. එහි තිබූ මුළු බහාලුම් ගණන 1486ක්. එයින් කොටසක් ගිනි ගෙන විනාශ වුනත් අනිත්වා බොහොමයක් මුහුදට වැටුණා. තවත් කොටසක් වෙරළට ගොඩ ගැසුවා. වෙරළට ගොඩ ගසා ඇත්තේ නැවේ ගෙන ගිය මුලු විෂ සහිත ද්‍රව්‍යවලින් සියයට 40ක් විතරයි.
ගිනි ගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ තිබී අපේ මුහුදු වෙරළට ගසාගෙන ආ ප්ලාස්ටික් පබළු තොගය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ පුරා විසිර තිබුණේ මුහුදු වෙරළේ වැල්ල පවා නොපෙනෙන තරම් ලොකුවටයි. බලධාරීන් විසින් කොන්ටේනර් 80ක් පුරවමින් මේ ප්ලාස්ටික් පබළු එක්රැස්කර තිබුණා. ඔවුන් කීවේ මේ ඒ නැවේ තිබූ ප්ලාස්ටික්වලින් අඩක් පමණක් කියායි. ඉතිරිවා සාගරය තුළ ගසා යන්නට හෝ සාගර පත්ලට බසින්නට ඇතැයි ඔවුන් සිතනවා. විද්‍යාඥයන් කියන්නේ සාගර පත්ලට බසින අපද්‍රව්‍ය එක තැන රැඳෙන්නේ නැති බවයි. ඔවුන් කියන්නේ ඒවා මුහුදු පත්ලේ පහත් තැන්වල සිට වැඩි ගැඹුරු තැන්වලට තල්ලු වී යනවා කියලයි. එසේම එවායින් මුහුදේ යට ඇති මයික්‍රෝ ජීවීන්ට විශාල ලෙස හානි සිදුවන බවයි.
මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිරා පත් වන්න වසර 500ත් 1000ත් අතර කාලයක් ගත වෙනවා. මේවා නැව මුහුදුබත් වූ මුහුදු ප්‍රදේශයේ රැඳෙන්නේ නැහැ. සමහර විට ශ්‍රී ලංකාව වටේටම යාවි. එපමණක් නොව මුහුදු බත් වූ තැන සිට කිලෝ මීටර සිය ගණනක් ඈතට යාවි.
“මසුන් ප්ලාස්ටික් ගිලිනවා. ආහාර පද්ධතියේ මේවා තියෙන්න පුලුවන්. ඒවා පෙනෙන නිසා කෑමෙන් වන හානිය ඉවත් කිරීමෙන් තරමක් හෝ වළක්වා ගන්න පුලුවන්. අනෙක් අතට හාල්මැස්සන්, සාලයා වැනි පොඩි මාළු සම්පූර්ණයෙන් ම කෑවාට ලොකු මාළු එහෙම කන්නේ නැහැ. ඒ නිසා ඒවා ඉවත් කරන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි එවැනි මාළු කෑවා කියා හානිවෙනවා යයි ස්ථිරව කියන්න බැහැ.” මෙහෙම කියන්නේ ඕස්ට්‍රේලියානු සාගර ජීවීන් පිළිබඳ විශේෂඥවරියක් වූ බ්‍රිටා ඩෙනිස් හාඩෙස්ටි බීබීසියට කියා තියෙනවා.
“ප්ලාස්ටික් පබළු හැඳින්වෙන්නේ නර්ඩ්ල්ස් (nurdles) කියලයි. ඒවා ගෙනෙන්නේ ප්ලාස්ටික් භාණ්ඩ හා විවිධ නිෂ්පාදනවලටයි. මේ ඒවායින් නෙවෙයි, හානි වෙන්නේ, ඒ නැවේ ප්ලාස්ටික්වලට වඩා ගෙනාව, විවිධ විෂ රසායනික වර්ග 46ක් නිසයි.” කියා කියන්නේ ශ්‍රී ලංකාවේ පරිසරවේදියකු වන හේමන්ත විතානගේයි. ඔහුට අනුව මේ රසායනික මුහුදට එක්වීම නිසා වසර දශක ගණනාවක් තිස්සේ රසායනික විෂවීම්වලට මසුන් විතරක් අපටත් ලක්වෙන්න සිදුවේවි. “නැවේ තිබුණු රසායන අතර උග්‍ර විෂ සහිත මූල ද්‍රව්‍ය ලෙස නයිට්රික් ඇසිඩ්, සෝඩියම් ඩයොක්සයිඩ්, කොපර් (තඹ), ලෙඩ් (ඊයම්) ආදිය දක්වන්න පුලුවන්” ඔහු කියනවා.
“මුහුදු ජලයත් සමග මේ විෂ ද්‍රව්‍ය මේ කලාපයේ මසුන්ගේ උදර තුළට ගියොත් හෝ මේවා නිසා ක්ෂණිකව මැරෙන කුඩා මසුන් ගිල දැමුවොත් හෝ මේ විෂ හෙමින් සීරුවේ ඒ ලොකු මසුන්ගේ සිරුරු අවශෝෂණය කර ගන්නා විට ඒ විෂ අපට කැවෙන එක වළක්වන්න බැහැ. අපි දුටුවා මසුන්, කැස්බෑවන්, ඩොල්පිනුන් ආදීන්ගේ මළ සිරුරු දැනටමත් වෙරළට ගසා ගෙන ඇවිත් තියෙනවා. ඒවා සමහරක් කොළ පැහැ ගැන්වී තිබුණා. ඒ රසායනික හා ලෝහ විෂ වීමේ ලක්ෂණයි. සමහර විට වසර ගණනාවකට පස්සෙත් අපට මේ විෂ සහිත කෙළවල්ලන්, බලයන් හමුවන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා සිකුරුයි” ඔහු තවදුරටත් කියනවා.
“අප ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය හා ප්ලාස්ටික් ආදිය භූමි සීමාවන් සලකන්නේ නැහැ. ඒවා සුළඟින්, දිය රැලි, ජල කරංග ආදිය ඔස්සේ බොහෝ ඈත සාගරවලට පවා ගෙන යා හැකියි.” ඕස්ට්‍රේලියාවේ බ්‍රිටා ඩෙනිස් කියනවා. “මීට කලින් මෙසේ නැව් අපේ මුහුදේ ගිළුණත් මේ තරම් භයානක විෂ ද්‍රව්‍ය රැගත් නැවක් ගිලී නැහැ. මෙයින් අපේ ජනතාවට, අපේ පරිසරයට, පමණක් නොව සමස්ත සාගරයට ම වන හානිය මෙතෙකැයි ගණනය කළ නොහැකියි. මෙවැනි ව්‍යසනයකට හා ඉන් උද්ගත වූ තත්වයට මුහුණ දීමට තරම් හැකියාවක් අප වැනි කුඩා රටකට ඇත්තේ නැහැ. ඒ නිසා ලෝකයේ ඉන්නා විශේෂඥයන්ගේ සහය හා මේ පිළිබඳ අත්දැකීම් ඇති බලවත් රටවලින් උදව් අවශ්‍ය වෙනවා. මෙයින් ඇති වන උවදුර පහ කර ගන්න අපට වසර ගණනාවක් ගත වේවි.” අපේ පරිසරවේදීන් එක හඬින් කියනවා.
1 Comments
එහෙන් මෙහෙන් කියවා, අසා, බලා දැන ගත් දේ එක පෙලක් කර ගත්තා ඔබේ ලිපියෙන්. බොහොමත්ම ස්තූතියි!
ReplyDelete