HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උඩුගුවන ජයගන්න ලෝක බිලියනපතියන් අතර ‍ලොකු තරඟයක්!

වර්තමාන ලෝකයේ ඉන්නා බිලියනපතියන් තුන්දෙනෙක් දැන් උඩුගුවනට යන්න ‍ලොකු තරඟයකට පැටලිලා. කවුද දිනන්නේ? ඉදිරියෙන් ම ඉන්නේ 70 හැවිරිදි සර් රිචඩ් බ්‍රැන්සන්. (Sir Richard Branson) ඊළඟට තරඟයට එක්වෙලා ඉන්නේ ජෙෆ් බෙසෝස් (Jeff Bezos) ලෝකයේ මේ මො‍හොතේ ඉන්නා අංක එකේ ධනවතා. ඔහු තමා ඇමසන් (Amazon) අයිතිකරු. ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පතේ හිමිකරුත් ඔහුයි. තුන් වැන්නා ඊලෝන් මස්ක් (Elon Musk) මේ තුන් දෙනාම කියන්නේ, 1969 ජූලි මාසයේ ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් දේශය පරදවා සඳට පා තබමින් ලද ජයග්‍රහණය නිසා තමන් තුළ අභව්‍යකාශය ගැන විශාල උනන්දුවක් ඇති වූ බවයි. 

ඇමසන් ආරම්භකයා වූ බෙසෝස් මේ තුන් දෙනා අතරින් මුලින් ම උඩු ගුවනට යන බව හෙළිදරවු කළා. ඒ 2021 ජූලි 20 වැනි දා, ඇමරිකාව හඳ මතට පා තැබූ දා සමරමින්, ඔහුගේ අභ්‍යවකාශ සමාගම වූ බ්ලූ ඔරිජින් ආයතනය නිපදවූ නිව් ෂෙපර්ඩ් අභ්‍යවකාශ යානය මගින්. මේ බිලියනපතියා උඩු ගුවනට යන්නට බලාපොරොත්තු වන්නේ ඔහුගේ මල්ලී මාක් සමගයි. ඔවුන් සමග 82 හැවිරිදි වොලී ෆන්ක් (Wally Funk) නම් කාන්තා අභ්‍යවකාශ ගාමිනියත් යනවා. ඇය යන්නේ බෙසෝස්ගේ විශේෂ ආරාධිතාවක් ලෙසයි. 

ජෙ‍ෆ් බෙසෝස් ඔහුගේ බ්ලූ ඔරිජින් කැප්සියුලය සමග

කොහොම වුනත් දැන් සර් රිචඩ් බ්‍රැන්සන් කියනවා, ඔහු බෙසෝස්ට කලින් උඩුගුවනට යනවා කියලා. ඔහු ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ, බොසෝස්ට දින නවයකට කලින්, අත්හදා බැලීමක් සඳහා ජූලි 11 වැනිදා උඩු ගුවනට යන ඔහුගේ වර්ජින් ගැලැක්ටික් අභ්‍යවකාශ යානයෙන් එහි ප්‍රථම අභ්‍යවකාශගාමියා ලෙස යන බවයි. 

මේ අතර ස්පේස් එක්ස් (SpaceX) හා ටෙස්ලා (Tesla) ආයතනවල ආරම්භකයා වූ ඊලෝන් මස්ක් කියන්නේ ඔහුත් මුලින් ම උඩු ගුවනට යන්න බලාපොරොත්තුවෙන් සිටින බවයි. අභ්‍යවකාශයට යන්නට විතරක් නොව අඟහරු ග්‍රහයා වෙත යාමටත් කවදා හෝ මියයන්නට බලාපොරොත්තු වන්නේත් අඟහරු මත බවයි. ඔහු අභ්‍යවකාශයට යන දවස මෙතෙක් හෙළිදරවු කර නැහැ. 

එහෙත් ස්පේස් එක්ස් දැනටමත් අභ්‍යවකාශ ගමන් අතින් ඉදිරියෙන් ඉන්නවා. ඔහුගේ සමාගම දැනටමත් අයිඑස්එස් (ISS) අභ්‍යවකාශ නැවතුම් පොළට අවශ්‍ය ඇමරිකාවේ නාසා ආයතනයේ උපකරණ ප්‍රවාහනය සඳහා ගමන් වාර ගණනාවක් අභ්‍යවකාශයට ගොස් තියෙනවා. 2021 දී සංචාරකයන් පිරිසක් ප්‍රථම වරට අභ්‍යවකාශයට ගෙන යන්නට නාසා සමග එක්ව කටයුතු කරමින් ඉන්නවා. 

ඊලෝන් මසක් ඔහුගේ ඩ්‍රැගන් කෲ කැප්සියුලය සමග

2018 පෙබරවාරි 6 වන දා ස්පේස් එක්ස් රොකටයක් අඟහරු වෙත සැතැපුම් මිලියන 140ක් දුර ගෙවා අඟහරු කක්ෂයක් වෙත යැව්වේ මස්ක්ගේ ටෙස්ලා රථයත් සමගයි. ඒ වගේම ස්පේස් එක්ස් චන්ද්‍රිකා 60ක් වරින් වර උඩු ගුවනට කණ්ඩායම් වශයෙන් යවනවා. ඒ ඔවුන්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ජාලය ශක්තිමත් කිරීමටයි. මස්ක්ගේ අභිලාෂය පෘථිවිය වටා එකිනෙක යා කළ චන්ද්‍රිකා ජාලයක් සකසා පෘථිවිය මත වෙසෙන සෑම මනුෂ්‍යයකුට ම නොමිලයේ ම අන්තර් ජාල පහසුකම් සපයන්නයි. 

නාසා දැනටමත් ස්පේස් එක්ස් ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ මුල් සංචාරය සඳහා අභ්‍යවකාශගාමීන් දෙදෙනකු තෝරාගෙන තියෙනවා. 

බ්‍රැන්සන් හා වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යවකාශයට යාමට බලාපොරොත්තු වන්නේ මීට වඩා වෙනස් ක්‍රමයකටයි. ඔහුගේ වර්ජින් ගැලැක්ටික් යුනිටි අභ්‍යවකාශ යානය දැනටමත් අත්හදා බැලීම් ගණනාවක්ම සාර්ථක ලෙස අවසන් කර තියෙනවා. 2018 දෙසැම්බර් මාසයේ තමයි, මේ යානය එහි මුල් ම ගමන ගියේ. මැයි 22 වන දා තමයි, අවසන් වරට මෑත දී ගියේ. ඒ ගමනේ දී ඔහුගේ යානය පැයට හැතැප්ම 2,000ක (මැක් 2.7ක) උපරිමයක් වාර්තා කළා. 

සර් රිචඩ් බ්‍රැන්සන් වර්ජින් ගැලක්ටික් යානයේ අනුරුවක් සමග

ඔහුගේ අනාගත අභ්‍යවකාශ චාරිකාවලට එක්වීමට ආසන වෙන්කරවා ගැනීමට ලෝක ධනවතුන් 600ක් පමණ දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර බ්‍රැඩ් පිට් හා කැතී යුවළ ද සිටිනවා. ඔවුන් දැනටමත් ඩොලර් 250,000ක් බැගින් ගෙවා අසුන් වෙන් කර ගෙන තියෙනවා. 

බ්‍රැන්සන් කලින් කීවේ ඊලෝන් මස්ක් ඔහුගේ පුද්ගලික ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානයකින් අඟහරු ගමන ජය ගනීවි කියලයි. 

බ්‍රැන්සන්ගේ ස්පේස්ෂප් ටූ (SpaceShipTwo) යානය වරකට ගුවන් නියමුවන් දෙදෙනාට අමතර මගීන් හයක් උඩු ගුවනට ගෙන යනවා. ඒ හැම මගියකුටම පිටත නරඹන්න විශාල කවුළු දෙකක් තියෙනවා, එකක් පැත්තෙන් හා එකක් ඉහළින් ආදී වශයෙන්. මේ අභ්‍යවකාශ යානය අඩි 60ක් දිගයි. අඟල් 90ක කවාකාර කුටියක් සෑම මගියකුටම ලැබෙනවා, ශූන්‍ය ගුරුත්වයේ දී පාවෙන විට, එ් අත්දැකීමත් හොඳ හැ‍ටි විඳගත හැකි වන ආකාරයට. 

එය සාමාන්‍ය ගුවන් යානයක් මෙන් අඩි 50,000ක් ඉහළට නැග්ගාට පසුව තමයි, රොකට් ඇංජින් දැල්වෙන්නේ. ස්පේස්ෂප් ටූ යානය එය උඩු ගුවනට ගෙන යන වයිට් නයිට් II (White Knight II) යානයෙන් සැතැපුම් 50 සීමාවේ දී වෙන් වෙනවා. 

එහි යන මගීන් ‘අභ්‍යවකාශගාමීන්’ වන්නේ සැතැපුම් 62කකට ( කි.මී. 100ක්) ඉහළින් වූ කාමන් රේඛාව (Karman line) පසු කළාමයි. එයින් පසු මිනිත්තු හයක් පමණ ශූන්‍ය ගුරුත්වයේදී බර නැති තත්වය අත්විඳින්නට මගීන්ට පුලුවන්. කක්ෂයේ අඩක් පමණ ගිය පසුව තමයි, ගමන සම්පූර්ණ වන්නේ. ඉන්පසු ආපසු පෘථිවිය බලා එනවා. මේ මුළු ගමනට පැය එකහමාරක් පමණ ගත වෙනවා. 

ඒ අතර බෙසෝස් හෙළිදරව් කළා, 2017 දී ඔහු බ්ලූ ඔරිජින් සඳහා වසරක් පාසා ඇමසන් සමාගමෙන් ලැබෙන ආදායමෙන් ‍ඩොලර් බිලියනයක් ආයෝජනය කරන බව. ඒ අනුව ඔවුන් අඟහරු වෙත යාමට අවශ්‍ය පීඩනයට ඔරොත්තු දෙන ලෙස සැකසූ කැප්සියුල නිපදවන්නත්, නැවත පාවිච්චි කළ හැකි ‘නිව් ෂෙපර්ඩ්’ බූස්ටර් රොකටයක් නිපදවන්නත් බ්ලූ ඔරිජින් සමාගමට බාර වුණා. මේ වන විට නිව් ෂෙපර්ඩ් යානය 15 වතාවක් සාර්ථකව ගුවන් ගත කර තිබෙනවා. ඒ ගමන්වල දී විශේෂ කැප්සියුලය සැතැපුම් 65ක් (කි.මී. 104ක්) උඩු ගුවනට ගොස් මිනිත්තු හතකට පසු සාර්ථකව ආපසු පොළොවට ආවා නිරුපද්‍රිතව. ඇවිත් දියත් කළ ආකාරයට ම බිමට බැස්සුවා. 

බ්‍රැන්සන් තමා අභ්‍යවකාශයට යන දින ප්‍රසිද්ධ කළාට අනිත් දෙදෙනා තවමත් කිසිවක් ඒ ගැන කීවේ නෑ. එයින් ‍බෙසෝස් 20 වැනි යන්නට සැලැසුම් කළේ හඳ ගමන සමරන්නයි. ඒත් ඔහුට අවශ්‍ය නම් ඕනෑම වෙලාවක අභ්‍යවකාශයට යා හැකියි. ඊලෝන් මස්ක්ටත් ඒ සඳහා ඕනෑම වෙලාවක ඉදිරිපත් විය හැකියි. ඒ නිසා අපට තීරණයක් ඒවි දැයි බලා ඉන්න වෙනවා. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments