කොවිඩ් 19 වසංගත තත්වය නිසා අවසන් මොහොතේ හෝ අවලංගු වෙතැයි දෙගිඩියාවෙන් පැවති 2020 ඔලිම්පික් උළෙල අවලංගු කෙරුණේ නැහැ. බිලියන ගණනක් වැය කරන මෙවැනි උළෙලක් අවලංගු කිරීම ජපාන ආර්ථිකයට විශාල පසුබෑමක් ඇති වෙනවා. ඒ නිසා සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔලිම්පික් උළෙල ආරම්භ කෙරුණා. බොහෝ ජනතාව එක් රැස්වීම වළක්වන්නට අවශ්‍ය නිසා මේ ඔලිම්පික් ක්‍රීඩාව නරඹන්නන්ට එම ගම්මානයට පැමිණීම තහනම් කෙරුණා. ඒ නිසා මෙවර ඔලිම්පික් උළෙල ලොව වැඩිම පිරිසක් නැරඹූ ක්‍රීඩා උළෙල බවට පත් වෙනවා. අනික් අතට අද නවීන සම්ප්‍රේෂණ පහසුකම් ලොව පුරා ම ව්‍යාප්තවීමත් මෙයට හේතු වුණා.
කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් ගන්නා විශේෂ පියවරක් වශයෙන් මිනිසුන් වෙනුවට හැකි තරම් රොබොට්ටන් යොදා ගැනීමට ජපානය තීරණය කළා. ඒක පටන් ගත්තේ තෝකියෝ අගනුවර ආසන්නවම පිහිටි හැනේඩා අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් හනේඩා ගුවන් තොටුපොළට ට එන ඔලිම්පික්වල තරගකරුවන් හා නිලධාරීන් පිළිගැනීමටත්, ඔවුන්ට මග පෙන්වීමටත්, සියලු භාෂා පර්වර්තන සහය ලබා දීමටත්, පැරාඔලිම්පික්වලට එන අයව ප්‍රවාහනයටත් ඇතුළු හැම කරුණක් සඳහාම ඒ සඳහා වෙන වෙන ම සැකසූ රොබොට්ටන් යෙදුවා.
ඒ විශේෂ රොබොට්ටන් තමා ගුවන්තොටුපොළ පවිත්‍ර කිරීම විතරක් නෙවෙයි, කොවිඩ් 19වලින් ආරක්ෂා වීමට අවශ්‍ය වන සේ විෂබීජහරණය කළේ. ඒ සඳහා වැඩිපුර සේවකයන් ගෙන්වීමක් අවශ්‍ය වුණේ නෑ. අත්‍යවශ්‍ය ටික දෙනකු පමණයි ගෙන්වූයේ. ඒ ගුවන් තොටුපොළේ සේවාවන් සඳහා යොදා ගෙන ඇති රොබෝ ඒකක මෙසේ දක්වන්න පුලුවන්. පුද්ගල සහය ජංගම රොබෝ එකක 12ක්, දුරස්ථව ක්‍රියාකරමින් මාර්ගෝපදේශන සපයන රොබොට් ඒකකයක්, විෂබීජහරණය රොබෝ ඒකකයක්, රොබෝ වර්ග පහකින් යුත් පවිත්‍රකරණ එකක 13ක්.
ඊට අමතරව ඔලිම්පික් ගම්මානයේ සේවයටත් මේ වගේ රොබෝ තාක්ෂණය යොදා ගෙන තියෙනවා. මෙවැනි රොබෝ තාක්ෂණයක් මුලින්ම යොදා ගත්තේ 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලටයි. ක්‍රීඩකයන්ට ඔවුන්ව පිළිගැනීමේ තැන් පටන් නොයෙක් සහය ලබා දෙන්න රොබෝලා යෙදවලා තියෙනවා. තමන්ට කායිකව පෙනී සිටින්නට නොහැකි තැන්වල සිදුවන ක්‍රීඩාවලට අදාළ වැදගත් සිදුවීම් වෙනත් තැන්වල ඉන්නා, පුහුණු වන හෝ වෙනත් කාර්යයක යෙදී සිටින අයට දන්වන්නත් රෝබෝලා යොදා ගෙන තියෙනවා.
ගුවන් තොටුපොළේ මග පෙන්වන රොබෝ කෙනෙක්.
ඔලිම්පික් ගිනිසිළුවක් කිසිදා නොවූ ආකාරයේ එකක්!
ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් යොදා ගත්තේ 1964 ඔලිම්පික් උඝෙල සඳහා යොදා ගත් ප්‍රධාන ක්‍රීඩාංගනය වුවත් එය මේ 2020 ඔලිම්පික් සඳහා නව සැලසුමක් අනුව අලුතින් ම වාගේ නැවත ඉදි කරනු ලැබුවා. ජපන් ජාතික වාස්තු විද්‍යාඥ කෙන්ගෝ කුමා ජපානයට ආවේණික විධියට එය නිර්මාණය කළා. ජපානයේ දිස්ත්‍රක්ක 47කින් ගෙන දැවවලින් තමයි එහි බාහිර සැකිල්ල නිර්මාණය කළේ.
ග්‍රීසියේ ඔලිම්පියා කන්දේ සිට අතින් අත ගෙන ආ ඔලිම්පික් ගිනිසිළුව ඔවුන් හැඳින්වූවේ ‘බලාපොරොත්තුවේ ආලෝකය අප වෙත ගෙන එන්නක්’ ලෙසයි. සමගිය, සාමය, සමාදානය, සහයෝගය සංකේතවත් කරන්නක් ලෙසයි, සැලකුවේ. ඒ නිසා ඔලිම්පික් ගිනිසිළුවෙහි පවා වෙනසක් කරන්නට ජපාන කලාකරුවන් පසුබට වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ සකුරා මලෙහි හා චෙරි පොකුරක හැඩයයි.
සකුරා මල මෙන් ම චෙරි මල් පොකුත් ඔවුනට ආවේණික වූ සාමය හා ආදරය සලකුණු කරන්නක්. ඒ ගිනිසිළුව නිර්මාණය කරන්නත් පාවිච්චි කළේ ඔවුන්ගේ ශන්කෙන්සෙන් (shinkansen) හෙවත් ඔවුන්ගේ බුලට් දුම්රිය සැරසීමට යොදා ගත් තාක්ෂණයයි.
- පර්සි ජයමාන්න
0 Comments