ඔලිම්පික් ගැන සිහි කරන හැමවිට ම මගේ සිහියට එන්නේ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ (Tokyo Olympiad) කියන 1964 දී ජපානයේ පැවති මුල් ම ඔලිම්පික් උළෙල පිළිබඳව තැනූ වාර්තා චිත්‍රපටයයි. ඔලිම්පික් උළෙල පිළිබඳව සෑම උළෙලක් වෙනුවෙන් ම වාර්තා චිත්‍රපට තනා තිබෙනවා. ඒ සියල්ල අබිබවා ජපන් චිත්‍රපට අධ්‍යක්ෂ කොන් ඉචිකාවාගේ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ මගේ මතකයට එන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ ආර්. ජේ. කේ. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්ද කෙරෙහි අවධානය යොමු කිරීම නිසයි. ඉචිකාවා අපේ ‘කරු’ තෝරා ගත්තේ ඔලිම්පික් උළෙලේ තේමා පාඨය වූ ‘not to win but to participate’ ‘දිනන්නට නොව සභාගිත්වය උතුම්’ යන්න ඉස්මතු කරන්නටයි.
අපේ කරුණානන්ද එවර සහභාගි වූයේ ඔලිම්පික් උළෙලේ මීටර 5000 හා මීටර 10,000 තරඟ සඳහායි. ඔහු මීටර 10,000 තරඟයට සහභාගිවුවද ඔහුට තරගය දිනන්නවත් මුල් තරගතරුවන් අතරට එක් වෙන්නටවත් හැකි වුනේ නැහැ. ඒ තරගය අවසන් වී පදක්කම් ප්‍රදානයෙනුත් පසුවත් ඔහු තරගය අත් නො හැර අවසාන තරගකරුවා ලෙස තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගනය තුළ දිගට ම දුවමින් සිටියා. ප්‍රේක්ෂකයන් ඒ දුටු විගස අන් සියල්ල අත හැර ‘කරු’ දෙස බලා නැඟී සිටිමින් අත්පොළසන් දෙන්න පටන් ගත්තා.
ඉචිකාවාගේ කැමරාකරුවකු අත් පොළසන් ප්‍රේක්ෂකයනුත් අවසාන ක්‍රීඩකයා ලෙස තවමත් දුවන රණතුංග කරුණානන්දවත් කැමරාවට නඟන්න පටන් ගත්තා. අධ්‍යක්ෂ ඉචිකාවා කැමරාකරුවන්ට කියා තිබුණේ, ‘මට ඕනෑ, ක්‍රීඩකයන්ගේ හැම ඉරියව්වක්ම, සමීප රූපවලිනුත් ගන්න. ඔවුන්ගේ මනුෂ්‍යත්වය ඉස්මතු වන විදියට. දහදිය, ලේ, කඳුළු මේ හැම එකක්මත්, ඒ වගේම ඔවුන් සම මත අඳින හැඟීම් ආදියත් කැමරාවට නගන්න’ ඔහු ඒ චිත්‍රපටයේ ආරම්භයේ දීම ඔහුගේ කණ්ඩායමට කියා තිබුණා. ප්‍රේක්ෂකයන් හැමෝම උන් අසුන්වලින් නැගිට අත්පොළසන් දෙන්න පටන් ගත්තා.
ඔහු දිනුම් කණුව පහු කරන විට එදා මැරතන් තරගය දිනූ අබිබි බිකිලාටවත්, 10,000 තරගය දිනූ ඇමරිකාවේ බොබ් විල්ස්ටවත් නුදුන් අත්පොළසන් නාදයක් ඔවුන් ‘කරූ’ට ලබා දුන්නා. අවසානයේ පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවක දී විල්ස් කීවේ ඒ රන් පදක්කම ඔහුට නොව කරූට සුදුසු බවයි.
කරූ දුවන දර්ශන පෙළ අධ්‍යක්ෂ ඉචිකාවා අනිත් හැමටම ඉහළින් නිර්මාණශීලීව යොදා ගැනීම ගැන ලොව පුරා සිනමා විශාරදයන් මහත් සේ ප්‍රශංසා කළා. ලොව ඉහළම සම්මානයෙන් ඒ චිත්‍රපටය පිදුම් ලැබුවා. මේ චිත්‍රපටය තැනීමට ඉචිකාවා තමා සමග දිගු කලක් එකට වැඩ කළ චිසුකෝ ඔසාදාත් ඔහුගේ ප්‍රධාන කැමරාශිල්පියා වූ මසුඕ යමගුචිත් එකතු කර ගත්තා. එපමණක් නොව ඔහු යොදා ගත්තා තාක්ෂණික ශිල්පීන් සිය ගණනක්, කැමරා කරුවන් හා කැමරා 100ක්. ඒ වගේ ම භාවිත කළා විවිධ කාච වර්ග 250කටත් වැඩි ගණනක්. ටෙලිෆොටෝ කාච සහ ඒවා රඳවන උපකරණ විදේශවලින් ගෙන්වා ගන්නටත් ඔහුට සිදු වුණා.
අධ්‍යක්ෂ ඉචිකාවාගේ පුත් තත්සුමි කියන්නේ ‘තාත්තා එහි හැම ක්‍රීඩාවක් සඳහා ම වෙන වෙන ම තිර කතාංග ලියා ගෙන කල් ඇතිව සැලසුම් කළා’ කියායි. මේ අපූරු නිර්මාණය කිරීම සඳහා ඔහුගේ පියා ඔහු සතු සිනමා දැනුම උපරිමයෙන්ම යොදා ගත් බවයි.
1959 දි ජපන් අග්‍රාමාත්‍ය නොබුසුකේ කිෂිට හැකි වුණා, 1964 ඔලිම්පික් උළෙලේ සත්කාර රට ලෙස ජපානය තෝරා ගැනීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව කැමති කරවා ගන්නට. ජපානය යුද්ධයට විරුද්ධ සාමකාමී රටක් බව ලෝකයා ඉදිරියේ පෙන්වන්න ඔවුන් නිපදවූ චිත්‍රපටවලින් හැකියාව ලැබුණා. ඒ නිසා අගමැතිවරයාගේ ඉල්ලීම සඵල වුණා.
1950 දී ඔවුන් සිනමාවෙන් ලත් දියුණුව ලොව පුරා පිළිගැනීමට ලක් වුණා. 1951 දී අකිරා කුරෝසාවාගේ ‘රෂොමන්’ චිත්‍රපටය වැනීසියේ ගෝල්ඩන් ලයන් සම්මානය දිනා ගනිමින් මුල් වරට ලෝකයේ අවධානය දිනා ගත්තා. 1954 දී ඉෂිරෝ හොන්ඩාගේ ‘ගොඩ්සිලා’ ඊළඟට ලෝකයේ අවධානය දිනා ගත්තා. කොන් ඉචිකාවාත් ඒ අධ්‍යක්ෂවරුන් ගොන්නෙන් එක් කෙනක් තමයි. ඔහුගේ යුද විරෝධී චිත්‍රපට, මානුෂික ගුණාංග ඉස්මතු කළ චිත්‍රපට ලෝක විචාරකයන්ගේ පැසසුමට ලක් වූ නිසා තෝකියෝ ඔලිම්පික් උළෙල අලලා චිතුපටයක් කරන්න ඔහුට පැවරුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි, ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ චිත්‍රපටය බිහිවුණේ.
ක්‍රීඩාව තුළින් මිනිස් ගුණාංග ඉස්මතු කර විචිත්‍රත්වය විදහා පාමින් අධ්‍යක්ෂ කොන් ඉචිකාවා ඔලිම්පික් උළෙලේ විවිධ අවස්ථා උපයෝගී කර ගනිමින් මිනිත්තු 168ක සිනමා කාව්‍යයක් නිර්මාණය කර තිබෙන බවයි, එදා ලෝක ප්‍රකට චිත්‍රපට විචාරකයන් හැමදෙනාම පාහේ කීවේ. ක්‍රීඩකයන්ගේ හද ගැස්මට සවන් දීමට ඔබට මේ චිත්‍රපටය තුළින් අවස්ථාව සැලසෙනවා.
කරු ගැන තවත් දෙයක් මෙහිදී කියන්න ඕනෑ. ජපානයේ පෙළ පොත්වල ‘කරූ’ ගැන ජපානයේ දරුවන්ට කියා දෙනවා. එදා තරගය නිමා කළ පසු වාර්තාකරුවකු කරූගෙන් ජයක් නොලැබෙන බව පෙනෙද්දීත් දිව්වේ මන්දැයි ඇසූ විට කරූ ඒකට දුන්නේ මෙහෙම උත්තරයක්. ‘මං ආවේ දිනන්නම නෙවෙයි. ඔලිම්පික් පාඨයේ කියන විදියට ‘දිනන්න නොවෙයි සහභාගිවීමයි වැදගත්’ යන්න අනුව මං තරගය අතර මග අත ඇරියේ නෑ දිගටම සහභාගි වුණා’ ඔහු එදා කී කතාවත් ඇතුළත් කර ඔහු ගැන පරිච්ඡේදයක් ජපානයේ පාසල් පෙළ පොතකට පවා ඇතුළත් කරලා තියෙනවා. ලෝකයේ ආදර්ශමත් චරිතයක් ලෙස ඔහුව ජපන් ජාතියට වැදගත් සංකේතයක් ලෙස භාවිත කළත් අපේ රටේ අධ්‍යාපන බලධාරීන් නම් එහෙම කෙනෙක් උන්නේදැයි දන්නවාදැයි මට සැකයක් ඇති වෙනවා.
කරුණානන්ද ගැන තැනූ පහත සඳහන් යූ ටියුබ් වීඩියෝවත් නරඹන්න.
කරුගේ අවසානය ගැනත් යමක් කියන්න ඕනෑ. වසර ගණනාවකට පසු 1975 දී ඔහුට හා පවුලේ සියලු දෙනාටම ජපානයෙන් ඇරයුමක් ලැබුණා, එහි එන ලෙසට. ඔවුන් ඔහුට එහි රැකියාවක් සූදානම් කර තිබුණා. එහි යාමට ඔන්න මෙන්න තිබියදී නාමල් ඔයේ ගිලී ඔහු අබිරහස් ලෙස මිය ගියා. අපේ රටේ බලධාරීන් ඔහු ගැන හෝ ඒ පවුල ගැන සොයා බලා නැහැ. ඔහුගේ බිරිඳ සැමියාගේ හදිසි මරණය දරා ගත නොහැකිව සිහිවිකල්ව ගියා. කෙසේ හෝ ඔවුන්ගේ පිහිටට මිතුරකු ඉදිරිපත් වී තියෙනවා.
එදා ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ තුළින් අපේ කරු ගැන ලෝකයාගේ අවධානය යොමු කළ කොන් ඉචිකාවා ඔහුගේ ඒ විශිෂ්ට නිර්මාණය ආරම්භ කරන්නේ මෙහෙමයි. ‘ඔලිම්පික්, දැවැන්ත මානව ප්‍රයත්නයක සංකේතයයි!’ මෙසේ කියද්දී සුදු පසුබිමේ ඔලිම්පික් වළලු පහ සහිත ධජයත් ඒ සමගස ජපන් ජාතික ධජයත්, නැගෙන හිරු පසුබිම් කර ගෙන දිව යන ධාවකයන්ගේ අඳුරු රූ පෙළක් දිස් වෙනවා. ඔලිම්පික් ගිනිසිළුව රැගත් ධාවකයා පූජියාමා ගිනිකන්ද පසු බිම කර ගෙන දිව යන අයුරුත් දැක ගන්න පුලුවන්. ඉචිකාවා ඒ නිර්මාණය අවසන් කරන්නේ මේ වැකියෙන්. ‘අවුරුදු හතරකට වරක් ලෝකයේ මානවයන් එකම සිහිනයක් දකිනවා. ලොව පුරා සාමය ඇති කරවන්නට ඒ සිහිනය පමණක් ප්‍රමාණවත් මදිද?’ ඔහු ඒ චිත්‍රපයෙන් විමසනවා. මේ චිත්‍රපටය ලෝක සිනමාව බිහිකළ චිත්‍රපට 100 අතරෙහි ලා සැලකෙන්නක්. මෙය අන්තර්ජාලයෙන් ඔබට නරඹන්න පුලුවන්.
1965 දී තිරගත වුණු ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ (Tokyo Olympiad) චිත්‍රපටය වගේ මෙවර 2020 ඔලිම්පික් උළෙල ගැනත් වාර්තා චිත්‍රපටයක් තනන්නට බාර දී තියෙන්නේ, ජපන් චිත්‍රපට අධ්‍යක්ෂවරියකටයි. නඕමි කවසේ (Naomi Kawase) නම් ඇය කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ප්‍රධාන සම්මානයක් දිනූ ලොව ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරියයි. ඇගේ ඒ නිර්මාණය බලන්නට අපට හැකි වනු ඇත්තේ ලබන වසරේදියි.
- පර්සි ජයමාන්න
0 Comments