HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතය ගැන විස්මිත හෙළිදරව්වක් කළ කොසොල් රජුගේ සිහින!

බෞද්ධ සාහිත්‍යයේ කැපී පෙනෙන සිහින ලෙස සැලකෙන්නේ කොස‍ොල් රජතුමා දුටු සිහින 16 යි. ඒවා අනාගතය ගැන අනාවැකි ලෙසයි, බුදුරදුන් ඒවා අරුත් ගැන් වූ හැටි විස්මිතයි. එහි මුල් සිහින 8ක් ගැන පසුගිය ජූලි 22 දා ‘මල්කැකුළු’වලින් හෙළි කළා. අද අප එහි ඉතිරි සිහින 8 ගැන කියනවා. 

එදා දඹදිව කෝසල රාජ්‍යයේ පාලක පසේනදී කොසොල් මහරජු විසින් නින්දේ දී අමුතු සිහින සොළොසක් දුටුවා. එයින් මහත් සේ කැළඹිල්ලට පත් රජු සිය පුරෝහිත බමුණන් කැඳවා ඒ සිහින ගැන කියා ඊට හේතු කවරේදැයි විමසුවා. ඒත් පණ්ඩිතයන්ට ඒ සිහිනවල නියම තේරුම සිතා ගන්නට බැරි වුණා. ඒ නිසා ඒ පුරෝහිතයන් කීවේ ඒ සිහින ඉතා භයානක අසුබ ඒවා ලෙස සැළකිය යුතු බවයි. එයින් රජුටත් රටටත් භයානක විපාකවලට මුහුණ දීමට සිදු විය හැකි නිසා එය වළක්වා ගැනීමට නම් සියලු වර්ගයේම සිවුපා සතුන් දහස බැගින් රැගෙන ඔවුන් ඝාතනය කර බිළි පූජාවක් සමග යාගයක් කළ යුතු බවයි. 

සතුන් දහස් ගණනකගේ ජීවිත විනාශ කෙරෙන එම යාගය ගැන දෙගිඩියාවක් ඇති වූ නිසා කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමු වී ඒ ගැන විමසුවා. බුදුරජාණන් වහන්සේ ඒ සිහිනවල නියම තේරුම එකිනෙක මෙසේ රජතුමාට පැහැදිලි කර දෙමින් දේශනා කළේ අනාගතයේදී ලොව පහළ වන අධර්මිෂ්ට රාෂ්ටපාලකයන් නිසා එකී රටවලට හා ජනතාවට මුහුණ පාන්නට වන අවසනාවන්ත තත්වයන් ගැන ඒ සිහිනවලින් කියැවෙන බවයි. එය බෞද්ධ සාහිත්‍යයේ එන්නේ කොසොල් රජතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර දෙබසක් හැටියටයි. මේ කරුණු අවබෝධ කර ගෙන කටයුතු කළහොත් එය වළක්ව‍ා ගත හැකි බවත් උන්වහන්සේ එදා රජතුමාට පැහැදිලි කර දුන්නා. 

කොසොල් රජතුමා දුටු ඒ සිහින හා ඒවාට බුදුරදුන් දුන් පිළිතුරු මෙහෙමයි. 

9. කොසොල් රජ දුටු නව වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා සිහිනෙන් දුටුවා දිය පිරුණු පොකුණක්. ඒ පොකුණේ මැද වතුර බොර වී තිබුණා. සතුන් සිවුපාවුන් රංචු පිටින් ඇවිත් පොකුණ වටේ හිඳ වතුර බොනවා. ස්වාමීනි, මේ පොකුණ වටේට තිබුණේ හොඳ පැහැදිලි වතුර. පොකුණ මැද්දෙ විතරයි වතුර බොර වෙලා තිබුණේ. ස්වාමීනි, පොකුණ වටේට තිබුණු වතුර පැහැදිලි වෙන්නත් මැද විතරක් වතුර බොර වෙන්න විදියක් නැහැ නේද? එහෙම නම් එහි ඇති තේරුම කුමක්ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, රටේ පාලකයන් අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂණය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා. තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත්, රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත්, ඔවුන් ඒවා සොයා වෙනත් රටවලට යනවා. එවිට ඔවුන්ගේ සේවය රටට අහිමි වෙනවා. ඒ නිසා රට තව තවත් පිරිහීමට ලක් වෙනවා. මේ හීනයෙනුත් ඔබට හානියක් සිදුවන්නේ නැහැ. මෙයත් සිදුවන්නේ අනාගතයේදියි .” 

10. කොසොල් රජ දුටු දස වන සිහිනය 

කොසොල් රජතුමා - “බුදුරජාණන් වහන්ස, මා හීනෙන් දුටුවා බත් හැලියක් ලිප මත තියෙනවා. ඒ බත් හැලියේ එක් පැත්තක නොපිසුණු සහල් ද, තවත් පැත්තක බාගෙට පිසුණ සහල් ද, තවත් පැත්තක ඇට්ටකුණාවුණු සහල් ද තිබුණා. ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග තිබුණේ කොහොමද? මට මේක මහ පුදුමයක්! මෙහි තේරුම කුමක් ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, පුදුම වෙන්න දෙයක් නැහැ. මෙයත් අනාගතයේ පාලකයින්ගේ වැරදි නිසා සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය වෙන්නෙත් අන්න එවැනි දෙයක්. රටේ පාලකයින් ගේ නොමනා ක්‍රියාකලාපය නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ. වැස්සත් වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට පායනවා. මෙහෙම වුනාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු වෙනවා. මෙන්න මේකයි, අනාගතයේ සිදුවන දෙය. මෙයින් ඔබට හානියක් නැහැ. " 

11. කොසොල් රජ දුටු එකොළොස්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනී, මා දුටු මේ හීනය නම් අමුතුම ආකාරයේ එකක්. මා දුටුවා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා. ස්වමීනී, එහි තේරුම කුමක්ද?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, අනාගතයේදී මගේ සාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැප උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන් වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල්වලට පාව දීම තමයි, ඒ හීනයේ තේරුම.” 

12. කොසොල් රජ දුටු දොළොස්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනී, මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක් දිය මතුපිට පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන් දිය යට ගිලෙනවා. මා දුටු ඒ සිහිනයේ අරුත කුමක්ද ස්වාමීනි?” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනි, අනාගතයේදී රාජ සභාවේ (මේ කාලයේ වගේ නම් මැතිසබයේ) සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අයට ඇමතිකම් හා නිල තල ලබා දීම නිසා රාජ සභාව හිස් කතාවලින් පිරෙනවා. පන්සල් හා අනෙකුත් ආගමික ස්ථනවල හිස් කථා පැතිර යනවා. රටේ ජනතාව හිස් කතාවලට ප්‍රිය කරන තත්වයට පත් වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ.” 



13. කොසොල් රජ දුටු දහතුන්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා දුටුවා විශාල ගල් ජලයෙහි පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමේ නේ. එහි තෙරුම කුමක්ද?” 

බුදුරජාණන්වහන්සේ - “මහරජතුමනී, මෙයින් ඔබ බිය විය යුතු නැහැ. මෙයින් කි‍යවෙන්නේ අනාගතයේ පාලකයනුත් මහජන ප්‍රජාවත් රටේ ඉන්න උගතුන්ගේ, වියතුන්ගේ, බුද්ධිමතුන්ගේ අදහස් හා අනුසාසනාවලට ඇහුම්කන් දෙන්නේ නැති බවයි. රාජසභාවේත්, ප්‍රජාවත් අතර පවතින වටිනා අදහස් ප්‍රයෝජනයට නො ගෙන ඔහේ පා වෙලා යනවා.” 

14. කොසොල් රජ දුටු දාහතරවන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනි, මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට උන් පස්සේ එළවනවා. මෙය විය හැක්කක්ද? මෙහි තේරුම කුමක් ද?” 

බුදුරජාණන්වහන්සේ - “අනාගතයේ දී මිනිසුන් දැනටත් වඩා රාගාධික වෙනවා. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්‍රීන් සමඟ සේවනය සඳහා පෙලඹෙනවා. ඒ සඳහා ඔවුහූ තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින බාල වයස්කාර ස්ත්‍රීනුත් ඒ සඳහා යොමුවී වයසක ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ තමන් සතු කර ගෙන අර වයසක පිරිමින්ට නිග්රහ කරනවා. මෙම සිහිනයෙන් කියැවෙන්නේ එයයි. " 



15. කොසොල් රජ දුටු පහළොස්වන සිහිනය 

කොසොල් රජතුමා - “ස්වාමීනී, මගේ ඊළඟ සිහිනයෙන් මා දුටුවේ නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු වටා පිරිවර වශයෙන් හංසයන් ඉන්නා ආකාරයයි.” 

බුදුරජාණන්වහන්සේ - “රජතුමනී, මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින්ට, මිනිමරුවන්ට, හීන ජාත ඇති අයට, ඉතා ඉහළ සම්භාවනීයත්වයක් ලබා දෙනවා. එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජඹෙනවා. ඒ නිසා මොවුන්ට යටත් වීමටත්, ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් බුද්ධිමතුන්ට සිදුවනවා. මේ හීනයෙන් ඔබට කිසිදු හානියක් නැහැ. මෙය සිදුවන්නේ අනාගතයේදියි.” 

16. කොසොල් රජ දුටු දහසයවන සිහිනය 

කොසොල් රජතුමා - “භග්‍යවතුන් වහන්ස, මේතරම් කලක් අප අසා තිබුණේ කොටියන් විසින් එළුවන් අල්ලා ගෙන කන බවයි. නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?" 

බුදුරජාණන්වහන්න්සේ - “රජතුමනි දාමරීකයන්ට, මිනිමරුවන්ට, රජයෙන් වරදාන, වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනු ලබනවා. ඒ සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී ඔවුන්ට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා. ජීවිත අන්තරාය නිසා ඔවුන් අර මැරයින්ට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට වෙලා අසරණව බලා ඉන්නවා. රටේ පුජ්‍ය පක්ෂය ඉහත කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි, ඔබ දුටු ඒ සිහිනයේ අරුත එයයි. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය සිදුවන්නේත් අනාගතයේදියි.” 

එදා කොසොල් රජතුමා දුටු සිහින අද සැබෑවක් වී ඇද්ද ? නැද්ද? යන්න තීරණය කිරීම ඔබට බාරයි! ඉහත සිහින 16 පිළිබඳව බුදුරජාණන්වහන්සේ ලබා දුන් පැහැදිලි කිරීම් විමසා බලන විට අපට සිතෙන්නේ උන්වහන්සේ විසින් එම සිහින 16 ට අදාළ ව දේශනා කළ අනාගතය දැන් උදා වෙමින් පවතින බවයි. ඒ නිසා අප විසින් කළ යුත්තේ එවැනි පිරිහීමකට රටත් සමාජයත් පත්වීමට ඉඩ නොදී යහපත්ව පවත්වා ගෙන යාමට කටයුතු කිරීමයි. ඒ සඳහා සුදුසු පිළියම් ඇත්තේත් උන්වහන්සේ දෙසූ දහම තුළම පමණයි.

- පර්සි ජයමාන්න


Post a Comment

0 Comments