HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අද ඇරඹුණ ඔලිම්පික් උළෙලේ ඔබ නොදන්නා විස්මිත තොරතුරු!

ලෝකයේ පැරණිතම උත්සවය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මුලින් ම පවත්වන ලද්දේ ක්‍රිස්තු පූර්ව 776 දීයි. එය පැවැත් වූයේ ග්‍රීසියේ ඔලිම්පියාහිදියි. පළමුවන සියඩෝසියස් අධිරාජයා විසින් එය ක්‍රිස්තු වර්ෂ 393දී සියලුම ආගමික පුදපූජා උත්සව අවලංගු කරන තෙක් නොකඩවා වසර හතරකට වරක් පවත්වනු ලැබුවා. එසේ සෑම වර්ගවලම ක්‍රීඩා තහනම් කරද්දී නවතා දමන ලදුව එය නැවත ආරම්භ කරන ලද්දේ තවත් වස 1500ක් ගත වුණාට පසුවයි. එදා ඒ මුල්ම ඔලිම්පික් උළෙල සිහිපත් කරවන දැන් ඇති එකම දෙය ඔලිම්පික් ගිනි සිළුවයි! 

ඔලිම්පික් රන් පදක්කම් තුන, රන්, රිදී හා ලෝකඩ

අද ඔලිම්පික් ගිනිසිළුව දල්වන්නේත් ඒ ඉපැරණි ඔලිම්පික් සාම්ප්‍රදාය භාවිත කරමිනුයි. එදා මුල්ම ඔලිම්පික් ගිනිසිළුව දැල්වූවේ ග්‍රීසියේ හේරා දෙවොලේ දී සූර්යා ලෝකය පන්දම මතට පතිත කරවීමෙනුයි. අද ඒ සඳහා ග්‍රීක පූජකවරියන්ගේ ඇඳුමින් සැරසුණු සුරූපිනියන් පිරිසක් විසින් ග්‍රීක බසින් ‘කෝව’ වන අරුත් දෙන ‘ස්කැපියා’ (Skaphia) නමින් හැඳින්වෙන වලයාකාර දර්පණයක් මගින් සූර්යා ලෝකය ඔලිම්පික් පන්දම මතට පතිත කරවීමෙනුයි. 

ගිනිසිළුව දැල්වූ තැන් පටන් ග්‍රීසියේ ඔලිම්පියා නගරයේ සිට සත්කාර රටේ අලුත්ම ඔලිම්පික් උළෙල පැවැත්වෙන ස්ථානයට රටින් රටට ධාවකයන් අතින් අතට ගෙන යනවා. ඒ ගමන බිමින්, බෝට්ටුවෙන්, ගුවන්යානයෙන් (වරක් කොන්කෝඩ් යානයෙන්), අසු පිටින්, ඔටු පිටින්, දිය යටින්, ආදි වශයෙන් විවිධ මං ඔස්සේ ගෙන යනවා. නොදැල්වූ ඔලිම්පික් පන්දමක් අභ්‍යවකාශයටත් කීප වතාවක් යවනු ලැබුවා. යම්හෙයකින් මේ ඔලිම්පික් ගිනිසිළුව අතරමග දී නිවී ගියොත් සාමාන්‍ය ගිනිදල්වන ලයිටරයකින් දැල්වීම තහනම්. එය දැල්විය හැක්කේ ග්‍රීසියේ එය ආරම්භක දැල්වීමෙන් ලබා ගන්නා අතිරේක පන්දමකින් පමණයි! 

ඔලිම්පියානුවන් ඔවුන් දිනන රන් පදක්කම් කටින් හපනවා ඔබ සමහර විට දැක ඇති

වසර 1500කට පෙර පැවති ඔලිම්පික් ක්‍රීඩා සාම්ප්‍රදාය නැවත ආරම්භ කරන ලද්දේ 1896දී ග්‍රීසියේදියි. ඒ නවීන ඔලිම්පික්වල මුල්ම ක්‍රීඩා උත්සවය හැටියටයි. 

පුරාණ ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩකයන්ට අද ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වාගේ අනුග්‍රාහකයන් හෝ අනුග්‍රාහක ආයතන අවශ්‍ය වුණේ නැහැ. රටින් රටට වෙනස් වූ නිල ඇඳුම් හා ආරක්ෂක ඇඳුම් කිසිවක් අවශ්‍ය වුණේ නැහැ. ඇඳුම් තබා අඩු තරමින් නූල් පොටක්වත් අවශ්‍ය වුනේ නෑ. එය හේතුව ඔවුන් ක්‍රීඩා තරඟවලට සහභාගිවූයේ සම්පූර්ණයෙන් ම නිරුවත්ව වීමයි! 

ඔලිම්පික් ගිනිසිළුව දල්වන අයුරු

එකල නිරුවත්ව ඔලිම්පික් තරගවලට සහභාගිවීම ආරම්භ වූයේ අහම්බෙන්. මුලින් ම තරගවලට සහභාගිවූ අය ඇඳ සිටියේ අමුඩයක් (loincloth). ඔවුන් අතරින් ධාවන තරගයට එක් වූ ඔර්සිප්පුස් (Orsippus) නම් තරගකරුවා ආරම්භයේ දී ඒ ඇඳුමින් සැරසී සිටියත් ජයග්‍රාහික ලෙස දිනුම් කනුව වෙත ආවේ ඒ ඇඳුමත් නැතුව මුළුමනින් ම නිරුවතින්. එය ග්‍රීක භාවයේ ලක්ෂණයක් ලෙස සලකා සියලු තරගකරුවන් ඉදිරියේ දී ඒ ආකාරයේ තරගවලට සහභාගි විය යුතු යැයි සම්මතයක් සංවිධායකයන් විසින් ඇති කළ ඉන්පසු තරගවලදී සහභාගි වූ රටවල් 14ම තරගකරුවන් තරඟවලට සහභාගිවූයේ සම්පූර්ණයෙන් ම නිරුවත්වයි! 

නග්නත්වය, නිර්භීත කම, ධෛර්යය, බලය, ශක්තිය, දෙවියන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක් ලෙසයි ‍ සංවිධායකයන් අර්ථ දැක්වූවේ. ඒ තරගකරුවන් ‘ආදම්’සිහිපත් කරන ආකාරයෙන් සිය කායික ලක්ෂණ හොඳින් ප්‍රදර්ශනය වන අයුරින් ඔලිව් තෙල් ඇඟ ගල්වාගන තමයි තරග වැදුණේ. තරගකරුවන් තරග වැදුණු ‘ජිම්නේසියම්’ (gymnasium) යන අරුතැති ග්‍රීක වදන බිඳී ආවේ ‘ජිම්නෝස්’ (gymnós) යන ‘නිරුවත’ අරුත දෙන වදනිනුයි. 

ඔලිම්පික් ක්‍රීඩාවලට මුලින් ම කාන්තාවන් සහභාගි කරවා ගත්තේ නැහැ. 1900 දි තමයි කාන්තා නියෝජනයට ඉඩ සැලසුණේ. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල භාෂා ඇත්තේ දෙකක් පමණයි! ඒ ඉංග්‍රීසි හා ප්‍රංශයි. ඊට අමතරව ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක යම් රටකින් සහභාගි වන්නේ නම් ඒ රටේ නිල භාෂාව ඒ ඒ ඉසව් සඳහා භාවිතයට ගන්නවා. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ධජයෙහි වළලු පහකින් සංකේතවත් කරන්නේ ඊට සහභාගි වන රටවල් අයත් වන මහාද්වීප පහයි. එය නව ඔලිම්පික් උළෙලේ සම සමාරම්භක පියරි ඩි කුබර්ටීන් (Baron Pierre de Coubertin) සාමිවරයා විසින් කළ නිර්මාණයක්. මේ වළලු සඳහා නිල්, කහ, කළු, කොඝ, රතු වර්ණත්, ධජයෙහි පසුබිම් වර්ණය ලෙස සුදත් යොදා ගනු ලැබුවේ ලෝකයේ ඔලිම්පික් සඳහා සහභාගි වන රටවල ධජයන් සමන්විත වර්ණ නියෝජනය කරන්නයි. 

මේ වන විට ඔලිම්පික් උළෙල සඳහා සත්කාර රටවල් 24ක් එක්වී සිටිනවා. 

ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව් අතරට තවදුරටත් මේ තරඟ ඇතුළත්වන්නේ නැහැ. ඒකල සමමුහුර්ත පිහිනීම (solo synchronized swimming) , කඹ ඇදීම(tug of war), කඹය දිගේ නැඟීම(rope climbing), උණුසුම් වායු බැලූන තරග(hot air ballooning), ද්වන්ධ පිස්තෝල හරඹය(dueling pistol), කීප දෙනකු පදින බයිසිකල් තරග(tandem bicycle), බාධක පිහිනුම් තරග(swimming obstacle race), නිමජ්ජන පිහිනුම් තරග (plunge for distance) යනු ඒ තරගයි. මේ අතරින් එක පහරින් පරෙවියන් වෙඩි තැබීම 1900 පැරීසියේ ඔලිම්පික් උළෙලට පමණක් එක කරගනු ලැබුවා. 

ඔලිම්පික් රන් පදක්කම් මුල්ම ටාසන් වූ ජොනී වෙස්මුලර්/div>

1972 දී ජර්මනියේ මියුනිච් නුවර පැවති ඔලිම්පික් උළෙලේ දී තමයි මුල්වරට නිල මංගල සත්වයකු(mascot) යොදා ගත්තේ. ඒ වාල්ඩි (Waldi) නම් ඩෑෂ්හවුන්ඩ් (dachshund) සුනඛයායි. 

දකුණු ඇමරිකා මහාද්වීපයේ ඔලිම්පික් උළෙලක් ප්‍රථම වරට පැවැත්වුනේ 2016 දීයි. බ්‍රසීලයේ ඒ රියෝ නගරයේදීයි. ඊට රටවල් 205කින් විවිධ ක්‍රීඩා 42ක් නියෝජනය කරමින් තරග ඉසව් 306ක් සඳහා තරගකරුවන් 10, 500ක් සහභාගි වුණා. 

මෙවර 2020 ඔලිම්පික් උළෙල කොවිඩ් 19 වසංගතය නිසා 2021 වසරට කල්ගිය අතර ඔලිම්පික් උළෙලක් කල් ගිය ප්‍රථම අවස්ථාව එයයි. තුන්වරක් අවලංගු වුනත් කල්ගිය පළමු වතාව මෙයයි. එය අද ජූලි 23 දා සිට අගෝස්තු 8 වැනිදා දක්වා දින 16ක් තිස්සේ ජපානයේ ‍තෝකියෝ අගනුවර දී පැවැත් වෙනවා. ඊට රටවල් 205කින් තරඟකරුවන් 11,427ක් එක් වී සිටිනවා. ශ්‍රී ලංකාවෙනුත් ඉසව් 7ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගි වෙනවා. 

ක‍ොවිඩ් වසංගතය නිසා ඔලිම්පික් උළෙලේ වියදම විශාල ලෙස වැඩි වී තියෙනවා. මුලින් පිරිවැය ලෙස ගණන් බලා තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 12.6ක් වුනත් දැන් ඒ වියදම ඇමරිකන් ඩොලර් බිලියන 15.4ක් දක්වා වැඩි වී තියෙනවා. වසංගතය නිසා පිරිවැය 22%කින් වැඩි වෙනවා. රජය කියන විධියට නිල පිරිවැයට වඩා ඩොලර් බිලියන 25ක් වැඩි වෙනවා. 

1936 ඔලිම්පික් උළෙලේ පදක්කම් දෙකක් කපා සම්මාන ප්‍රදානයක් කළ අවස්ථාවක් තියෙනවා. 1936 ජර්මනියේ බර්ලින් නුවර පැවති ඔලිම්පික් උළෙලේ රිටි පැනීමේ තරගයේ දී දෙවැනි ස්ථානය ජපන් ක්‍රීඩකයන් දෙදෙනා (ෂූහෙයි නෂිදා හා සූඕ ඔඉ) කරට කර දිනා ගත්තා. සංවිධායකයන් කළේ රිදී පදක්කමත් ලෝකඩ පදක්කමත් දෙකට කපා ඒ කැබලි පිරිද්දීමෙන් සම ස්ථාන දෙකට පදක්කම් දෙකක් තනා ඔවුන්ට ප්‍රදානය කළා. 

ඇමරිකන් ජාතික ජොනී වෙස්මුලර් (Johnny Weissmuller) 1924 දී පැරීසියේ පැවති ඔලිම්පික් උළෙලේ දී පිහිනුම් සඳහා රන් පදක්කමක් තුනක් හා කණ්ඩායම් ඉසව්ව සඳහා රිදී පදක්කමක් දිනා ගත්තා. 1928 දී ඇමස්ටර්ඩම් ඔලිම්පික් උළෙලේ දී තවත් රන් පදක්කම් පදක්කම් දෙකක් දිනා ගත්තා. ඊට පස්සේ ඔහුට මුල් ම ටාසන් ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණා. ඔහු එතැන් සිට චිත්‍රපට 12ක රඟපෑවා. 

2012 දී ලන්ඩනයේ පැවති ඔලිම්පික් උළෙලට සහභාගි වූ සියලුම රටවල් ඔලිම්පික් තරඟ සඳහ‍ා තරඟකාරියන් ඉදිරිපත් කළ ප්‍රථම ඔලිම්පික් උළෙලයි. එහි ඓතිහාසික වාර්තාවක් ද තියෙනවා. ඒ පළමුවරට සෞදි අරාබිය නියෝජනය කරමින් වෝජාන් ෂාහර්කානී (Wojdan Shaherkani) නම් කාන්තාවක් ඊට එක් වීමයි. ඇය තරග කළේ කාන්තා ජූඩෝ තරගවල කි.ග්‍රෑ. 78 බර පන්තිය වෙනුවෙනුයි. 

ඔලිම්පියානුවන් ඔවුන් දිනන රන් පදක්කම් කටින් හපනවා ඔබ සමහර විට දැක ඇති. ඒ කුමක් නිසාදැයි ඔබ සිතුවාද? ඒක ඉතා ඈතට දිව යන පුරුද්දක්. අතීතයේ දී වෙළෙන්දන් රන් කාසි නියම රත්තරන්දැයි තහවුරු කර ගැනීමට දතින් හපා බලන පුරුද්දක් තිබුණා. ඒ ඒවාට ඊයම් මාත්තුවක් ඇත්නම් දත්පාර ඊට වදිනවා. නියම රත්තරන් නම් දත්පාර වදින්නේ නැහැ. ඒ පුරුද්ද තමයි මෙච්චර දුර ඇවිත් තියෙන්නේ. 

ඔලිම්පික් රන් පදක්කම තනිකරම රනින් නිම වන්නේ නැහැ. ඒවා දැන් නම් වැඩිපුර රිදීවලින්. රන් පදක්කම්වල ඝන රන් ආලේපයක් තමයි තියෙන්නේ. 1904 දී තමයි අවසාන වරට තනි රනිින් කළ පදක්කම් ප්‍රදානය කළේ. 

ඔලිම්පික් මැරතන් එකක් සපත්තු නැතුව දුවල දිනපු අවස්ථාවක් තියෙනවා. එහෙම තමා 1960 රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේ දී ඉතියෝපියාවේ අබිබි බිකිලා (Abebe Bikila) මැරතන් රන් පදක්කම දිනුවේ. සැගැපුම් 26ක් දුර මැරතන් තරගය ඔහු අපහසුවක් නැතුව දුවනු නරඹන්නන් විස්මයෙන් බලා සිටියා. ඔහු තමයි, අප්‍රිකානු ඉතිහාසයේ පළමුවරට ඔලිම්පික් රන් පදක්කමක් දිනුවේ. 

ඔලිම්පික් වාර්තා අතර වසර 23ක් නොකැඩී තිබුණු වාර්තාවක් තියෙනවා.1968 මැක්සිකෝ සිටි ඔලිම්පික්වල දී බොබ් බීමන් හෙවත් රොබට් බීමන් (Robert Beamon) දුර පැනීමේ තරග ඉසව්ව දිනුවේ සෙන්ටි මීටර් 55ක් වැඩිපුර දුරක් දුර පැනලයි. ඔහු පැන්න දුර මීටර 8.90 ක්. ඒ වාර්තාව වසර 23කට පස්සේ 1991දී වෙනත් ලෝක තරඟාවලියක දී මයික් පවෙල් විසින් බිඳ දමනු ලැබුවා. ඒ මීටර 8.95ක් දුර පැනලයි. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments