HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වස දැමූ ඇපල් ගෙඩිවල රහස හෙළිවෙයි!

‘සූෆි’ කියන්නේ අරාබි බසින් ‘වූල්’ යන්නයි. ඒ අනුව සූෆිවරයා කියන්නේ වූල් සාළුවක් පැලඳි තැනැත්තෙකුටයි. සූෆිවරුන් කරන්නේ නැණ නුවණ වැඩීමට ජනයාට ඉගැන්වීමයි. ඔවුන් මේ ඉගැන්වීම්වලට බොහෝ විට යොදා ගන්නේ උපමා කතායි. මේ එවැනි එක් කතාවක්. 

වැරදි විනිශ්චය 

එකමත් එක කාලෙක සෑහෙන අනුගාමිකයන් පිරිසක් මෙන් ම බොහෝ සතුරු පිරිසක් ද ඇති සාධුවරයෙක් හිටියා. 

ඔහුගේ සතුරන් ඔහු නසනු පිණිස උපා යොදන්නට වුණා. ඔහු සිය නිවසට නිදහසේ ඇතුළුව නිවස පුරා ඇවිදීමට ඕනෑම කෙනෙකුට ඉඩ හැර ඇති බව ඔවුනට දැක ගත හැකි වුණා. ඔවුන් ඔහු මරන්නට සිතා රහසේ ම ඇපල් ගෙඩිවලට වස දමා කාමරයක් පාසා තැන තැන දැමුවා. 

මෙය කීප වතාවක් ම සිදු කළා. මාස කීපයකට පසු සාධුවරයා ජීවතුන් අතර සිටීම ගැන වස දුන් අය මවිතයට පත් වුණා. 

මේ නිසා ම ඇතැම් අය ඔහු සාන්තුවරයෙකැයි කීවා. ඔහුට සියුම් දේ ගැන, සැඟවුණු දේ ගැන, දැන ගැනීමේ ශක්තිය ඇතැයි ඔවුන් තීරණය කළා. ඔහුට සැමදේ පිළිබඳ නිවැරදි ප්‍රත්‍යක්ෂයක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඒ වස දැමූ ඇපල් මග හැරීමට හෝ ඒවා අනතුරක් නොමැතිව වැළඳීමට හැකි වූයේ හෝ මේ ශක්තිය නිසා යයි ඔවුන් තීරණය කළා. 

ඔවුන් ඔහු සොයා ගොස් දනින් වැටී ආයාචනය මෙසේ කළා. 

‘අපට ප්‍රත්‍යක්ෂ වුණා. ඔබතුමා සාන්තුවරයෙක් බව. ඒ නිසා අපට ඔබතුමාගේ ගෝලයන් වීමට අවසර දෙන්න.’ 

‘මං සාන්තුවරයෙක් කියලා ඔබ කියන හේතුව නම් මට අල්ලන්නෙ නෑ. ඔබලා ඇත්තට ම මගේ ගෝලයන් වීමට උනන්දුවක් දක්වනවා නම් මං මේ ටික කියන්න කැමතියි. ඔහෙලා මාව මරන්න හදපු උපායෙන් මං බේරුණේ තැනින් තැන වැටිලා තියෙන පලතුරු කෑමෙට ගැනීමේ පුරුද්දක් මට නැති නිසයි.’ සාධුවරයා පිළිතුරු වශයෙන් කීවා. 

 - පර්සි ජයමාන්න

Post a Comment

0 Comments