HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නියමුවන් නැති අභ්‍යවකාශ යානයකින් උඩුගුවනට ගිය බිලියනපතියා.

නියමුවන් නැතිව ස්වයංක්‍රීයව පාලනය වන අභ්‍යවකාශ යානයකින් උඩුගුවනට ගිය ජෙෆ් බෙසෝස් ලෝකයේ තවමත් සිටින අංක එකේ ධනවතායි. මේ විස්මයජනක ගමන ඔහු ගියේ ඔහුගේම සමාගම වූ බ්ලූ ඔරිජින් නිපදවූ විශේෂ රොකට්ටුව හා ගගන කැප්සියුලයේ ආධාරයෙනුයි. 

ලොව අංක එකේ ධනවතා ජෙෆ් බොසෝස්

ලෝක ව්‍යාප්ත විශාලතම සමාගම වූ ඇමසන් (amazon) පිහිටවූ ඔහු වසර 27ක් එහි ප්‍රධාන විධායක හා හිමිකරු වශයෙන් කටයුතු කළ පමණක් නොව පසුගියදා ඉන් ඉවත් වූ පසුත් ඔහු තවමත් ලෝකයේ අංක එතේ ධනවතායි. ඇමෙරිකාවේ අංක එකේ පුවත්පතක් වන 'වොෂින්ටන් පෝස්ට්' හිමිකාරීත්වය ඇත්තේ ද ඔහුටයි. ඔබට මතක ඇති 2020 නොවැම්බර් 8 වැනිදා ‘මල් කැකුළු’ වලින් අපි කීවා, ඇමරිකාවේදී ගණිත ගැටලුවක් විසඳා ඔහු මවිත කළ සිංහලයකු ගැන. ඒ බෙසෝස් තමයි, මේ. මේ ගමන සඳහා ඔහු තත්පරයකට වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 550ක්. 

ඔහු මේ ගමන ගියේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කර ගෙනයි. ඇමරිකාවෙන් ගිය නීල් ආම්ස්ට්‍රෝං හඳ මතට පා තැබූවේ අද වගේ දවසකයි. ඒක සිදුවුනේ 1969 ජූලි 20 වැනිදායි. අදට හරියටම වසර පනස් තුනක ඉස්සරයි. ඒ සැමරුම සඳහායි, අදට මේ ගමන යොදා ගත්තේ. අනිත් අරමුණ මේ ගමන බිය විය යුතු නැති සුන්දර අත්දැකීමක් බව අනිත් අයට තහවුරු කරන්නයි. ඔහු ඉදිරියේ දී අභ්‍යවකාශයට සංචාරකයන් ගෙන යන්න වැඩ පිළිවෙළක් සකසා තියෙනවා. 

ජෙෆ් බොසෝස් සමග, ඔහුගේ සොහොයුරු මාක්, 82 හැවිරිදි වොලී ෆන්ක්, 
18 හැවිරිදි ඔලිවර් ඩේමන් සීඑන්එන් මැදිරියේ දී.

ජෙෆ් ‍බෙසෝස්ගේ ගමනත් සමග සති දෙකක් ඇතුළත උඩු ගුවනට ගිය දෙවැනි බිලියනපතියා ඔහුයි. 57 හැවිරිදි බෙසෝස් පෘථිවි වායුගෝලයේ ඉහළ අභ්‍යවකාශය හමුවන අද්දරට ගියේ අදයි. එය කිලෝමීටර 100කට ඉහළින් පිහිටා ඇති සීමාවක්. මෙය හැඳින්වෙන්නේ 'කාමන් සීමාව' කියායි. උඩු ගුවන හොවත් අභ්‍යවකාශය කියා කියන්නේ මේ සීමාවෙන් පිටත කලාපයටයි. 

ඔහුගේ මේ සැලැස්මට අනුව දින දෙකක් වැනි කෙටි කාලයක පුහුණුවීම්වලින් පසු ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට යන්න ඕනෑම කෙනෙකුට පුලුවන්. එහි දී කාමන් සීමාව පැන්නූ පසු ගුරුත්වය ශූන්‍ය වන නිසා ඔබට අහසේ පාවෙන්නට පුලුවන්. ඒක කෙරෙන්නේ විශේෂ යානයක් තුළ සිටයි. එහි සිට පහළ පෘථිවියේ දර්ශනය නරඹා ආපසු එන්න පුලුවන්. මේ උඩුගුවන් ගමන් සඳහා දැන් සංචාරකයන්ට සහභාගි වෙන්න පුලුවන්. 

ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය විශේෂ පුවතක් ලෙස බෙසෝස්ගේ වික්‍රමය සජීවීව විකාශය කිරීම

මේ අභ්‍යවකාශ සංචාර ගමන් ආරම්භ කිරීම ගැන පසුගියදා බිලියනපතියන් අතරේ තරගයක් පැවතුණා. නීල් ආම්ස්ට්‍රෝං හඳ මතට පා තැබීම සමරන්නට තමා 20 වැනිදා උඩුගුවනට යන්න බලාපොරොත්තු වන බව ජෙෆ් බෙසෝස් ප්‍රකාශ කළාට පස්සේ හදිසියේ තමනුත් ඊට දවස් නවයකට කලින් උඩුගුවනට යන බව තවත් බිලියනපතියකු කීවා. කීවා විතරක් නෙවෙයි, ඔහුත් තමාගේ යානයකින් උඩුගුවන අද්දරට ගොස් එතැන් සිට විශේෂ යානයකින් කාමන් ‍සීමාව පසු කළා. ඔහු තමා බිලියනපති ඇමරිකන් ව්‍යාපාරික, බ්‍රිතාන්‍ය ජාතික සර් රිචඩ් බ්‍රැන්සන්. පසුගිය 11 වැනිදා බ්‍රැන්සන් ඔහුට අයත් වර්ජින් ගැලැක්ටික් සමාගම නිපදවූ සුපර් සොනික් ගගන යානයෙන් තවත් පස් දෙනකු ද සමඟ පෘථිවි වායුගෝලයේ ඉහළ සීමාවට ගියා. තත්පර කීපයක් කක්ෂයක ගොස් ආපසු පැමිණියා. 

වර්ජින් ගැලැක්ටික් සමාගම සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑමට නිපදවා ඇත්තේ ජෙට් ගුවන් යානයක් හා තවත් විශේෂ ගගන යානයක් වන නමුත් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම අභ්‍යවකාශ සංචාර සඳහා නිපදවා ඇත්තේ අධි බලැති රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක්. රොකට්ටුව නම් කර ඇත්තේ ‘නිව් ෂෙපර්ඩ්’ කියායි. ඒ, අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකන් ගගනගාමියා වූ ඇලන් බී. ෂෙපර්ඩ්ට සිහිපත් කරන්නයි. කැප්සියුලය නම් නම් කර ඇත්තේ ‘බ්ලූ ඔරිජින්’ කියායි. 

උඩුගුවන යාමට සූදානම්ව නිව් ෂෙපර්ඩ් රොකට්ටුව හා කැප්සියුලය

බ්‍රැන්සන්ගේ උඩු ගුවනට ගිය යානා දෙක හැසිරවීමට අභ්‍යවනාශ නියමුවන් සිටියා. ඒත් ජෙෆ් බෙසෝස්ගේ නිව් ෂෙපර්ඩ් රොකට්ටුවට හෝ බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලය පාලනය කරන්න නියමුවන් නැහැ. ඒවා නියමුවන් නොමැතිව සියල්ල පරිගණකයෙන් ස්වයංක්‍රීයව සිදුවෙනවා. රොකට්ටුව ගගන කැප්සියුලය රැගෙන ගුවනට යෑම, පෘථිවි වායුගෝලය අද්දරට කැප්සියුලය තල්ලු කළ පසු රොකට්ටුව ඉන් වෙන් වී ආපසු පෘථිවිය බලා එනවා. ඒවා ස්වයංක්‍රීයවයි සිදුවන්නේ. 

රොකට්ටුවට හදිසි අනපේක්ෂිත කරදරයක් ඇති වුණොත් කැප්සියුලය ගැලවී එහි යන ගගනගාමීන් ආරක්ෂා කර ගන්නට හැකි අයුරින් මෙය නිපදවා තියෙනවා. මෙම ආරක්ෂිත උපක්‍රම පසුගිය වසර ගණන පුරා අත්හදා බලා ඇති බව බෙසෝස් මාධ්‍ය හමුවේ පැහැදිලි කළා. තමන් මෙම ගමනට සහභාගී වූයේ එය ආරක්ෂිත බව පෙන්වීමට යැයි ද බෙසෝස් අවධාරණය කර තියෙනවා.. ඇත්තෙන්ම එය ඉතාමත් ආරක්ෂාකාරී මිනිත්තු කීපයක ඉතා පහසු ගමනක් වුණා. 

බෙසොස් මෙම වික්‍රමයට සහභාගී වූයේ තනිවම නොවෙයි. බෙසෝස්ගේ සොහොයුරු 53 හැවිරිදි මාක් ද ගමනට එක් වුණා.. ඊට අමතරව, බෙසෝස්ගේ විශේෂ ආරාධනාවකට අනුව 82 හැවිරිදි වොලී ෆන්ක් ද ගමනට එක්වූණා. වොලී ෆන්ක් යනු දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ගගනගාමිනියක්. ඒ අනුව, ඇය අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස වොලී ෆන්ක් වාර්තා අතරට එක් වෙනවා. 

ඒ වගේම ලෝකයේ ළාබාලම අභ්‍යවකාශ ගාමියාත් මේ ගමනට එක්වුණා. ඒ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් නම් නෙදර්ලන්ත ජාතික භෟතික විද්‍යා ශිෂ්‍යයෙක්. බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ආසනයක් වෙන් කිරීම සිදු කර ඇත්තේ ඔලිවර් ඩේමන්ගේ කෝටිපති ව්‍යාපාරික පියායි. අමෙරිකන් ඩොලර් මිලියන 28 ක් ගෙවා පළමුවෙන් ඒ ආසනය වෙන් කර තිබුණේ ඩේමන්ගේ පියා නොව වෙනත් කෝටිපතියෙක්. කෙසේ නමුත් අවසන් මොහොතේ ඉතා හදිසි රාජකාරි වැඩක් යෙදුණු බව පවසමින් එම කෝටිපති ව්‍යාපාරිකයා ගමනට සහභාගී වූයේ නැහැ. ඔලිවර් ඩේමන්ට අවස්ථාව ලැබුණේ ඒ අනුවයි. 

රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් කාන්තාරයේ 'ලොන්ච් සයිට් වන්' මධ්‍යස්ථානයෙන්. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වැන් හෝන් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් වියළි කාන්තාර ප්‍රදේශයකයි. 'බ්ලූඔරිජින්' වෙබ් අඩවිය හරහා රොකට්ටුව ගුවන්ගත වීම, කැප්සියුලය වෙන්වී අභ්‍යවකාශයට යෑම සජීවීව විකාශය කෙරුණි. කැප්සියුලය උඩු ගුවනට තල්ලු කිරීමෙන් පසු රොකට්ටුව යළි පහළට ඒම සිදුවුණා. මෙම රොකට්ටුව නිපදවා ඇත්තේ නැවත නැවත භාවිතයට ගැනීමට හැකි ලෙසයි. 

බෙසෝස් ඇතුළු කණ්ඩායමේ මෙම වික්‍රමයට ගත වූයේ මිනිත්තු 11 ක් පමණයි. මිනිත්තු 4 ක් අභ්‍යවකාශයේ රැඳී ආපසු ගුරුත්වාකර්ශන බලයට හසුවී කැප්සියුලය පහළට ඇදී ඒම සහ එය දැවැන්ත පැරෂූටයක ආධාරයෙන් යළි ටෙක්සාස් කාන්තාරයට පතිත වීම සජීවීව විකාශය කෙරුණා. ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය විශේෂ පුවතක් ලෙස බෙසෝස්ගේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබුණා. යළි පෘථිවියට පැමිණ සතුට සැමරීමෙන් පසු, ජෙෆ් බෙසෝස්, මාර්ක් බෙසෝස්, වොලී ෆන්ක් සහ ඔලිවර් ඩේමන් මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන්ගේ අපූරු අත්දැකීම විස්තර කළා. ආපසු පැමිණ ගගන කැප්සියුලයෙන් පිටතට ආ බෙසෝස්ට හාදුවක් දෙමින් ඔහු පිළිගත්තේ ලොරෙන් සැන්චේස්. ඇය පසුගියදා දික්කසාද වූ බෙසෝස්ගේ අලුත් පෙම්වතියයි.‍ 

ජෙෆ් බෙසෝස්ගේ ගමන පිළිබඳව පහත වීඩියෝව නරඹන්න! 

මේ වික්‍රමය සාර්ථක වීමත් සමඟ, සර් රිචඩ් බ්‍රැන්සන් ද ජෙෆ් බෙසෝස්, ඇතුළු පිරිසට සුබ පැතුම් එක් කිරීමට අමතක කළේ නැහැ. ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම එසේත් නැති නම් වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 200 ඉක්මවන නිසයි. අතීතයේ, අභ්‍යවකාශයත් ඉන්පසු සඳ තරණයත් සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ 'ඇපලෝ' වැඩපිළිවෙළේ මුළු මෙහෙයුම්වල වටිනාකම, එදා මුදලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 20කටත් අඩුයි. 

 - පර්සි ජයමාන්න 

   

Post a Comment

0 Comments