ජූල්ස් වෙයා දුටු අනාගත මහ පෙරළිය!

ජූල්ස් වෙයාගේ ජීවිතයේ මුල් කොටස ඊයේ පළ කළා. අද එහි දෙවන කොටසයි. 

සුප්‍රකට ප්‍රංශ නවකතාකරු ඇලෙක්සැන්දර් දියුමා ඔහුට කීවේ භූගෝල ශාස්ත්‍රය හදාරන්නයි. එහෙත් ජාතික පුස්තකාලයට ගිය ඔහු එයින් නොනැවතී ඉතිහාසය, ජනප්‍රිය විද්‍යාව ඇතුළු පොත් රැසක් කියෙව්වා. 1862 තමයි, ඔහු තමන් ගමන් කළයුතු මාර්ගය තෝරා ගත්තේ. ‘මට මෙහෙම යන කොට එක දවසක් හිතුණා, මා ලබපු විද්‍යාත්මක දැනුම ප්‍රයෝජනයට අරන් විද්‍යාවයි ආදරයයි මිශ්‍ර කරලා මගේ කතා ලියන්න ඕනෙ කියලා.’ ඔහු පසුව කීවා. 

අනාගතය දුටු ජූල්ස් වෙයා මහලු වියේදී

ඔහු ඒ අනුව මුල්ම පොත ලියලා ප්‍රකාශකයන් 15කුටම යැව්වා. වැඩක් වුණේ නෑ. අන්තිමේදී ඔහ ඒ පොත ගිනි තියන්න යනකොට ඔහුගේ බිරිඳ ඒ පොත බේරා ගෙන තවත් ප්‍රකාශකයකු යවමුයි යෝජනා කරනවා. ඒ අනුව ඇලෙක්සැන්දර් දියුමා ඔහුට ප්‍රකාශකයකු හඳුන්වා දෙනවා. ඔහු තමා පියරේ ජූල්ස් හෙට්සල්. ඔහු ලියූ පළමු පොත ‘බැලූනයක සති පහක්’ ප්‍රකාශයට පත් කළෙ ඔහුයි. ඒක ඉතා ඉක්මනින් විශාල පිටපත් ගණනක් අළෙවි වුණ නිසා ඒ වගේ පොත් තවත් ලියන්නැයි ඔහුට යෝජනා කළා. ඒ අනුව හය මාසයකට වරක් පොතක් ලියා දෙන කොන්තරාත්තුවක් අත්සන් කළා. ඉන්පසු ඔහු කොටස් වෙළඳපොළේ රැකියාවට ගියේ නැත. ඔහු අත්සන් කළ ඒ ගිවිසුම වැනි එකක් එතෙක් ලොව කිසිම ලේඛකයෙක් අත්සන් කර තිබුණේ නැහැ. ඒ ගිවිසුම අනුව අවුරුද්දකට පොත්‍ දෙකක් අලුතින් ම ලියා බාර දිය යුතු නිසා ඔහු කාල සටහනකට අනුව වැඩ පටන් ගත්තා. 

ජූල්ස් වෙයාගේ ඊළඟ පොත වූයේ, ‘පෘථිවිය මැදට ගිය චාරිකාවක්’ ය. එහි ඉංග්‍රීසි පරිවර්තනය ‘අ වොයේජ් ටු ද සෙන්ටර් ඔෆ් ද අර්ත්’ (A Journey to the Center of the Earth) නම් වුණා. ඔහු පොත් ලීවේ ප්‍රංශ බසිනි. ඒ කතාවට අනුව ඔහුගේ චරිත සියල්ලන් ම අයිස්ලන්තයේ පිහිටි ගිනිකන්දකින් (යමහලකින්) පොළොව ඇතුළට ගමන් අරඹනවා. ඒ ගමනේ දී ඔවුන් දහසක බිහිසුණු අත්දැකීම් අත් විඳිමින් අවසානයේ දී ඉතාලියේ ගිනිකන්දක ලාවා ගැල්මකට හසුව ආපසු පොළොව මතුපිටට ගසා ගෙන එනවා. ඒ වන විට විද්‍යාවෙන් ලබා තිබුණු දැනුමත් අනාගතයේ ලැබෙතැයි අනුමාන කළ හැකි දැනුමත් පොළෝ ගර්භයේ ගත කළ කාලය තුළ ඔහු පාඨකයාට ලබා දුන්නේ වික්‍රමාන්විත අත්දැකීම්ද සමගයි. 

ජූල්ස් පොත් ලිවීම කළේ ඔහුගේ නිවස සමග ඉදිකර තිබූ එක්ටැම්ගෙහි මේ කුටිය තුළය

එයින් පාඨකයන් මහත්සේ අමන්දානන්දයට පත්වුණා. ඒ පොත කියවූ එක් පාඨකයකු වුණේ ෆර්ඩිනන්ඩි ලෙසප්ස් නම් ප්‍රංශ ඉංජිනේරුවා. ඔහු ඒ වන විට සුවස් ඇළ ඉදි කර අවසන් කළා පමණයි. ඒ කාර්යය නිම කිරීම ගැන කියන්නට ගිය ෆර්ඩිනන්ඩි ලෙසප්ස් ඔහුට ප්‍රංශයේ පිරිනැමෙන ඉහළම සම්මානය වූ ‘ලීජන්ස් ඔෆ් ඔනර්’(Legion of Honor) ජූල්ස් වෙයාට ලබා දෙන්න කටයුතු කළා. 

ජූල්ස් ඔහුගේ පුතා, මයිකල්, උපන් පසු පැරීසිය අත හැර ඇමියන්ස් (Amiens) නගරයේ පදිංචියට ආවා. පොත්වලින් ඔහුට මුදල් ගලා එන්න පටන් ගත්තා. ඔහු සැහැල්ලු රුවල් යාත්‍රාවක්() මිලට ගත්තා. ඒ වෙලාවේ තිබුණු ලොකුම එක එයයි. ඔහු එක්ටැම් ගෙයක් සහිත නිවසක් ඉදි කළා. ඒ එක් ටැම් ගෙහි කාමරය නැවක කප්පිතකුගේ කුටියක් ලෙස පෙනුණා. එහි තමයි ඔහුගේ ලියන කුටිය තිබුණේ. ඒ තුළ පොත්පත් සිතියම් එක්රැස් කර තිබුණා. ඒ කුටියෙහි තමයි, ඔහු ජීවිතයේ ඉදිරි අවුරුදු 40න් වැඩි කාලයක් ගත කළේ. 

ඔහුගේ තවත් පොතක් කොටස් වශයෙන් පළ වුණා, ඔහුගේ ප්‍රකාශකයා වූ පියරේ සංස්කරණය කළ ‘ලා ටෙම්ප්ස් පැරිස්’ කියන සඟරාවේ. ඒක පසුව, ‘ලෝක වටා දින 80කින්’ (Around the World in 80 Days) නම් පොත වශයෙන් පළ වුණා. සඟරාවේ කොටස් වශයෙන් පළ වෙද්දී එහි කථානායකයා වූ ෆිලීස් ෆොග් (Phileas Fogg) දින 80 පිරෙන්න ඉස්සරින් ලෝකය වටේ ගිහින් ඔට්ටුවක් දිනන්නයි බලාපොරොත්තු වුණේ. ඒ ගැන පාඨක උනන්දුව වැඩි වුණේ නිව්යෝක් හා ලන්ඩන් පුවත්පත්වල දිනපතාම ෆොග්ගේ මේ චාරිකාවේ දිනපතාම ඔහු ඉන්නා තැන පිළිබඳ අලුත්ම තත්වය වාර්තා පළ වීම නිසයි. 

ඔහු ඉන්නා තැන අනුව ජනතාව ඔට්ටු ඇල්ලුවා ඔහු වෙලාවට ලන්ඩනයට එයිද නැද්ද කියලා. ජූල්ස් ඉතා සූක්ෂම විධියට කතාව ගෙතුවා ඔහුගේ වීරයා එන්නට බැරිවෙයි කියන දෙගිඩියාව ඇති වන විදියට. ෆොග් ඒ එන අතර මග එක එක ව්‍යසනවලට හසුවෙනවා. එක් අවස්ථාවක ඒ වීරයා මියගිය සැමියා වෙනුවෙන් සති පූජාවට ලක්වුණු කාන්තාවකගේ දිවි ගලවා ගන්නවා. ඔහු ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති කර ගත්තත් පසුව ඇය ගැන තොරතුරක් සොයා ගත නොහැකි වෙනවා. ඇමරිකාවේ තණ බිම් හරහා යද්දී ඔහුට රතු ඉන්දියානුවන් පහර දෙනවා. එයිනුත් බේරෙන ඔහු නිව්යෝක් වරායට එන විට ඔහුට එන්ගලන්තයට යාමට තිබූ එකම නැව ඈත සිතිජයෙහි තිතක් හැටියටයි මුහුද මැද යනවා පෙනුණේ. 

ඔහුගේ සිතේ මැවුණු මුහුද යට ගිය සබ්මැරීනය වූ නෞටිලස් ඇතුළත් පෝස්ටරයක්

අත්ලාන්තික් සාගරයේ නැව් ගමනාගමනය කරන ප්‍රධාන නැව් සමාගම ජූල්ස්ට යෝජනා කළා විශාල මුදලක් දෙන්න ඒ එක නැවක ඔහුගේ වීරයා නැග එන බව ලියන්න කියා. ජූල්ස් ඒකට එකඟ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු වීරයාව කුලියට නැවක් අර ගෙන නිව්යෝක්වලින් ලන්ඩන් බලා පිටත් කළා. අතරමගදී ඒ නැවේ ඉන්ධන අවසන් වුණා. පාඨක‍යන් හුස්ම පහත නොහෙළා ඒ කොටස කියෙව්වා. ඊළඟ කොටසේ දී නැවේ සේවක පිරිස නැවේ දැවි භාණ්ඩ හා දැව කොටස් කඩා වාෂ්ප ඇන්ජින්වල උදුනට දැම්මා. ෆොග් ලන්ඩන්වලට ළඟා වුණා. ඔහු එහි තරඟය පැවැත් වූ රි‍ෆෝම් කල්බ් එකට ගියා. 

ඒ අවසන් කොටස එහි පළ වුණේ මෙහෙමයි. “57 වැනි තත්පරයේ දී එහි රැස්වීම් ශාලාවේ දොර ඇරුණා. ඔරලෝසුවේ ලම්බකය 60 වැනි තත්පරය සලකුණු කරන්න පෙර ෆිලීස් ‍ෆොග් ඔහුගේ සන්සුන් හඬින්, ‘මහත්වරුනි මා ආවා’ කියා කීවා.” 

ඒ 1872 දියි. අවුරුදු 17කට පසු නිව්යෝක් පුවත්පතක් එහි වාර්තාකාරියක් වූ නෙලී බ්ලයි යැව්වා ෆිලීස් ‍ෆොග්ගේ දින 80 වාර්තාව බිඳ හෙළීමට. ඇය ලෝකය වටේ දින 72කින් ඒ ෆිලීස් ‍ෆොග් ගිය මාර්ගයේ ම යාමට ඇය සමත් වුණා. ජූල්ස් වෙයාගේ තවත් වික්‍රමාන්විත චාරිකාවක් තමා, ‘මුහුද යටට ලීග 60,000ක්’ (20,000 Leagues Under the Sea) යන කෘතිය. එහි නෞටිලස් නමින් සබ්මැරිනයක් ජූල්ස් වෙයා විසින් නිර්මාණය කර තියෙනවා. ඒ කතාවේ හැටියට ඒ සබ්මැරීනය ද්විත්ව බඳක් සහිත එකක් විතරක් නොවෙයි, එය ක්‍රියාත්මක වන්නේ සාගර ජලයෙන් නිපදවා ගන්නා විදුලිබලයෙනුයි. ජූල්ස් පොතේ එසේ සඳහන් කළත් එය සෑබෑ අත්හදා බැලීම් යටතේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කළ හැකි බවට තහවුරු කළේ මේ මෑතදීයි. එදා ජූල්ස්ගේ නෞටිලස් සබ්මැරීනයට දියයට ගිය පසු ඕනෑ තරම් කාලයක් මතුපිටට නෑවිත් සිටිය හැකි වුවත් මෑතක් වනතුරු ඒ හැකියාව කිසිම රටක සබ්මැරීනයකට තිබුණේ නෑ. ඒත් ඇමරිකාව පසු කලෙක නිපදවූ ඇමරිකන් නාවික හමුදාවට අයත් නෞටිලස් න්‍යෂ්ටික සබ්මැරීනයට ඒ දේ කළ හැකියි. ජූල්ස්ගේ නිර්මාණයට උපහාරයක් හැටියට ඒ නමම ඔවුන් ඇමරිකන් සබ්මැරිනයටත් තැබුවා. 

ජූල්ස් වෙයා දේශානුරාගයෙන් ඔද වැඩි ප්‍රංශ ජාතිකයෙක්. ඒත් ඔහු නිදහස් ඇමරිකාවත් අගය කළා. ‍ජෝර්ජ් වොෂිංටන් හා ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ වීරයන් වුණා. ඔහු සතුව බොහෝ ම ආසාවෙන් තබා ගෙන සිටි ලියුමක් අද ඔහුගේ නිවසේ කෞතුකාගාරයේ තැන්පත් කර තියෙනවා. ඒ ලිපිය ඔහුට ලියා තියෙන්නේ තියෝඩෝර් රූස්වෙල්ට් ඇමරිකන් ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ කර්මිට් රූස්වෙල්ට් විසිනුයි. ‘මගේ පියා මට කීවා ඔබට දැනුම් දෙන්න කියා ඔහු ඔබේ සියලු පොත් කියවූ බවත් ඒවායින් අසීමිත වින්දනයක් ලැබූ බවත්..’ යනුවෙන් එහි ලියා තිබුණා. 

ජූල්ස් පොත් ලිවීම කළේ මේ මේසය මතයි.

ජූල්ස් වෙයාගේ ග්‍රන්ථ අතරින් වඩාත් දුරට නිවැරදිව අනාගතය දුටු, ඒ වගේම අඩුවෙන්ම කියවූ පොත ඇමරිකාව ගැන ලියූවක්. එහි නම ‘2890 වසරේදී ඇමරිකානු පත්‍රකලාවේදියකුගේ දිනපොත’ යි. ඒ කතාවේ කතා නායක පත්‍රකලාවේදියා කියන හැටියට නිව්යෝක් නගරය, ලෝකයේ අගනුවර වූ විශ්ව නගරය ලෙසයි හැඳින්වෙන්නේ. එහි ප්‍රධාන මාර්ග යාර 100ක් පළලයි. ඒ මාර්ග දෙපස තාප්ප වෙනුවට තිබුණේ අඩි 1000ක් උස අහස සූරන මැඳුරුයි. දේශ ගුණය පාලනය කර උත්තර ධ්‍රැවයේ වගා කරනවා. දැන්වීම් වලාකුළු මතට ප්‍රක්ෂේපණය කරනවා. ජූල්ස් වෙයාගේ වීරයා ‘අර්ත් හෙරල්ඩ්් කියලා පුවත්පතක් සංස්කරණය කරනවා. ඊට අට කෝටියක පාඨක පිරිසක් ඉන්නවා. ඒ පුවත් පතේ වාර්තාකරුවන් බ්‍රහස්පතී, අඟහරු, සිකුරු ග්‍රහ ලෝකවල සිට වාර්තා එවනවා. පුවත්පතේ ග්‍රාහකයන් ඒ පුවත් තමන්ගේ නිවසේ විසිත්ත කාමර‍වල සිට ඒවා නරඹනවා. මේ පොත් ජූල්ස් මීට වසර 150කට ඉස්සර ලිව්වාය කියන එක අදහන්නත් බැරි තරම් විස්මයජනක දෙයක්. ලෝකයේ වැඩියෙන්ම කියවූ කර්තෘන් අතරින් ජූල්ස් දෙවැනි වන්නේ ඇගතා ක්‍රිස්ටි ලේඛිකාවට විතරයි.

ජූල්ස් වෙයාගේ අවසාන වසර කීපය එතරම් ඔහුගේ සතුටට හේතු වුණේ නෑ. එයට හේතුව විද්වත් කණ්ඩායම් ඔහුගේ නිර්මාණ අවඥාවෙන් බැහැර කිරීමයි. ඔහු ලොව වැඩියෙන් කියවීමට ලක්වූ ප්‍රංශ ලේඛකයා වුවත් ඔහුව ප්‍රංශ විද්වතුන්ගේ සමාජය වූ ෆ්‍රෙන්ච් ඇකඩමියට නම් කර ඔහුට ගෞරව දැක්වීමක් සිදුවුණේ නැහැ. අවාසනාව එක පිට එක ආවා. දියවැඩියාවෙන් පෙළෙන්නට වුණා. ඇස් පෙනීම දුර්වල වුණා. කන් ඇසීම අඩුවුණා. අනාවැකි කීවා සේම ඔහුගේ අවසාන පොත්වල ලෝකයේ බොහෝ රටවල පාලනයට කුරිරු දරුණු ඒකාධිපතියන් බිහිවන්නේ යැයි භීතියක් ගැන ද කියැවුණා. 

1905 දී ජූල්ස් වෙයා මිය ගියා. මුළු ලෝකය ම ඔහුට ගෞරව දක්වන්න අවමඟුලට ආවා. ඔහුව අවඥ‍ාවෙන් සැලකූ විද්වතුන් පවා ආවා. ප්‍රංශ ඇකඩමියේ සාමාජිකයන් 30 දෙනා ඇතුළු ලොව පුරා රටවල තානාපතිවරුන් පමණක් නොව රජුන්, ජනාධිපතිවරුන් හා පාලකයන් ආදීන්ගේ විශේෂ නියෝජිතයන් අවමඟුලට සහභාගි වුණා. ඔහු ගැන අගය කරමින් නොයෙකුත් ප්‍රකාශ පළ වුණා. ඒ හැම ප්‍රකාශයකටම වඩා ප්‍රංශ පුවත්පතක පළ වූ මේ දෙපදය ජූල්ස් වෙයා ජීවත්ව හිටියා නම් ඔහු වෙනුවෙන් පළ කළ හොඳම ඇගයීම වශයෙන් සලකනවා නිසැකයි. ‘සොඳුරු කතා කියන්නා වියෝ වුණා. ඒ දැනෙන්නේ නත්තල් සීයා අවසන් ගමන් ගියා වාගෙයි.’ 

ජූල්ස් වෙයාගේ විස්මිත ප්‍රකාශ මේ වගේ ලිපියකින් කියවා අවසන් කරන්න බැහැ. ඉඩ ලද විටෙක තවත් ලිපියක් දෙකක් ලියන්නම්. 

 - පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. රට මොක වුණත් මිනිසුන් එක වාගේය
    ඊරිසියා රෝගය හැමටම පොදුය
    දක්ෂයො ඉදිරියෙදි එය වැඩි වෙනවාය
    මේ කතාවෙදිත් මට පෙනුණේ එයය

    පර්සි මහතාණෙනි, ‘2890 වසරේදී ඇමරිකානු පත්‍රකලාවේදියකුගේ දිනපොත’ සිංහල පරිවර්තනයක් තියෙනවාද?

    ReplyDelete