HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නස්රුදින් ඒකාධිපති හමුදා නායකයාට ජනතාව වෙනුවෙන් දුන් විසඳුම!

ඉස්සර කාලේ දවසක අතර මං වෙච්ච හමුදා භට කණ්ඩායමක් හදිසියේ ම නස්රුදින් උන්නු ගමට ආවා. අතරමං වෙලා ආවට එ් හමුදා කණ්ඩායමටත් නියෝග දෙන්නත්, ඒ වගේම මඟ පෙන්වන්නත් නායකයෙක් හිටියා. හමුදා කණ්ඩායමක් ආ විත්තිය දැනගත් මිනිස්සු එකා දෙන්නා කඩමණ්ඩියට රැස් වෙන්න පටන් ගත්තා. මුලින් ආ වැසියකුගෙන් හමුදා නායකයා ඇහුවා, ‘මෙහේ හමුදාවක් තියෙනවද?’ කියලා. ‘තමන් කවදාවත් එහෙම එකක් ගැන අහලා නෑ’ ඒ වැසියා‍‍‍‍ කිව්වා. 


ඊට පස්සෙ ඉදිරියට ආව හමුදා නායකයා කඩමණ්ඩියට රැස් වෙච්ච සෙනඟට මහ හඬින් මෙහෙම කිව්වා. 

‘අපි ආ‍වේ උඹලාට ආරස්සාව දෙන්නයි. ඒ හින්දා අපට නවාතැන් සපයපල්ලා! අපේ අශ්වයන්ට කෑම දීපල්ලා! අපට කෑම සූදානම් කරපල්ලා!’ හමුදා නායකයා අණ දුන්නා. 

ජනතාවට ඒ ගැන නියම අදහසක් තිබුණේ නෑ. ඔවුන් ආගන්තුක සාත්කාරය ගැන දන්නා නිසා ඔවුන්ට නවාතැන් සැපයුවා. අශ්වයන්ට කෑම දුන්නා. ඉල්ලන ඉල්ලන දේවල් ගෙනත් දුන්නා. 

‘ඉස්සර නුඹලාට ආරක්ෂාවක් තිබුණේ නෑ. අපි ඇවිත් නුඹලාට ආරක්ෂාව දුන්නා. දැන් නුඹලාගේ ආරක්ෂාව අපි සම්පූර්ණයෙන් ම සහතික කරලයි තියෙන්නෙ.’ හමුදා නායකයා කිව්වා. 

මාස කීපයක් ගතවුණා. හමුදාව සියලු පහසුකම් භුක්තිවිඳිමින් එහි වාසය කළා. වැඩිහිටි අයට තේරුම් ගියා මේ වැඩේ දිගටම කර ගෙන යන්න තරම් ඔවුන්ට හැකියාවක් නැති බව. ඒ හින්දා ඔවුන් කීප දෙනෙක් එකතු වෙලා ගිහිල්ලා හමුදා නායකයා හමුවුණා. 

‘ඔබතුමාගේ හමුදා භට පිරිස දිගට මෙහි රැඳී ඉන්නද අදහස් කර ගෙන ඉන්නෙ?’ ඔවුන් බොහොම බය පක්ෂපාතකමින් ඇහුවා. 

‘නැතුව, අපි ගිහින් කොහොමද නුඹලට ආරක්ෂාව දෙන්නේ?’ හමුදා නායකයා කිව්වා.

වැඩිහිටියන් මේ ගැන තවදුරටත් කතාබහ කළා. ඔවුන්ගේ අස්වැන්න මදි හමුදාවට කන්න දෙන්න. තවත් කල්ගියොත් ආගන්තුකයන්ට කන්න දීලා ඔවුන්ට බඩගින්න‍ෙයි ඉන්න වෙන්නෙ. ඒ හින්ද ගිහින් නස්රුදින්ට කිව්වා මොනව හරි කරන්න කියලා. 

නස්රුදින් කෙළින් ම හමුදා නායකයා හමුවන්නට ගියා. ගිහින් ඒ වැසියන්ගේ ප්‍රශ්නය ගැන කතා කළා. 

හමුදා නායකයා ඔහුට සවන් දී හිඳ අවසානයේ මෙහෙම කිව්වා. ‘අපි මෙහෙන් යන්නේ නෑ. අපි මෙහෙට එනකොට මෙහෙ ජනතාවට නිසි ආරක්ෂාවක් තිබුණේ නෑ. ඉතින් අපි ඇවිත් ආරක්ෂාව තහවුරු කළා. දැන් අපි ගිහින් කොහොමද ජනතාවට ආරක්ෂාව දෙන්නේ?’ 

‘එතකොට ඔහෙ කියන්නේ ඔහේ ඔහේගෙ හමුදාවත් අරන් මෙහෙන් යන්නේ නෑ කියලද?’ නස්රුදින් උස් ස්වරයකින් ඇහුවා. 

‘ඔව්! ඇයි නොගියොත් තමුසෙ මට මොනව කරන්නද?’ 

‘මොනව කරන්නද? එහෙනම් මං මේ ජනතාවත් අරන් වෙන කොහේ හරි යනවා’ නස්රුදින් ගත් කටට ම කීවා.

 (පර්සි ජයමාන්නගේ ළඟදීම පළ කෙරෙන ‘නස්රුදින්ගේ අමුතු කතා’ කෘතියෙනි

Post a Comment

1 Comments

  1. දැන් අපිට වෙලා තියෙන්නෙත් ඕකම තමයි මේ රටේ!

    ReplyDelete