HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රොකටයක් නැතිව උඩුගුවනට යන බිලියනපති බ්‍රැන්සන්ගේ විස්මිත ගමන

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් (Sir Richard Branson), ඔහුගේ ඇමෙරිකාවේ පිහිටි 'වර්ජින් ගැලැක්ටික්' (Virgin Galactic) සමාගම නිපදවූ සුවිශේෂ සුපර්සොනික් ගගන යානයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වෙනවා. ඔහු මේ හදන්නේ ලෝකයේ ධනවතුන්ට අභ්‍යවකාශ සංචාර සූදානම් කරන්නයි. මේ සඳහා අභ්‍යවකාශ නියමුවකුට අවශ්‍ය විශේෂ පුහුණු වීමක් අවශ්‍ය වන්නේ නැහැ. එක ගමනකට අවශ්‍ය වන්නේ ඇමරිකන් ඩොලර් ලක්ෂ දෙකහමාරක් විතරයි. 

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන්

70 හැවිරිදි වියේ පසුවන සර් රිචඩ් බ්‍රැන්සන්ගේ මේ ගමන සැලකෙන්නේ අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය සහ පෞද්ගලිකකරණය කිරීමේ පළමු පියවර ලෙසයි. මේ ඉරිදා ඇමෙරිකාවෙන් පිටත් වන ඔහු ‘අභ්‍යවකාශගාමියා අංක 001’(Astronaut 001) ලෙස නම් කර ඇති අතර ඔහු සමග මේ වතාවේ දී උඩුගුවනට යන වර්ජින් ගැලැක්ටික් ප්‍රධාන අභ්‍යවකාශගාමිනිය වූ බෙත් මෝසස්(Beth Moses) අංක 002 ලෙසත්, ප්‍රධාන ක්‍රියාන්විත ඉංජිනේරු කොලින් බෙනට්(Colin Bennett) අංක 002 ලෙසත්, රාජ්‍ය කටයුතු බාර උප සභාපතිනිය වූ සිරිෂා බන්ද්ලා (Sirisha Bandla) අංක 003 ලෙසත් නම් කර තියෙනවා. ඔවුන් සමග ‘වීඑස්එස් යුනිටි අභ්‍යවකාශ යානයේ නියමුවන් දෙදෙනා වන ඩේවිඩ් මැකේ හා මයිකල් මසුචි ද යනවා ඇති. 

ඒ අනුව, ඉදිරියේ දී 'වර්ජින් ගැලැක්ටික්' සමාගමේ උඩුගුවන් සංචාර මගින් අතමිට සරු ඕනෑම අයකුට අභ්‍යවකාශ සංචාරකයන් ලෙස උඩු ගුවනට ගොස් ආපසු පැමිණීමට ඉඩ ලැබෙනවා ඇති. මෙයින් අභ්‍යවකාශ ගමන් බිමන්වල නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති. 

‘වයිට් නයිට් ටූ’ ජෙට් යානය වීඑස්එස් යුනිටි යානය ඉහළට ගෙන යන අයුරු

මේ වනවිටත්, දින දෙකක කෙටි පුහුණුවකින් පසු, 'වර්ජින් ගැලැක්ටික්' සමාගම සමඟ එක්වෙමින් ගගන සංචාරවල නියැළීමට ලොව කෝටිපතියන් 600 කට වැඩි පිරිසක් මුදල් ගෙවා ලියාපදිංචි වී සිටින බව වාර්තා වෙනවා.. 'වර්ජින් ගැලැක්ටික්' සමාගම ගගන සංචාරය සඳහා ටිකට්පතක් අලෙවි කරන්නේ ඇමෙරිකන් ඩොලර් 250,000කටයි. මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් කෝටි 5ක් පමණ වෙනවා. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ වේලාවෙන් ජූලි 11 වැනි දා, ඉරිදා, (එනම් ශ්‍රී ලංකාවට සාපේක්ෂව 12 වැනිදා) කාලගුණය හරස් නොවුනහොත් සැලසුම් කළ පරිදි ගමන සිදුවනු ඇති බව බ්‍රැන්සන් මාධ්‍යයට පැහැදිලි කර තිබෙනවා. 

අභ්‍යවකාශය බලා යන බ්‍රැන්සන් (දකු‍ණේ සිට තෙවැන්නා) ප්‍රමුඛ 'යුනිටි 22' කණ්ඩායම

සර් රිචඩ් බ්‍රැන්සන් 2004 වසරේ දී 'වර්ජින් ගැලැක්ටික්' සමාගම යන නමින් අභ්‍යවකාශ සමාගමක් ආරම්භ කළේ ලොව ඕනෑම කෙනකුට ගගනගාමියකු ලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට ඉඩ සලසා දීමේ අරමුණින්. 

බ්‍රැන්සන් මේ ගමනට සාමාන්‍යයෙන් භාවිත කරන ආකාරයට දැවැන්ත රොකටයක් පාවිච්චි කරන්නේ නැත. ඒ වෙනුවට පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී උඩුගුවන වෙත යාමට ඔහු යොදා ගන්නේ අපේ ජනකතාවක එන ‘කොකුන් දෙදෙනා ඉබ්බා අහසින් ගෙන ගිය’ ක්‍රමයයි. ඒ ක්‍රමයට අභ්‍යවකාශ යානය උඩුගුවනට ඔසවා ගෙන යන්නේ ‘වයිට් නයිට් ටූ’ (WhiteKnightTwo) නම් විශේෂයෙන් තනන ලද ජෙට් ගුවන් යානයෙන්. එය මීටර 15,240ක් (අඩි 50,000ක්) ඉහළ අහසට ගෙන ගොස් මුදා හරිනවා. ඔවුන් මෙවර ගෙන යන ‘ස්පේස්ෂ්ප්ටූ’ (SpaceShipTwo) යානය හඳුන්වා ඇත්තේ ‘විඑස්එස් යුනිටි’ (VSS Unity) කියායි. එය ඉහළට ගෙන යන යානය හඳුන්වා ඇත්තේ ‘වීඑම්එස් ඊව්’ (VMS Eve) කියායි.

වර්ජින් ගැලැක්ටික් ප්‍රධාන අභ්‍යවකාශගාමිනිය වූ බෙත් මෝසස්

ප්‍රධාන ක්‍රියාන්විත ඉංජිනේරු කොලින් බෙනට් 

රාජ්‍ය කටයුතු බාර උප සභාපතිනිය වූ සිරිෂා බන්ද්ලා 
ගමනට එක් වන ඉන්දීය යුවතියයි

'වර්ජින් ගැලැක්ටික්' සමාගම වසර ගණනක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිර්මාණය කළ සුපර්සොනික් ගගන යානය හැඳින්වෙන්නේ 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' කියායි. මෙය බොහෝ දුර ජෙට් ගුවන් යානයකට සමානයි. මෙය පෘථිවියේ සිට උඩු ගුවනට තල්ලු කරමින් රැගෙන යෑම සිදුවන්නේ මවු යානයක් මගිනි. එය හැඳින්වෙන්නේ 'ඊව්' යන නමිනි. 'වර්ජින් ස්පේස්ෂිප් යුනිටි' යානයටත් 'ඊව්' මවු යානයටත් වෙන වෙනම නියමුවෝ දෙදෙනා බැගින් ඉන්නවා. 

නියමුවන් දෙදෙනාට අමතරව, වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානයේ ගගන සංචාරකයන් සඳහා ආසන 6 කි. සෑම ආසනයක් ළඟම විශාල වීදුරු ජනේල දෙකක් ඉහළින් හා පැත්තෙන් ඇත්තේ අවට සිරි නැරඹීම සඳහායි. 

වර්ජින් මවු යානය 'ඊව්' යානය පැයට සැතපුම් 2,300 ක වේගයකින් අඩි 50,000 ක් උඩු ගුවනට ගොස් එහිදී වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය මුදා හැරීම සිදු කරනවා. මේ සඳහා මිනිත්තු 45 ක් ගතවෙනවා. අනතුරුව 'ඊව්' යානය ආපසු පෘථිවිය බලා එනවා. එතැන් සිට ක්‍රියාත්මක වී අභ්‍යවකාශයට යන වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය කක්ෂයේ මඳ දුරක් ගොස් යළි පෘථිවිය බලා එනවා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය යොදා ගනිමින් ආපසු එන මේ යානය ඇන්ජින් පණ ගන්වන්නේ පෘථිවියට ළං වූ විටයි. ඉන්පසු එය සාමාන්‍ය ගුවන් යානයක් ලෙස ගොඩබෑම සිදු කරනවා. 

ගමනට සැරසෙන අයුරු පහත වීඩියෝවෙන් බලන්න


මෙම ඓතිහාසික ගමන සජිවීව වෙබ් නාළිකා ඔස්සේ විකාශය කිරීමට ද කටයුතු යොදා තියෙනවා. මේ ඓතිහාසික අභ්‍යවකාශ ගමන සම්බන්ධ සියලු තොරතුරු සජීවී ලෙස ලොව සැමට විස්තර ප්‍රචාරයට තෝරා ගෙන ඇත්තේ කරන්නේ ප්‍රහසන නළු ස්ටීවන් කොල්බර්ට්ය. ඊට අමතරව, ග්‍රැමී සම්මානලාභී ගායන කලීඩ් නව ගීතයක් නිර්මාණය කර ඇති බවත්, වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය ආපසු පෘථිවියට පැමිණෙද්දී ඔහු එය ගායනා කරනු ඇති. 

අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව' පසු කිරීමයි. මෙම සීමාව පිහිටා ඇත්තේ කි.මී. 100 කට ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය. 'කාමන් සීමාව' එනමින් හැඳින්වෙන්නේ හංගේරියානු ඇමෙරිකානු ගගන ඉන්ජිනේරුවකු මෙන්ම භෞතික විද්‍යාඥයකු ද වන තියෙඩෝර් කාමන්ට ගරු කිරීමක් ලෙසයි.

‘වීඑස්එස් යුනිටි අභ්‍යවකාශ යානය ‘වීඑම්එස් ඊව්’ ජෙට් යානයෙන් වෙන්වී යන අයුරු

'කාමන් සීමාව' පසු කරද්දී, ශුන්‍ය ගුරුත්වයේ බලපෑම සියල්ලන්ටම දැනෙන අතර ඔවුන්ට පාවීමේ අත්දැකීම විඳ ගත හැකියි. මෙම අපූරු අත්දැකීම විඳ ගැනීම සහ ඉහළ සිට දීප්තිමත් නිල්වන් පෘථිවිය සියැසින් දැක ගැනීමට සැලැස්වීම මෙම ගගන සංචාරවල අරමුණ වෙයි. මෙම අභ්‍යවකාශ සංචාරයේ දී, මිනිත්තු 10 කට හෝ 12 කට සීමා වන ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගත හැකි වෙනවා. 

සර් රිචඩ් බ්‍රැන්සන් සමග මෙම ගමනට එක්ව උඩු ගුවනට පිරිස 6 කි. ඔවුන් 'යුනිටි 22' යනුවෙන් හැඳින්වෙනවා. මේ පිරිසට කාන්තාවන් දෙදෙනකුත් ඇතුළත් වෙනවා. ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු තරුණියක වීම විශේෂත්වයකි. ඇය ශ්‍රීෂා බන්දාලායි. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලිගු බස කතා කරන්නියක්. ඉන්දියාවේ උපන් ඇය හැදී වැඩුණේ ඇමෙරිකාවේයි. රාජ්‍ය කටයුතු සහ පර්යේෂණ මෙහෙයුම් බාර වර්ජින් ගැලැක්ටික් සමාගමේ උප සභාපතිනිය ඇයයි. කල්පනා චෞලාගෙන් පසු ඉන්දියාවේ උපත ලැබූ තරුණියක අභ්‍යවකාශයට යෑම ඉන්දියාවට මහත් ආඩම්බරයකි. ඒ අනුව, චෞලාගෙන් පසු දෙවැනියට අභ්‍යවකාශයට යන්නේ ශ්‍රීෂා බණ්ඩායි. ඉන්දීය සම්භවයක් ඇති, ඇමෙරිකාවේ උපන් රාඛේෂ් ශර්මා සහ සුනීතා විලියම්ස් ද අභ්‍යවකාශයට ගිය අනෙක් ඉන්දියානුවන් වෙනවා. 

ශ්‍රීෂා මෙම ගමනට එක් වන්නේ විද්‍යාඥවරියක සහ පර්යේෂිකාවක ලෙසින්. ඇය ශුන්‍ය ගුරුත්වයේ බලපෑම කෙසේ සිදුවන්නේදැයි ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය වෙනුවෙන් පර්යේෂණ දත්ත රැස් කරනු ඇති. අනෙක් තැනැත්තිය වූ බෙත් මෝසස් වර්ජින් ගැලැක්ටික් සමාගමේ ගගනගාමීන් පුහුණු කරන ප්‍රධාන පුහුණුකාරියයි. 2019 වසරේ වර්ජින් ස්පේස්ෂිප් යුනිටි යානය අත්හදා බලද්දී ඇය එහි නැගී අභ්‍යවකාශයට ගොස් අත්දැකීම් ඇත්තියක්. 

- පර්සි ජයමාන්න

 ගමන සාර්ථක නිමා කොට ආපසු පැමිණි අයුරු පහත වීඩියෝවෙන් බලන්න!


Post a Comment

0 Comments