HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සියවසේ මනාලිය හොරගොල්ලට කැඳවා ගෙන ආ හැටි

පළාත් පාලන ඇමති බණ්ඩාරනායක‍ මහතා සිය මනාලිය වූ සිරිමාවෝ රත්වත්තේ කුල කුමරිය සමඟ හොරගොල්ලේ වලව්වට සම්ප්‍රාප්ත වූයේ 1940 ඔක්තෝබර් 10 වැනිදා ය. 

මෙම මංගල අවස්ථාව ද ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයට සුවිශේෂ අවස්ථාවක් වූයේය. 1940 ඔක්තෝබර් 12 වෙනිදා නිකුත් වූ පුවත්පතේ ද පළමු පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ මේ විසිවැනි සියවසේ මහා මංගල්‍යයයි. 

බණ්ඩාරනායක‍ ඇමතිතුමා හා සිරිමාවෝ 
රත්වත්තේ මැතිනිය විවාහ වූ අවස්ථාවේ.

වස්ස වලාහකයාගේ මංගල ආශිර්වාදය 
සියනෑ කෝරළය මංගල යුවලට දැක්වූ ආදරය 
උඩුගහ - ගඟබඩ මංගල ශ්‍රීය 
පළාත් වාසීන් ප්‍රීතියෙන් ඔද වැඩීම 
හොරගොල්ලේ උත්සවය 


 “මේ මස 10 වෙනි ගුරු දින නැගෙනහිර සියනෑ කෝරළය එකම මංගල්‍ය ශ්‍රී විභූතියෙන් දීප්තිමත් ලෙස බැබලිණ. මෙදින උදය කාලයේ පටන් උඩුගහ - ගඟබඩ දෙපත්තුවේ හා අසල ගම්වාසීන් අතර මංගල ඝෝෂාව පැතිර යාම නිසා ජීවමාන චංචල භාවයක් දෘශ්‍යමාන විය. උදෑසනම ගම්වාසී ස්ත්‍රී පුරුෂයන් හා ළමා ළපටි සිත්කලු ලෙස සැරසී ප්‍රීතියෙන් උද්දාම වී ගමන් ගත්හ. ඇතැම් ග්‍රාමීය මෑනිවරුන් දරුවන් අතින් අල්ලා ගෙන ළදරුවන් උකුලේ රුවාගෙන මඟ දෙපස සිසාරා ජනකාය අතර තෙරපි තෙරපී අලංකාර ලෙස සරසන ලද මාර්ගය දෙසට ඇස්හෙලා බලාගත්වනම සිටියෝය. මහල්ලෝ ශාන්ත ප්‍රීති මුහුණින් සිටියෝය.

“මේ මාස 3 වෙනිදා බලන්ගොඩ දී සිද්ධ වූ ශුභ ශරණ මංගල්‍යයෙන් පසු කීප දිනක් ස්වකීය පළාතෙන් පිටතට ගොස් සිටි ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. දියස් බණ්ඩාරනායක‍ ඇමතිතුමාත් සිය මැතිණියත් තම ආදරණීය පියාණන් හා පළාත් වාසීන් හමුවීම සඳහා හොරගොල්ලේ ස්වකීය නිවස කරා යාමට පසුගිය 10 වෙනි බ්‍රහස්පතින්දා උදේ 7ට පමණ කොළඹින් පිටත් වූහ. භාග්‍යසම්පන්න නව යුවල නැඟි මංගල රථය ස්වකීය කොට්ඨාසයට ඇතුල්වීමට පෙර කඳුබොඩ, පනන්වල හන්දිය යන ස්ථානවල අලංකාර ලෙස නංවා තිබුණු තොරන් සමීපයේ දී මල් මාලා පැළඳවීමෙන් හා මල් පොකුරු පිළිගැන්වීමෙන් ඒ ප්‍රදේශවාසීන් විසින් ගෞරව සහිතව පිළිගන්නා ලදී.

 

ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ ඇමතිතුමා හා සිරිමාවෝ 
රත්වත්තේ මැතිනිය විවාහ රෙජිස්ටරයේ අත්සන් කළ අවස්ථාව.

ගරු ඇමතිතුමාත් සිය මැතිණියත් සමග සියනෑ කෝරළයට පැමිණීමේ සුභ ආරංචිය සුළඟක් මෙන් පැතිරී ගියේ ස්ත්‍රී පුරුෂ බාල මහලු සියල්ලෝම පාහේ ප්‍රීතියෙන් පින පිනා එදින මාර්ගය දෙපසට රොක් වූහ.දෙකටන, පරංගොඩ, පැලහැල හන්දිය, ගල්වලගොඩ, දොම්පේ ගැහැණු පිරිමි පාඨශාලා ද්වය අසලද, ගනේගොඩ සමුපකාර සමිතිය මගින්ද,  දොම්පේ ශ්‍රී සුගත ධර්මරක්ෂක සමිති ශාලාව අසලද, තැපැල් කන්තෝරුව අසල මංසන්දියේද, ඇමතිතුමා විසින් ආණ්ඩුව මගින් ඉදිකරවන්නට යෙදුන දොම්පේ අභිනව ආරෝග්‍ය ශාලාව අසලද, මැදලන්දේ දෙපොලක ද සිත්කලු කරවන සිතුවමින් හා නීල වර්ණයෙන් සමන්විත විසිතුරු තොරන් බැඳ පළාත් වාසීහුද, පාඨශාලාචාර්යවරු හා ශිෂ්‍ය ශිෂ්‍යාවෝද සුභ පතන ගී ගයමින් හා මල්මාලා - මල් පොකුරු පිරිනැමීමෙන් ගරු බුහුමන් සහිතව යුවතිපති දෙදෙන පිළිගත්හ.      

තොරන් අබියස මල් මාලා පැලඳවීම්, ස්තෝත්‍ර ගායනා හැට හතරක් පමණ වූ හෙයින් මධ්‍යාහ්නයේ 12ට පමණ හොරගොල්ලට පැමිණීමට බලාපොරොත්තු වූ මංගල යුවල සවස 2.30ට පමණ ස්වකීය ඥාතීන්‍ගේ හා පැමිණ සිටි මහ ජනකායේ මහත් ප්‍රීතිය වැඩි කරමින් නානා වර්ණයෙන් යුත් මලින් වැසීගිය මෝටර් රථයෙන් ස්වකීය නිවස අසලට සම්ප්‍රාප්ත වූ ඉක්බිති මහත් ප්‍රීතියට පත් හො‍රගොල්ලේ සේවක සේවිකාවන් විසින් ස්වාමි භක්තිය පෙන්නුම් කිරීම් වස් මල් මාලා මල් පොකුරු පිරිනැමීමෙන් හා සුවඳ පැන් වැඩීමෙන් මහ පාර අසල බඳනා ලද විසිතුරු තොරණ සමීපයේ දී ගරු අන්දමින් පිළිගන්නා ලදී. එවිගස ම අලි ඇතුන්ගෙන් පිරිවරන ලද සුදුවැලි අතුරුවා දෙපස අලංකාර ලෙස සැලසූ ජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගිය මාර්ගයෙන් නැටුම් ගැයුම් බෙර හේවිසි කෙළිසෙල්ලම් හා කොඩි සේසත් ආදියෙන් අලංකෘත පෙරහරකින් තම නිවස කරා කැන්දවාගෙන ආ ඉක්බිති ස්වකීය දයාබර පියාණන් වූ සොලමන් දියස් බණ්ඩාරනායක මහ මුදලිතුමා ප්‍රමුඛ ඥාතීන් පිරිස විසින් සතුටු කඳුලින් ආචාර සමාචාර කොට අභිනව ජයම්පති යුවළ පිළිගන්නා ලදී.   

“මෙදින හො‍රගොල්ලේ වලව්ව ඉදිරියෙහි තොරණක් බැඳ භූමි ප්‍රදේශ දර්ශනීයකාරකයෙන් සරසා තිබුණු ආකාරය සිත්කලුවිය. වලව්වද විවිධ වර්ණ වූ විදුලි පහන් බුබුලු වලින් ආලෝකමත් කර තිබුණේය. වලව්වට සම්ප්‍රාප්ත වූ ඉක්බිති බිහිදොර කෙළින් ප්‍රථම ශාලාවේ සර් සොලමන් දියස් බණ්ඩාරනායක මහ මුදලිතුමාණන් මැදින් ද අභිනව යුවල දෙපසින් ද සිට මෙදින පැමිණි අමුත්තන් පිළිගැනීමෙහි නියුක්ත වූහ. මේ අවස්ථාවට කැඳවීම් පත්‍ර ලත් සියනෑ කෝරළවාසිහුද අන්‍ය පළාත්වාසීහුද, පස්වරු කාලයෙහි එන්ට පටන් ගත්හ. පළාතේ ගම්සහාවල සභාපතිවරුද සාමාජිකයෝද, පළාත්වාසී ගම්මුලාදෑනිවරුද, ස්ත්‍රී පුරුෂයෝද, සිංහල මහා සභා සාමාජිකයෝද එන්ට පටන් ගත්හ. පයින් එන්නන් හා මෝටර් රථ වැල නොකැඩී සවස් වන තුරු පැමිණීමෙන් හැඟී යන්නේ අභිනව යුවළ කෙරෙහි බලවත් ආදර ගෞරවයක් මුළු පළාතේ පැතිර පවත්නා බවයි. සවස් කාලය වනවිට පැමිණි ඥාතීන්ගෙන් හා හිත මිත්‍රාදී විශාල පිරිසෙන් වලව්වත් ඊට යාබද ගොඩනංවා තිබුණු තාවකාලික විශාල ශාලාවත් අතුරු සිදුරු නැතිව පිරී ගියේය. බොහෝ ‍දෙනෙක් අවට හැසුරුණෝය. සවස් කාලයෙහි බලන්ගොඩ රත්වත්තේ දිසාපතිතුමා හා කුමාරිහාමි පැමිණි කල අලුත් විවාහපත් බණ්ඩාරනායක මැතිණිය දණ නමා ආචාර කොට සිය දෙගුරුන් ගෞරවයෙන් පිළිගත්තාය. වරින්වර පොලිස් බෑණ්ඩ් කණ්ඩායම් විසින් තූර්යවාදනය පවත්වන ලදී.

 “සවස පහට පමණ ගරුතර සර් කොල්ඩිකොට් ආණ්ඩුකාරතුමා ස්වකීය උප රහස් ලේකම් ඩොබ්ස් මහතාත් සමග පැමිණියේය. ඉක්බිති පිළිසඳර කථා සල්ලාපයෙන් මඳ වේලාවක් ගත වන විට පැමිණ සිටි පිරිසට සංග්‍රහ කරන්නට පටන් ගන්නා ලදි.

 “පැමිණ සිටි මුළු පිරිසට චිත්ත සන්තර්පනය වන පරිද්දෙන් බහුල ලෙස රසවත් මිහිරි කැවිලිවලින් හා පාන වර්ගවලින් සංග්‍රහ කළ ආකාරය ආදර්ශවත් විය. සංග්‍රහයෙන් පසුව මංගල යුවලට ශුභාශිංසනය කිරීමට පටන් ගන්නා ලදී.

 “එක් පාර්ශ්වයකින් තනා තිබුණ විශේෂ විචිත්‍ර කුඩා මණ්ඩපයට ගරුතර ආණ්ඩුකාර තුමාත්, සර් සලමන් දියස් බණ්ඩාරනායක මහ මුදලිතුමාත් අභිනව යුවළත් පැමිණි කල ශුභාශිංසන පිළිගැන්වීම් ආරම්භ විය. පළමු කොට වෛද්‍යාචාර්ය වීරවර්ධන ප්‍රතිරාජ මහතා සංස්කෘත භාෂාවෙන් ප්‍රබන්ධිත මංගල ස්තෝත්‍රයක් කියවා ආශිර්වාදයක් පැවැත්තුවේය.

 “ඉක්බිති සිංහල මහා සභාවේ උප සභාපති ධුරන්දර අධ්‍යාපන ඇමති තැන්පත් ගරු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා සිංහල මහා සභාව වෙනුවෙන් කථා කරමින් මෙසේ කීවේය. ‘පළමු කොටම අද අප මෙහි පැමිණ අප සිංහල මහා සභාවේ නායකයාණන්ටත් එතුමාගේ මැතිණියටත් අපේ ප්‍රීතිය ප්‍රකාශ කරන්නට ඉඩ දීම ගැන සර් සලමන් දියස් බණ්ඩාරනායක මහ මුදලිතුමන්ට අපේ කෘතගුණ පූර්වක ස්තූතිය පුදමු. තවද අප සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහා නිර්භීතව සටන් කළ හැකි වීර පුත්‍ර රත්නයක් ලබා දීම ගැන එතුමාණන්ට නැවතත් අපේ ස්තූතිය පුද කරමු.

සිරිමාවෝ බණ්ඩාරනායක‍ - ලෝකයේ ප්‍රථම අගමැතිනිය 
ශ්‍රී ලංකාවෙන් බිහි වීමට මඟ පෑදූ

 “අප සිංහල මහා සභාවේ නායකතුමා ස්වකීය සිංහල ජාතිය යළිත් ශ්‍රේෂ්ඨ තත්ත්වයට ලෙන ඒම සඳහා කරන පරාක්‍රමාන්විත උත්සාහයට සෑම අයුරින් ම ආධාර කළ හැකි නැණවත් ගුණවත් රූප සෝබා සම්පන්න ස්ත්‍රී රත්නයක් තෝරා ගැනීම ගැන අප සභාව අතිශයින් ප්‍රීතියට පත් වේ. තවද මේ විවාහය කරණකොට ගෙන උඩ පාත දෙරට සිංහලයන් අතර සාමග්‍රී ධර්මය වැඩි වීම ගැන අපි අතිශයින් ප්‍රීති වම්හ.

 “ඉක්බිති කන්නන්ගර මහතා තමන් විසින් ම රචිත තුති කවි පංතියක් කියවා සිංහල මහා සභාවේ ස්තූතියද කියවා අභිනව යුවළට පිරිනැමුවේය. ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ මහතා එයට පිළිතුරු වශයෙන් ස්තුති කරමින් මෙසේ කීවේය. ‘මේ වටිනා ශුභාශිංසන පත්‍රය පිරිනැමීම ගැන අප දෙදෙනාගේම ස්තූතිය සිංහල මහා සභාවේ සාමාජික මහතුන්ට මෙයින් සතුටින් ප්‍රකාශ කරමි. තවද සිංහල ජාතිය පිරිහීගෙන එන ඉතා කනගාටුදායක අවස්ථාවක අප සිංහල මහා සභාව ආරම්භ කොට අපේ ජාතිය ආරක්ෂා කර ගන්නට හැකි වීම ගැන ප්‍රීති වෙමු. සභාවේ කටයුතු තවමත් ආරම්භ වූවා පමණයි. සෑම සිංහල ස්ත්‍රී පුරුෂයෙක් ම නැවතත් සිංහලයෙකු මෙන් පෙනී සිටින්නට ආඩම්බර වන තුරු මේ සභාවේ ව්‍යාපාරය අපි අඩු නොකරන්නෙමු. අප සිංහලයන් අතරම ඇත්තා වූ  සුළු ඊර්ෂ්‍යා ක්‍රෝධ අත්හැර සිංහල ජාතියේ අයිතිවාසිකම් රැක ගැන්ම පිණිස එක් සිතින් ක්‍රියා කරන්නට මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලමි. සිංහල ජාතිය වෙනුවෙන් සෑම පරිත්‍යාගයක්ම කර ජාතියේ නිදහස් අයිතියආරක්ෂා කරගන්නට මම සූදානම්ව සිටිමි. කන්නන්ගර මහතා ද සූදානම්ව සිටී. තමුන්නාන්සේලාද සූදානම්ව සිටිය යුතුයි. බණ්ඩාරනායක‍ මහතා තවදුරටත් කතා කොට ගරුතර ආණ්ඩුකාරතුමාන් මේ ප්‍රස්තාවට පැමිණ සිටින නමුත් තමන් කී අදහස් එතුමා සම්මත කළ බවක් තේරුම් නොගත යුතු  බැව් ද’ කීවේය.

අපේ රටේ ප්‍රථම ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක‍ කුමාරතුංග

“ඉක්බිතිව පළාතේ ගම්බද මුලාදෑනින් වෙනුවෙන් ස්තූති පත්‍රයක්ද, පළාත් වාසීන් වෙනුවෙන් ස්තූති පත්‍රයක්ද කියවා පිරිනමන ලදී. රාත්‍රි භාගය වූ විට රැස්ව සිටි පිරිස ප්‍රීතියෙන් විසිර යන්නට පටන් ගත්හ.”

  (1940  ඔක්තෝබර් 12 වැනිදා නිකුත් වූ ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ මුල් පිටුවේ පළ වූ මේ වාර්තාව උපුටා ගන්නා ලද්දේ මලල්ගොඩ බන්ධුතිලකගේ ‘සිරිමාවෝ බණ්ඩාරනායක’ නම් ග්‍රන්ථයෙනි.)

 පසු සටහන - එදා මංගල්‍යය අවස්ථාවේදී බලන්ගොඩ දී සර් ඩී. බී. ජයතිලක ස්වදේශ ඇමතිවරයා කළ කතාවෙහි ‘මේ ශරණ මංගල්‍යය වනාහි ලංකා ඉතිහාසයෙහි ලියවිය යුතු උසස් සිද්ධියකි..... තවද මේ විවාහය නිසා අප ලංකාවට මීට වඩා විශාල යහපතක් සිද්ධ වන බැව්ද මම විශ්වාස කරමි.’ යනුවෙන් කළ සඳහන මීට වසර 81කට පෙර පළ කළ අනාවැකියක් ලෙස සැලකිය හැකියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ ප්‍රථම අගමැතිනිය ශ්‍රී ලංකාවෙන් බිහි වීමත්, අපේ රටේ ප්‍රථම ජනාධිපතිනිය බිහිවීමත් ගැන එදා සර් ඩී. බී. ජයතිලක සූරීන් සිතා කළ එකක් විය නොහැක.   



Post a Comment

1 Comments

  1. I love this lady. She was the mother for whole country. Unfortunately she couldn't do her duty with para ( what's the word)politicos. But great women had 2 daughters. They are the shit of srilanka. Make shame on her.

    ReplyDelete