HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

98 වියේදී ජීවිත සිනමාවෙන් සමුගත් මහා රංගධරයා - දිලිප් කුමාර්

අප හින්දි සිනමාවට ආසා කළේ ඔහු නිසාය. ඔහුගේ රඟපෑම් නිසාය. ඔහුගේ රංගන ශෛලිය හින්දි සිනමාවට නව මානයක් එක් කළේ ය. භාෂාව ඉක්මවා යන භාවරූප ප්‍රකාශනයක් ඔහුගේ රංගනයට ඇතුළත් විය. ඒ නිසාම හින්දි භාෂාව නොදත් අප තුළ හැඟීම් දැනවීමට, වේදයිතයක් ඇති කිරීමට, අපේ හදවතට කථා කිරීමට, ඔහු සමත් විය. ඒ නිසාම ඔහු මිය ගිය පුවත සැලවීමත් සමග බලවත් සංවේගයක් හට ගත්තේ ය. ඔහු භාරතයේ පමණක් නොව< අපේ ද අසම සම වීරයෙකි. සිනමාවෙන් මානව හිතවාදය ජනහදවත්වල පැතිර වූ, දිලිප් කුමාර්ට උපහාරයක් ලෙස මේ සටහන තබන්නෙමි. 

දිලිප් කුමාර් රංගනයේ දිගු ගමනකට සැරසෙද්දී

ඔහු උපන්නේ යූසුෆ් ඛාන් නමිනි. ඔහුගේ පියා බොම්බායේ පලතුරු වෙළෙන්දෙකි. උපන්ගම වූ වර්තමාන පාකිස්ථානයේ පේෂාවර් අත්හැර මුළු පවුලත් සමග බොම්බායට ආ ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් 11 දෙනෙකි. පියා සමග පලතුරු වෙළඳ‍ාම් කරමින් සිටි ඔහු 18 හැවිරිදි වියේ දී පියා හා අමනාප වී පූනා නගරයට පැන ගියේය. එහි හමුදා ක්‍රීඩා සමාජයක් අසල සෑන්ඩ්විච් කඩයක් කළේය. වසරකින් ඒ ගිවිසුම අවසන්වූ පසු රු.5000ක මුදලක් උපයා ගෙන ආපසු බොම්බායට ආවේය. 

රැකියාවක් සොයමින් සිටි ඔහුට එහිදී බොම්බේ ටෝකීස් සමාගමට බැඳුණේය. ඔහුට එහි නළුවකු වශයෙන් රැකියාව කළ අශෝක් කුමාර් හමු විය. රඟපෑමට ඔහු යොමු කළේ අශෝක් කුමාර්ය. පාසලේදීවත් රඟපෑමක් නොකළ ඔහුට, රඟපෑම ගැන කියා දුන්නේ අශෝක් ඔහුව එවකට එහි පාලිකාව වූ සුප්‍රකට නිළියක වූ දේවිකා රානිට හඳුන්වා දුන්නේය. දේවිකා රානි තරුණ යූසුෆ් දුටු ගමන්ම අශෝක්ගෙන් විහිළුවට මෙන් ඇසුවේ, ‘කොහෙන්ද මේ වඳුරු පැටියව හොයා ගත්තේ ?’ කියා ය. 

දිලිප් කුමාර් හා ඔහුට රංගනයට මග පෙන්වූ ජ්‍යේෂ්ඨ නළු අශෝක් කුමාර්

දිලිප් කුමාර් ‘මධුමතී’ චිත්‍රපටයේ.

දිලිප් කුමාර්, රාජ් කපූර් හා දේව් ආනන්ද් සමග.

‘නම මොකක්ද ?’ ඇය ඔහුගෙන් ඇසුවාය. ‘යූසුෆ් ඛාන්’ ඔහුගේ පිළිතුර විය. ‘ඒ නම නළුවකුට හරි නෑ. දා ගන්න දිලිප් කුමාර් කියලා.’ කියා කීවා පමණක් නොව ඇය ඔහුව ‘ජවාර් භාට්’ (Jwaar Bhata) චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස තෝරා ගත්තාය. ඒ 1944 අවුරුද්දේ දීය. එදා සිට ඔහුගේ අවසන් චිත්‍රපටය වූ ‘ඛිලා’ (Qila) තෙක් චිත්‍රපට 65ක පමණ රඟපෑවේය. චිත්‍රපට 5ක ගරු රඟපෑම් කළේය. 

භාරත සිනමාව ලොව පුරා ප්‍රචලිත දැවැන්ත විනෝද මාධ්‍යයකි. එහි තරු බොහෝ වෙති. ඔහුට වඩා දීප්තියෙන් වැඩි සිනමා තරු ද බොහෝ සිටිති. දක්ෂ රංගධරයෝ ද සිටිති. ඒ සියල්ල අබිබවා ඔහුගේ දක්ෂතා කැපී පෙනුණේය. ඔහු කිසි‍ම දවසක රංගන ශිල්ප ශාලිකාවකට ගියේ නැත. අඩුම තරමින් පාසල් වේදිකාවකට හෝ නැඟ නැත. රංගන රීති ගැන පොතක් හෝ කියවා නැත. ඔහු සිනමාවට පිවිසෙන විට සිනමාවේ ජයගෙන සිටි ජ්‍යෙෂ්ඨයන්ගේ රඟපෑම් අනුකරණය කළේ ද නැත. ඔහුගේ රංගනය ඔහුට ම ආවේණික එකකි. රංගන රීතීන් හා සම්ප්‍රදායන් බිහි වූයේ ඔහුගෙනි. ඔහුගේ ආභාසයේ දැවැන්ත සෙවණැල්ල මුළු ලොව පුරා පැතිර ගියේය. ඔහු අනුව ගිය ජනප්‍රිය දක්ෂ නළුවන් බෙහෝ ය. ඉන් වඩාත් කැපීපෙනෙන්නේ ෂාරුක් ඛාන් ය. 

දිලිප් කුමාර් (සිනමාවේ මුල්ම ඛාන්) හා ෂාරුක් ඛාන් සමග.

කිසි විටෙක ඉංග්‍රීසි චිත්‍රපටයක රඟපා නැති ඔහු දිලිප් කුමාර්ගේ ජීවිත කතාව ලියන බ්‍රිතාන්‍යයේ මේඝානන්ද දේශායි සාමිවරයා කියන්නේ දිලිප් කුමාර් සම කළ හැක්කේ ලොව අංක එකේ නළුවන් වන හොලිවුඩයේ මාලන් බ්‍රැන්ඩෝ, ජපානයේ තොෂිරෝ මිෆුනේ, ඉතාලියේ මාසෙලෝ මස්ත්‍රොයෝනි පමණක් බවය. ඩේවිඩ් ලීන් ඔහුට චිත්‍රපට දෙකකටම ඇරයුම් කළත් ඔහු එය බාර ගත්තේ නැත. 

දිලිප් කුමාර් තරම් සිනමාවේ විවිධ චරිත රඟපෑ නළුවකු තවත් නැති තරම්ය. 1944 ඇරඹි ඔහුගේ රංග වින්‍යාසය මහත් පුළුල් පරාසරයක පැතිර තිබුණේය. ඔහු මේලා (Mela 1948), නයා දෝර් (Naya Daur 1957), ගංගා ජුම්නා (Ganga Jumna 1961), සගීනා මාතෝ (Sagina Mahto 1970) වැනි චිත්‍රපටවල නියම ගැමියකුගේ චරිතය රඟපෑවේය. ඔහු ආන්දාස් (Andaz1949), ෆුට් පාත් (Footpath 1953), අමර් (Amar 1954) පයිඝම් (Paigham 1969), මධුමතී (Madhumati 1958), ලීඩර් (Leader 1964) යන චිත්‍රපටවල රඟපෑවේ විනීත නාගරික තරුණයෙකු ලෙසය. එයින් ෆුට් පාත් හා අමර් ඒ කාලයේ පැවති බොලිවුඩ් සම්ප්‍රදායට අනුව අඳුරු චරිත ය. මිලාන් (Milan 1947), දේවදාස් (Devdas 1955), ෂිකාස්ට් (Shikast 1953) යන චිත්‍රපටවල ඔහු නිරූපණය කළේ බෙංගාල ජාතික මධ්‍යම පන්තික මහත්මයකුගේ චරිතයකි. ආන් (Aan 1952), අසාද් (Azaad 1955), කොහිනූර් (Kohinoor 1960), මෝඝල්-ඊ-අසාම් (Mughal-e-Azam 1960) වැනි චිත්‍රපටවල දී ඔහුට ලැබුණේ ප්‍රේමාන්විත, වික්‍රමාන්විත චරිතයකි. 

දිලිප් කුමාර් ළමා කල මොහොමඩ් යූසුප් ඛාන් ලෙස හා දිලිප් කුමාර් හා ලතා මංගේෂ්කාර්. 



ඔහුගේ ශෝකජනක හා ඛේදජනක චරිත රංගනයට පමණක් නොව හාස්‍යජනක රංගනයට එකසේ සමත් වූ ලොව පහළ වූ විස්මිත රංගධරයෙකි. 1970 දශකයේ දී වැඩිහිටි චරිතාංග නළුවකුගේ පරාසයට මාරු විය. ශක්ති (Shakti) එහිදී කැපී පෙනුනු චිත්‍රපටයකි. ඔහු එහි රඟපෑවේ අපරාධකාර පුතකුගේ පියා වූ පොලිස් නිලධාරියකුගේ චරිතයයි. අපරාධකාර පුත්‍රයා ලෙස රඟපෑවේ අමිතාබ් බච්චන් ය. 

දිලිප් කුමාර්ගේ රංගනය වැඩෙන්නට මග පෑදූ ඔහුගේ තුන්වැනි චිත්‍රපටය වූයේ මිලාන්. එයට පාදක වූයේ රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ ‘නෞකා ඩුබි’ නම් නවකතාවයි. එහි අධ්‍යක්ෂවරයා වූයේ නිතින් බෝස් ය. දිලිප් කුමාර් කියන්නේ තමාට, දෙබස්වලින් පරිබාහිරව, කථාවෙන් තොරව හැඟීම් දැනවීමට රංගනයේ අත්‍යවශ්‍ය කරුණු ඉගැන්වූයේ ඔහු බවයි. එයින් පසු දිලිප් කුමාර් රංගනය ඉහළම තලයකට පත් විය. දිලිප් කුමාර් ජනප්‍රියත්වයට පත් වූ මුල්ම චිත්‍රපටය වූයේ ආන්දාස් ය. එහි ඔහු නර්ගීස් හා රාජ් කපූර් සමග ප්‍රේම ත්‍රිකෝණයක පැටලුණේය. දිලිප් කුමාර් සිය තරඟකාරී නළුවන් දෙදෙනා වූ රාජ් කපූර් හා දේව් ආනන්ද්ට වඩා ඉන්දියාවේ දේශපාලන හා සමාජීය පරිවර්තනය මතු කළ චිත්‍රපටවලට රංගනයෙන් දායක විය. නිදහස් ඉන්දියාවේ ජනජීවිතය, මුහුණ දුන් අභියෝගතා හා අසීරුතා ඒ චරිත තුළින් විදහා පෑවේය. 

දිලිප් කුමාර් ‘මෝඝල්-ඊ-ඇසාම්’ චිත්‍රපටයේ මධුබාලා සමග ජවනිකා.

1948 දී ‘මේලා’ චිත්‍රපටයේ ඔහු රඟපෑ ගොවියා බාහිර බලවේගවලින් බැට කෑ චරිතයකි. 1957 ඔහු රඟපෑ ‘නයා දෝර්’ චිත්‍රපටයේ ගොවියා ඉන්දියාවේ ගැමි පරිසරයට එරෙහිව ආ සෙසු ලෝකය සමග සටන් කළ අභීත තරුණයෙකි. 1960 දී ඔහු රඟපෑවේ සමාජ අසාධාරණයට එරෙහිවූ ගංගා නම් ගැමි මංකොල්ලකාරයාගේ චරිතයයි. 

ඔහු ‘පයිඝම්’ චිත්‍රපටයේ මෝල් හිමි ස්වාමියා එරෙහි වූ වෘත්තිය සමිතිකාරයෙකි. පසුව ආ ‘ලීඩර්’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ඍජුවම දේශපාලන නායකයකුගේ චරිතයයි. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරුගේ සංකල්පයක් වූ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ඉන් ඉස්මතු කර පෙන්වීය. 

දිලිප් කුමාර් සිනමා සම්මානවලට අමතරව භාරතයේ ඉහළම සම්මානවලින් පුද ලැබුවේය. 1991 පද්ම භූෂාන් සම්මානයෙන්ද සිනමාවට කළ යාවජීව මෙහෙය වෙනුවෙන් 1994 දී ඩඩාෂහාබ් ෆාල්කේ සම්මානයෙන්ද ගෞරව ලැබීය. එපමණක් නොව 1997 දී පාකිස්ථානය එරට ඉහළ ම සම්මානය වූ ‘ද නිශාන්-ඊ-ඉමිටියාස්’ දිලිප් කුමාර්ට ගෞරව කළේය. හොඳම නළුවාට හිමි මුල්ම ෆිල්ම් ෆෙයාර් සම්මානය ‘ඩාග්’හී කළ රංගනයට හිමි විය. එතැන පටන් ඔහු ඒ සම්මානය 9 වරක්ම දිනා ගත්තේය. ලොව වැඩිම සිනමා සම්මාන දිනූ නළුවා ලෙස ගිනස් වාර්තා පොතට එක් විය. 

දිලිප් කුමාර් හා සයිරා බානු යුවළගේ වසර 66ක් පෙම් පුවත.

දිලිප් කුමාර් ගැඹුරු චරිත රඟපෑවද ඔහු මුල් කාලයේ විශිෂ්ටතම ප්‍රේමවන්තයා ද විය. ඔහු සිනමා ලෝලී සමාජයේ සිහින කුමාරයා විය. ඔහු හැම විටම රඟපෑවේ මුළු හදවතින් මය. ඔහු ඛේදජනක ප්‍රේමවන්තයාගේ චරිතයට පණ පෙව්වේ ද එසේමය. ඒ නිසාම සිනමා රසිකයෝ ඔහු‍ගේ හැඟීම් දනවන රංගනයෙන් පිස්සු වැටුණාහ. ඔහුගේ රංගනය නිසාම ඔහු තමා සමග රඟපෑ නිළියන්ටද සැබෑවටම පෙම් බැන්දේය. කාමිණී කෞෂාල්, මධුබාලා ඉන් ප්‍රධාන ය. ඒත් ඔහුට විවාහ වීමට නොහැකි වූයේ ඒ නිළියන්ගේ පාර්ශ්වයේ විරෝධය නිසාය. අන්තිමේ දී ඛේදජනක චරිත රඟපෑම නිසාම ඔහුට විෂාදය වැළඳුණේය. එංගලන්තයේ දී වෛද්‍ය උපදෙස් ලබන්නට පවා ඔහුට සිදු විය. වෛද්‍යවරුන් කීවේ ඛේදජනක චරිත රඟපෑම අතහැර වෙනත් චරිතවලට යොමුවන ලෙස ය. 

දිලිප් කුමාර්ගේ අවසන් චිත්‍රපටයේ රංගනයේ යෙදෙනු අයුරු පහත වීඩියෝවෙන්


1961 දී දිලිප් කුමාර් සිය එකම චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසුවේ ය. එහි තිර කථාව ලිව්වේය. එහි ප්‍රධාන චරිතය වූ ගංගාගේ චරිතය රඟපෑවේය. ඔහුගේ මල්ලී නසීර් ඛාන් ජුම්නාගේ චරිතය රඟපෑවේ ය. වෛජයන්තිමාලා එහි නිළිය වූවාය. චිත්‍රපටය ‘ගංගා ජුම්නා’ විය. එයට ජාතික චිත්‍රපට උළෙලේ දෙවැනි හොඳම හින්දි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. 

ෂාරුක් ඛාන් දිලිප්ගේ සොවින් වැලපෙන සයිරා සනසයි.

ඇමෙරිකාවේ බොස්ටන් අන්තර් චිත්‍රපට උළෙලේදීත්, ප්‍රාග්හී චෙකොස්ලොවැකියානු කලා ඇකඩමියේ සම්මානයක් ද, කාලෝවෙව්රි සිනමා උළ‍ෙලේ සම්මානයට පාත්‍ර විය. දිලිප් කුමාර් විවාහ වූයේ සයිරා බානු සමග ය.. ඒ වන විට සයිරා බානු 22 හැවිරිදි වූවාය. ඔහු 44 හැවිරිදි විය. 12 වන වියේ දී ඔහු දුටු මොහොතේ සිට ඇය වසර 10ක් තිස්සේ ඔහුට පෙම් බැන්දාය. එහෙත් දිලිප් කුමාර් ඇය මග හරිමින් සිටියේය. අන්තිමේ දී 22 හැවිරිදි වියේ දී ඇය ඔහු දිනා ගත්තාය. 22කක වයස් පරතරයක් ඇතිව සිටිය දී ඔවුන් සොඳුරු පෙම්වතුන් යුවළක් විය. පසුගිය වසර දෙකක් තුළ ඔහු අසනීපයෙන් පසුවිය. මතක ශක්තිය ද අඩුවී තිබුණේ ය. ඒ හැම විට ම ඔහුගේ සෙවණැල්ල මෙන් රැඳී සිටියාය. ඔහුට සාත්තු සප්පායම් කළාය. ඔහු 98 හැවිරිදි වියේ දී ඔහු යළි අසාධ්‍ය විය. ඇය ඔහු රැගෙන රෝහලට ගියාය. ඔවුන්ගේ පෙම් කතාව වසර 66කට පසු 2021 ජූලි 7 වැනිදා අවසන් විය. 

(මෙහි චිත්‍රපටවල නම් ඉංග්‍රීසියෙන් යොදා ඇත්තේ ඒවා අන්තර් ජාලයේ නැරඹීමට අවශ්‍ය නම් ඒ පහසු කරවනු පිණිසය.) 

 - පර්සි ජයමාන්න 



Post a Comment

0 Comments