85 වියට පා තැබූ අපූරු මැවුම්කරුවා - තලන්ගම ජයසිංහ

මගේ ජීවිතයේ 76 වසරක කාලය තුළ මා පත්‍රකලාවේදීන් සිය ගණනක් ඇසුරු කර තියෙනවා. ඒත් සැබෑවටම පත්‍රකලාවට ආදරය කළ, ජනතාවට ඉටු කළ යුතු මෙහෙවර සත්‍යවාදීව, අවංකව ඉටු කළ අය ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු ගණනකි. ඒ පත්‍රකලාවේදීන් අතරත් කොන්ද කෙළින් තියා ගෙන වැඩ කළ අය ඇත්තේ ද ඊත් අඩු ගණනකි. තලන්ගමට හිමි වන්නේ එහි ඉහළම තැනකි. ඔහු කිසිදාක පත්තර අයිතිකරුවන්ටවත්, දේශපාලනඥයන්ටවත්, ධනවතුන්ටවත්, කර්තෘලාටවත්, ඔහුගේම හිතවතුන් වෙනුවෙන්වත් ‘කඩේ ගියේ’ නැත. ඔහු ‘කඩේ ගියේ’ සමස්ත පාඨක ජනතාව වෙනුවෙන් පමණය. 

තලන්ගම ජයසිංහ

ලේක්හවුසියේ සේවය කළ කාලයේ ඔහු දැඩි නිදහස් මතධාරියකු වුණා. හිතුවක්කාරයකු වුණා. ලොකු ලොක්කන්ට පන්දම් ඇල්ලූ කර්තෘලාට අවශ්‍ය විධියට ඔහුගේ තෙලි තුඩවත්, පෑනවත් හැසිරවූයේ නැහැ. ඒ නිසා අලුතින් ලේක්හවුසියට එක්වූ අප වැනි අංකුර පත්‍රකලාවේදීන්ට ඔහු පරමාදර්ශයක් වුණා. ලේක්හවුසියේ සේවයට ගිය පසු රාජකාරි කටයුත්තක් නැති හැම විට ම වාගේ මා කාලය ගත කළේ ජනතා පත්‍රයේ ඔහු චිත්‍ර මේසය අසල වූ පුටුවේය. ඒ, ඔහු තෙලිතුඩින් රූපයක් මවනු බලා සිටින්නට ආසා කළ නිසාය. මා ඒ දවස්වල ඔහු දුටුවේ අපූරු මැවුම්කරුවකු ලෙසයි. නිතර ඔහු ඇසුරු කළ නිසා නොදැනුවත්වම ඔහු දැරූ නිදහස් අදහස් මා තුළ ද ලැගුම් ගත්තා. ඒවා මගේ පත්‍රකලා ජීවිතයට ලොකු පිටිවහලක් වුණා. 

‘සරසවිය’ ඇරඹූ මුල් කාලයේ ම වාගේ ඒ කාර්ය මණ්ඩලයට එක්වූ මා ලේක්හවුසියේ මුලින්ම හඳුනාගත්තේ එඩ්වින් ආරියදාස මහතාය. ඊළඟට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාය. ඊළඟට මා සොයා ගෙන ගොස් කතාබහ කර හඳුනා ගත්තේ තලන්ගමවයි. අද ඒ මුල්ම මිතුරන් දෙදෙනා අප අතර නැතත් තලන්ගම අපේ හා ජාතියේ වාසනාවට ඔහුගේ දිවියේ 85 වැනි වසර පසු කරමින් පාඨක ජනතාවට නිර්මාණ දායකත්වය සපයමින් ජයග්‍රාහී ගමනක යෙදී සිටිනවා. අප ඔහුට දීර්ඝායු පතනවා. 

තලන්ගම සිය චිත්‍රාගාරය තුළ

මා ‘සරසවිය’ පත්‍රයේ සේවය කරද්දී තලන්ගම ‘මඩිස්සලේ’ කියා කවි පන්තියක් සතිපතා සැපයුවා. අතිශය උපහාසාත්මක වූ ඒ කවි පන්තිය ඔස්සේ ඔහු සමාජයේ දුර්වල තැන්වලට පහර දුන්නා මට අද වගේ මතකයි. උපහාසය හා හාස්‍යය මුසු කර කවි ලියන්නට ඔහු දැක්වූයේ අපූරු හපන්කමකි. ඔහු සරසවිය කතු විමලසිරි පෙරේරා මහතා හමු වී ඒ කවි පෙළ දුන් විට එය මුලින් ම රසවිඳින්නේ එතුමායි. ඒ අවස්ථාවේ එතුමාගේ සිනා හඬ අසන අප එදෙස බැලූ වීට අතින් අප කැඳවා ඒ කවිය රහ කර ගායනා කරමින් අපටද එහි රසය බෙදයි. 

තලන්ගමගේ අත් අකුරින් ම ලියූ මේ කවි දෙක අපේ සමාජයේ අනුවණ ක්‍රියාකාරකමක් එල්ල කර ගෙන නිර්මාණ කළ එකක්. තලන්ගමගේ උපහාසයේ තරම මෙයින් මැන ගත හැකියි. 


‘ජාතිය’ පත්‍රයේ කතුවරයා වූ වෝල්ටර් සිරිමාන්න මහතා එය වසා දැමීමෙන් ජනතා පත්‍රයට සම්බන්ධ වී සිට විශ්‍රාම ගත් අවස්ථාවේ දී සමුදීමේ සාදය පැවැත්වූයේ ‘ප්‍රෙස් ක්ලබ්’ එකේදියි. තලන්ගම එහි විත් උපහාස රසයෙන් අනූන කවි පෙළකින් අප රසවත් කළ අන්දම මට අද වගේ මතකයි. පත්‍ර සහෘදයන් හැමෝම බඩවල් අල්ලා ගෙන සිනාසුණ අතර සිරිමාන්න මහතාත් ඔවුන් සමග සිනාසුණද ඒ අවස්ථාවේ උද්දාමයට පත්ව සිටි නිසා එතුමාට එහි වූ උපහාසය ටක්කෙටම වැටහුණේ නැත. පසුව රසවිඳින්නට ඒ කව්පෙළ සිරිමාන්න මහතාටත් අවශ්‍ය වුණත් ඒ ආසාව ඉටු වුණේ ද නැත. ඒ කව් පෙළේ පද දෙකක් පමණක් මගේ මතකයේ ති‍යෙනවා. ඒ මෙසේයි.

‘නැතිවෙනකම්ම ජාතිය කතුකම          දැරුව 
මැති සඳ පෙනේ පුටු කබලක් මෙන්       දිරුව’ 

“මං මේ දැන් මහරගම හිටියට උපන්නෙ තලන්ගමයි. මං උපන් ගමට හරිම ආදරෙයි. ඒ හින්දයි මං ගමේ නම මගේ කර ගත්තෙ. දැන් මං මගේ ගමේ නම යන යන තැන අරන් යනවා!” තලන්ගම මට ඔහුගේ පුංචි කාලෙ විස්තර කියන්න පටන් ගත්තේ ඉදුණු පොල් අඹ මල්ලකුත් අරන් මීට වසර පනහකට විතර ඉස්සර ඔහු බැහැ දකින්නට මහරගම විද්‍යාකර මාවතේ පිහිටි නිවහනට ගිය අවස්ථාවේ දීය. “ අද වාගේ නෙවෙයි ඒ කාලේ ඒ පරිසරයෙ තිබුණු නිස්කලංක කමට මං හරි ආසයි. අපි පුංචි කාලේ දියවන්නා ඔයේ ඉවුරු අතර එහා මෙහා පීනමින් විනෝද වුණු හැටි මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. මට සහෝදරියන් තුන් දෙනයි, සහෝදරයන් දෙන්නයි හිටියෙ. මං අවුරුදු තුනේදී ඉස්කෝල ගමන ඇරඹුවේ, ඒ පැලවත්තේ විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසැලෙන්.” තලන්ගම කුඩා කළ මතක් කළේ එහෙමයි. 



තලන්ගම උපන්නේ 1936 ජූලි 5 වැනිදා ජෝර්ජ් එඩ්මන්ඩ් ජයසිංහ නමිනුයි. ඔහුගේ තාත්තා ජෝර්ජ් ඇල්බට් ජයසිංහයි. ඒ නම සුද්දන්ගේ පාලන කාලේ දාපු නමක් නිසා ඔහු ඒකට කැමැත්තක් දැක්වුවෙ නෑ. ඒත් තාත්තා මිය යනතුරු ඒ නම පාවිච්චි කළ ඔහු 1955 දී තාත්තා මිය ගියාට පසු ඒ නම හලලා දාලා. ‘තලන්ගම ජයසිංහ’ වුණා. 

තලන්ගම පුංචි කාලේ ඉඳලම කවියට දක්ෂයි. ඔහු පාසල් යන කාලේ ළමා සඟරාවලට, පත්තරවල ළමා පිටුවලට කවි නිර්මාණ යැව්වේ ඊට අදාළ චිත්‍රයකුත් එක්කයි. චිත්‍රයක් යවන හැම විට ම ඊට අදාළ කවි පදයකුත් යටින් ලියලා යැව්වා. ඒ හැම එකක් ම පත්තරවල පළ වූ නිසා ඔහු තවත් අඳින්න ලියන්න දිරිමත් වුණා. ඒ කාලේ ඒවා පළ වූයේ තලන්ගම තිලක ජයසිංහ කියලයි. පස්සේ ඒ ‘තිලකය’ත් හලලා තමයි, ‘තලන්ගම ජයසිංහ’ වුණේ. අද මුළු ලංකාවමත් ලෝකය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයනුත් ඔහුව හඳුන්වන්නේ ඔහුම ඔහුගේ කාටුනයට යොදා ගන්නා ‘තලන්’ කියන ආදර නාමයෙනුයි. 

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තලන්ගම ලලිත කලාවන් ඉගෙනීමට එකල තිබුණු එකම තැන වූ හේවුඩ් ආයතනයට ගියේ තමන් සහජයෙන් ලද දස්කම් ඔප මට්ටම් කර ගන්නයි. ඒ 1951 දී. පස් අවුරුදු පාඨමාලාවකට බැඳුණද ඔහුගේ දක්ෂතා හඳුනා ගත් ගුරුවරුන් ඔහු දෙවරක් ම ‘ඩබල් ප්‍රොමෝෂන්’ දුන්නා. ඒ නිසා අනිත් අයට වඩා කෙටි කලෙකින් ඔහු ඒ පාඨමාලාව සම්පූර්ණ කළා. ඔහු එහිදී ඉගෙන ගත්තේ චිත්‍රවලට අමතරව, මූර්ති, මැටි හා ලාක්ෂා කර්මාන්තයයි. ඒ හැරෙන්නට නිවාස සැලසුම් කිරීම ගැනත් ඉගෙන ගත්තා. ඒ සමගම ඔහු මරදානේ ‘ටෙක්නිකල් කොලීජීය’ටත් ගියා චිත්‍ර කලාවේ තාක්ෂණික පැත්ත හදාරන්න. 

ඉගෙන ගන්නා අතරම ඔහු වෙළඳ දැන්වීම් ආයතන කීපයකම රැකියාවට ගියේ ඉගෙන ගන්න හා ජීවත් වෙන්න අවශ්‍ය බර පැන සොයන්නයි. “ඒ වෙන කොට මගේ නංගිලා දෙන්නෙක් ඉගෙන ගන්නවා. ඒ අයගේ කටයුතු ගෙන බලන්න වුණෙත් මට. මුලින් ම වැඩ කරපු තැන පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ විදියට ඉගෙන ගන්න ගමන් මං දැන්වීම් ආයතන පහකට වැඩ කළා.” ඔහු අතීතය මෙනෙහි කළේ එහෙමයි. 

ඔය කාලේ දවසක ඔහු චිත්‍ර කතාවක් ඇඳ ගෙන දිනමිණ කන්තෝරුවට ගියා. එවකට දිනමිණ ප්‍රධාන කර්තෘව සිටියේ පියසේන නිශ්ශංක මහතායි. එතුමා ඔහුව ජයවිලාල් විලේගොඩ මහතාට යොමු කළා. විලේගොඩ මහතා නිර්මාණය දෙස බලා, “ෂහ්! මේක නියමයිනේ! පත්තරේ පළ කරමු” කියා බාර ගත්තා. ‘චිත්‍රා’ නමින් දිනමිණ පත්‍රයේ පළ වූ මුල්ම චිත්‍රකතාව එයයි. 1954දී. ඔහු ඒ වන විට 18 හැවිරිදි තරුණයෙක්. 

චිත්‍රකතා ලෝලයන් අතර තලන්ගම වෙනම නමක් තියාගෙන ඉන්නවා. සිළුමිණ පත්තරේට ඔහු නිර්මාණය කළ ‘ඇටසැකිල්ල’ අඳින කාලේ ‘සිළුමිණ’ පත්තරේ කර්තෘ මණ්ඩලයට එක්වීමට මටත් අවස්ථාව ලැබුණා. එහිදී ඔහුගේ ‘මිනිස් දඩයම’ චිත්‍රකතාවට කතාවෙන් දායක වීම හැකි වුණා. 

තලන්ගම ‘සිළුමිණ’ පත්‍රයට ආවේ 1956දි චිත්‍ර ශිල්පියෙකු හැටියටයි. ඒ අවුරුදු 19දියි. ‘සිළුමිණ’ පත්‍රයේ සේවයෙන් පසු ඔහු ලේක්හවුස් චිත්‍රකතා ප්‍රකාශනය වූ ‘මධුර’ පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගොස් 18 වසරක් එහි සේවය කළා. 1998න් ඉන් විශ්‍රාම ගත් පසුත් දිගටම 2005 වනතුරු චිත්‍රකතා ඇන්දා. ඒ වන විට ඔහු චිත්‍රකතා 72කට වඩා නිර්මාණය කරලා තියෙනවා. 

තලන්ගමගේ පත්‍රකලා ජීවිතයේ ස්වර්ණමය කාල‍ය එළඹී ඇත්තේ දැන් යැයි මට හිතෙනවා. බැඳීම් වලින් මිදී ඔහු කියන්න කැමති දේ කැමති විදියට කියන්න දැන් ඔහුට අවස්ථාව සැලසී තියෙනවා. ඒ ‘ලංකාදීප’ පත්‍රයේ ‘පලාමල්ල’හා ‘ඒතුමා’ යන කාටූන් ඔස්සේයි. ඒ වගේම ඔහුගේ කාව්‍ය උපහාසය ද ‘අනේද කියන්නේ’ සිවුපද හතරෙන් විඳ ගන්න අපට පුලුවන්. ඒවා තුළින් දේශපාලනය ගැන ඔහු දරණ දෘෂ්ටියත්, ඔහුගේ උපහාසය තරාතිරම නොබලා එල්ල කරන හැටිත්, ඔබට දැන් දැක ගන්න පුලුවන්. පුවත්පත් නොබැලුවත් ඒවා උදේ පත්තර ගැන කියන රූපවාහිනී නාලිකාවලිනුත් ඔබට හැමදාම උදේට ඒවා රස විඳිය හැකියි. 

බොහෝ දේශපාලන කාටූන්කරුවන් චිත්‍රශිල්පය ප්‍රගුණ කළ අය නොව‍ෙයි. ඒ නිසා තලන්ගමගේ චිත්‍ර වෙන්වෙලා කැපිලා පේනවා. ඔහුගේ විකට චිත්‍රවල උපහාසය හා හාස්‍යය නොඅඩුව තියෙනවා. ඒ වගේම ඒ චිත්‍රවල පරිපූර්ණත්වයකුත් දැක ගන්න පුලුවන්. ඔහු නිර්මාණය කරන චරිතවල ප්‍රාණවත් භාවයත් උපහාසය තරම්ම හොඳට මතු කරනවා. 1931 ජී. එස්. ප්‍රනාන්දුගෙන් ආරම්භ වුණු දේශීය පුවත්පත්වල දේශපාලන කාටූන් කලාවේ කූටප්‍රාප්තිය සලකුණු කරන තලන්ගම පසුගිය දා 85 වියට පා තැබුවත් ඔහු අඳින චිත්‍ර හා රේඛා ඉන් මැවෙන රූප 18 වියේදී ඔහු ඇඳි රූප තරම්ම තරුණයි. ඔහුට තව තවත් මේ සද් කාර්යයෙහි නිරත වීමට හේතු වාසනා වේවා. අපටත් ඒවා රස විඳින්නට වාසනාව උදා වේවා! 

 - පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. දැන් නම් මගේ ඉහ නිකටත් පැහිලාය
    ලියන වැඩවලට තවමත් පැඟිරෙකුය
    ඒත් ඉගෙන ගන්නට නම් බෝ ගොඩය
    ඉගෙන ගත්තෙ ඔබ වැනි අය කියවලය

    එඩ්වින්, පර්සි, ජයසිහ අපෙ විරුවන්ය
    කොන්ද කඩා ගත්තේ නැති මිනිසුන්ය
    දැන් ඉන්නා අය කරන්නේ P S වැඩය
    මක්කා කරන්නද සොක්කන් රජ වෙලය!

    ReplyDelete