HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඔලිම්පික් උළෙලේ දී රටවල් 205ක් සමග හැප්පෙන රටක් නැති ක්‍රීඩා කණ්ඩායමක්!

මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙලට ලෝකයේ රටවල් 205ක් ක්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. ඒ අතර ඒ කිසිම රටකට අයිති නැති කණ්ඩායමක් ද ඔවුන් සමග තරග වදිනවා. ඔවුන් තරග වදින්නේ ඔලිම්පික් ධජය යටතේයි. ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘සරණගත ඔලිම්පික් කණ්ඩායම’ (Refugee Olympic Team) කියලයි. 

සරණගත පිරිසේ ක්‍රීඩිකා කිමියා අලිසාදේ බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා ජේඩ් ජෝන්ස් පරාජයට පත් කළ මොහොතේ.

ඔවුන්ට නියෝජනය කිරීමට නිශ්චිත රටක් නැත. ඔවුන් කලින් අයත් වූයේ ඇෆ්ඝනිස්ථානය, කැමරූන්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, එරිත්‍රියාව, ඉරානය, ඉරාකය, කොංගෝ ජනරජය, දකුණු සුඩානය, සුඩානය, සිරියාව හා වැනිසුවේලාව යන රටවල්වලටයි. 

ඒ රටවල පුරවැසිභාවය අහිමි වූ ඔවුන් දැන් එක්සත් ජාතීන්ගේ සරණගතයන් පිළිබඳ මහ කොමසාරිස්වරිය යටතේ හා සරණගත ඒජන්සියේ පිළිසරණය මතයි ජීවත් වන්නේ. ඒ නිසා එම ආයතන සමග සහයෝගය ඇතිව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තමයි, ඔවුන් ඒක රාශී කොට ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායමක් නිර්මාණය කළේ. ඒ මීට වසර පහකට පෙරයි. 

සරණගත පිරිසේ ක්‍රීඩිකා යුස්රා මර්දිනි තරග ඉසවුවකට පසු..>

2016දි මුල් වතාවට ජාතීන් හතරකට අයත් සරණගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බ්‍රසීලයේ රියෝ ඩි ජනීරෝ නුවර පැවති ඔලිම්පික් උළෙලට සහභාගි වුණා. ඔවුන් ඉතා දක්ෂ ලෙස තරග කළා. එයින් ලෝකයේ ම අවධානය සරණගත ප්‍රශ්නය කෙරෙහි යොමු කිරීමට හැකි වුණා. මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙලටත් කණ්ඩායමක් ඉදිරිපත් කරන්න ඔලිම්පික් කමිටුව තීරණය කළා. 

මෙවර සරණගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය ලැබුණා. ඔවුන් මාස ගණනාවක් තිස්සේ කටාර් රාජ්‍යයේ සත්කාරය යටතේ සියලු පහසුකම් ඇති ව පුහුණු ලැබුවා. මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වී සිටින ඔලිම්පික් සරණාගත කණ්ඩායම 29 දෙනකුගෙන් සමන්විතයි. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසවු 12කට සභාගි වෙනවා. 

මේ සරණගත ඔලිම්පික් කණ්ඩායමට අයත් වන්නේ, සිවිල් යුද ගැටුම්, රාජ්‍ය පෙරැළි, දේශපාලනික පළිගැනීම් සහ විවිධ මානුෂීය අරගල හේතුවෙන් තම මවු රටින් විදේශවලට ගොස්, එම විදේශවල රටක් නොමැතිව සරණගතයන් ලෙස ජීවත්වන ක්‍රීඩාවෙන් දක්ෂතා පෙන්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි. 

සරණගත පිරිසේ ක්‍රීඩිකා මූනා දා‍හෝක් කියුබානු ක්‍රීඩිකා මේලින් ඩෙල් ටෝරෝ කාවජාල් සමග තරග වදිද්දී..

මොවුන් සියලු දෙනාම එක්සත් ජාතීන්ගේ සරණාගත ලැයිස්තුවේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනවා. සරණගත කණ්ඩායමක් ලෙස ඔලිම්පික් උළෙලට සහභාගී වීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරම් ලැබුණේ, ඔවුන්ගේ දක්ෂතා ගැන පැහැදීමෙන්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන් ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ කළ නිසයි. 

මෙවර සරණාගත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනා මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, ඔරු පැදීම, පාපැදි, ජූඩෝ, කරාතේ, වෙඩි තැබීම, පිහිනීම, ටයිකොන්ඩෝ, බර ඉසිලීම සහ මල්ලවපොර යන ක්‍රීඩා ඉසවු නියෝජනය කරනවා. 

තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරගාවලියේදී සරණාගත කණ්ඩායමට ඇතුළත්, ඉරාන සරණගත ක්‍රීඩිකා කිමියා අලිසාදේට සරණාගත ඔලිම්පික් කණ්ඩායමේ ප්‍රථම පදක්කම දිනා ගැනීමට ඔන්න මෙන්න අවස්ථාවක් ලැබුණත්, අවසන් මොහොතේ එම අවස්ථාව ගිලිහී ගියා. තෝකියෝ නුවර පැවති පළමු වටයේදී කිමියා අලිසාදේ 18-9ක් ලෙස ඉරාන ප්‍රතිවාදියා වූ නහීඩ් කියියානි චන්දෙ පරාජය කළා. 

16 වැනි වටයේදී කිමියා අලිසාදේ, දෙවරක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී බ්‍රිතාන්‍ය ශූරිය ජේඩ් ජෝන්ස් ද පුදුමයට පත් කිරීමට සමත් වුණා. අවසානයේ කිමියා අලිසාදේ බ්‍රිතාන්‍ය ශූරිය 16-12ක් ලෙස පරාජය කළා. 23 හැවිරිදි කිමියා අලිසාදේ සරණාගත කණ්ඩායම නියෝජනය කරමින්, 2016 රියෝ ඔලිම්පික් උළෙල ද නියෝජනය කළා.

 - පර්සි ජයමාන්න


Post a Comment

0 Comments