ඔලිම්පික් ඉතිහාසයේ රන්පදක්කමක් දිනූ ළා බාල ම ක්‍රීඩිකාව නිෂියා මොමිජි (Nishiya Momiji) තවමත් 13 හැවිරිදි වියේ පසුවෙනවා. ඇය රන් පදක්කම දිනා ගත්තේ කාන්තා වීදි ස්කේට්බෝඩ් පැදීමේ ඉසව්වෙන්. ජපානය වෙනුවෙන් රන් පදක්කම දිනා ගත් ඇයට කලින් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ළාබාල කාන්තාව වූ ඇමරිකානු කිමිදුම් ශූරියක වූ මාජරී ගෙස්ට්‍රින් (Marjorie Gestring) 1936 දී බර්ලින් ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම දිනන විට ඇගේ වයස අවුරුදු 13කුත් දින 267ක් ව තිබුණා.
නිෂියා මොමිජි රන් පදක්කම දිනීමට කලින් දවසේ, පිරිමි වීදි ස්කේට්බෝඩ් ඉසව්වෙන් ජපන් ස්කේටර ක්‍රීඩක යුතෝ හොරිගොමි ස්කේට්බෝඩ් ඉසව්ව සඳහා ප්‍රථම රන් පදක්කම දිනා ගත්තා. මොමිජි සමග එම ඉසව්ව සඳහා රිදී පදක්කම දිනා ගත්තේ තවත් 13 හැවිරිදි වියේ පසුවූ බ්‍රසීලියානු ක්‍රීඩිකාවක්. ඇය රයාසා ලීල් නම් වුණා. එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ 16 හැවිරිදි ජපන් ජාතික ෆූනා නකයාමා නම් ක්‍රීඩිකාවයි.
එක පයින් සිටිමින් බර ඔසවා ලොව මවිත කළ ලී ෆැබින්!
තෝකියෝ ඔලිම්පික් උළෙලේ තවත් අපූරු දෙයක් සිදු වුණා. තමන්ගේ සිරුර මෙන් තුන් ගුණයක බරක් ඔසවමින් ඔහු රන් පදක්කමක් දිනුවා පමණක් නොව ඒ වෙලාවේ එක කකුලක් ඔසවා එක පයින් ඒ හාස්කම කළ හැකි ඇස් අදහන්නත් බැරි තරම්! මේ හපන්කම කළේ කිලෝ ග්රෑම් 61 බර පන්තියේ පිරිමි බර ඉසිලීමේ තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ලී ෆබින් නම් චීන ක්‍රීඩකයායි.
ඔහු එහිදී එසවූ බර ප්‍රමාණය කිලෝග්රෑම් 166ක්. ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මෙසේ කීවා. ‘තමා තනි පාදයෙන් මෙසේ බර උසුලන්නේ තමන් උසුලන බරට අනුව තම සිරුර සමබර කර තබා ගැනීමට තමන්ට ඇති හැකියාව නිසා බවත්, පුහුණුවක් නැතිව කිසිම කෙනකු තමන් කළ මෙම හපන්කම අත්හදා බැලීමට යාම නොකළ යුතු’ යැයි ඔහු අවධාරණය කළා.
ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩාගාරය ජය හඬින් දෙරවූ ටියුනීසියානු ගැටවරයා!
ඔලිම්පික් උළෙලේ වඩාත් කැපී පෙනෙන සිදුවීමක් ජූලි 25 වැනි ඉරිදා ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩාගාරයෙන් දැක ගන්න ලැබුණා. ඒ ඔලිම්පික් උළෙලේ පිහිණුම් තරගවල මීටර 400 නිදහස්ආර ඉසව්වේදීයි. ඒ ඉසව්වට ඕස්ට්‍රේලියාවේ ජැක් මැක්ලව්ලින් ඇතුළු ප්‍රවීණ පිහිනුම් ශූරයන් පිරිසක් සහභාගි වූ නිසා හැම දෙනාගේ ම ඇස් යොමු වී තිබුණේ ඔවුන් දෙසටයි. ටියුනීසියාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ 18 හැවිරිදි කොලු ගැටයා කෙරෙහි අනෙක් තරගකරුවන්ගේ ඇස්වත් යොමු වුණේ නැහැ.
අහමඩ් හැෆ්නෝයි වූ ඔහු කිසි දිනෙක මෙවැනි අත්දැකීමක් විඳලා තිබුණේ නෑ. 24 වැනිදා තේරීමේ තරගයෙන් අහමඩ් තේරුණේ තත්පර 0.17ක් වැනි ඉතා සුළු ගණනකින්. ඒක මේ ක්ෂේත්‍රයේදී ගණන් ගත යුතු තරම් එකක් නෙවෙයි. ඒ නිසා ඔහුගේ පුහුණුකරු ඉරිදා තරඟය ආරම්භයේ දී ඔහුට මෙහෙම කීවා, ‘අනිත් අයගෙ වේගය වැඩියි තව හයියෙන් පීනුවෙ නැත්නම් දිනන්න අමාරුයි හරිද?’
ඔහුට ලැබී තිබුණේ පිහිනුම් තටාකයේ මං තීරු අංක 8යි. පිහිනුම් ලෝකයේ කිසිම කෙනෙකු නොදන්නා මේ තරුණයා තමන්ට ම කියා ගත්තා, ‘කොහොම හරි ඊයෙට වඩා අද හයියෙන් පිහිනන්න ඕනෑ!’ එහෙම ඉටා ගෙනයි, ඔහු පිහිනුම් තටාකයට බැස්සෙ. අන්තිමේ දී දන්න තරම් වීරිය යොදලා පිහිනුවා. අවසානයේ දී දිනුම් කණුවට ගියාට තමන් දිනුවද කියලා ඔහු දැන හිටියේ නෑ. ලකුණු පුවරුවෙහි ඔහුගේ ලකුණු සටහන් වුනේ 3:43.36 කියලයි. ඒ දුටුව ඔහු පිහිනුම් ත්‍රීඩාගාරය දෙවනත් වෙන්න කීප වතාවක් ම වතුරට ගහමින් මහා හයියෙන් කෑ ගැහුවා. ඔහු ලෝක පිහිනුම් ශූර ඕස්ට්‍රේලියාවේ ජැක් මැක්ලව්ලින් පරදවලා තියෙන්නේ තත්පරයකින් සීයෙන් 14කින්, ඒ කියන්නෙ, තත්පර 0.14කින්. ජැක්ට හිමි වුණේ රිදී පදක්කමයි. ලෝකඩ පදක්කම හිමි වූයේ ඇමරිකන් පිහිනුම් ශූර කීරන් ස්මිත්ටයි.
පදක්කම්වලට ජපන් ජනතාව හවුල් වූ හැටි
ජපානය මෙවර ඔලිම්පික් උළෙලේ දී පිරිනැමීම සඳහා අවශ්‍ය පදක්කම් තැනීම යොදා ගත්තේ ටොන් 78,985ක් බර ඉවත ලූ ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කරලයි. ඒවාට අයත් වූ උපකරණ අතරට ඩිජිටල් කැමරා, ලැප්ටොප්, ජංගම ක්‍රීඩා උපකරණ, පමණක් නොව මිලියන 6.21ක ජංගම දුරකතන ද අයත් වුණා. ජපානය ඒ සඳහා මුළු ජපානය පුරාම ජනතාවට ආයාචනය කළා තමන්ගේ පැරණි ඉලෙක්ට්‍රොනික උපකරණය පරිත්‍යාග කරන ලෙසට. ඒ සඳහා ජපාන ජනතාව ඉමහත් උනන්දුවකින් සහභාගි වුණා. පදක්කම් තැනීමට අවශ්‍ය රන්, රිදී ඇතුළු ලෝහ ලබා ගත්තේ ඒවායින්. ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පදක්කම් තනා ගත් පළමු රට ජපානය නොවෙයි. ඒත් එවැන්නකට ජනතාව සහභාගි කරවා ගත් පළමු සත්කාරක රට ජපානයයි.
0 Comments