HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ අනාගතය වෙනස් මගකට යොමු කළ සියවසේ මහා මංගල්‍යය - 2 කොටස

ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කළ සියවසේ මහා මංගල්‍යය ලෙස හැඳින්වෙන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ මහතාණන් හා සිරිමාවෝ රත්වත්තේ කුමරිය අතින’ත ගත්දා ඒ ඓතිහාසික සිදුවීම 1940 ඔක්තෝබර් 5 වැනිදා ‘ස්වදේශ මිත්‍රයා’ තීරු හත පුරා ම විහිදෙන පරිදි ‘මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් ශරණ මංගල්‍යය, බණ්ඩාරනායක‍ - රත්වත්තේ’ යන මැයෙන් පළ විය. මෙහි මුල් කොටස ජූනි 30 වැනිදා ‘මල්කැකුළු’හී පළ විය. අද මෙහි පළ වන්නේ එහි දෙවැනි කොටසයි. 

ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ ඇමතිතුමා හා සිරිමාවෝ 
රත්වත්තේ මැතිනිය විවාහ රෙජිස්ටරයේ අත්සන් කළ අවස්ථාව.

“වලව්වේ දොරටුව ළඟට සම්ප්‍රාප්ත වූ මනාල මහතා හා මනාල මැතිණියගේ දෙමව්පියන් චාරිත්‍රනුකූලව ආදර ගෞරවයෙන් පිළිගෙන මංගල පෝරු මස්තකයට පමුණුවන ලදී. 

“නොබෝ වේලාවකින් උඩරට පන්තේරු නාට්‍ය කණ්ඩායමක් විසින් වන්නම් කියමින් පස්සෙන් පස්සට පෙරමුණෙන් එනාතර මනමාල මැතිණිය ස්වකීය දෙමව්පිය වූ බාර්න්ස් රත්වත්තේ දිසාපති තුමන් හා මහවලතැන්නේ කුමාරිහාමි පෝරු මස්තකයට පමුණුවන ලදී. ඒ හා සමගම මංගල භේරි වාදනයෙන් සභාව එකනින් නාදවන්නට විය. 

“මෙහිදී පළමු කොට මනමාල මැතිණියගේ මාමා කෙනෙක් වූ සෑම් ඇලපාත රටේ මහතාණන් විසින් අභිනව යුවලගේ අතනූල් බැඳ පැන් වඩා ශුභාශිංසනය කළේය. පෝරු මස්තකයේ දී කනකර බැඳ අතපැන් වත්කිරීම පිණිස පාවිච්චි කරන ලද්දේ රුවන්වැලි සෑයේ කොත් පැළඳීමේ මංගල මහා පුණ්‍යෝත්සවයේ පරිත්‍රාණ සජ්ඣායනා කරන ලද පිරිත් පැන් ස්වල්පයක් හා නූලකි. එය වේයන්ගොඩ, මොට්ටුන්නේ ඩී. ඩබ්ලිව්. ජයවර්ධන මහතා විසින් විශේෂයෙන් ආරක්ෂා සහිතව තබා ගෙන සපයන ලද්දක් බැව් ද සැලකිය යුතුයි. ඉක්බිතව උඩරට රදළ පවුල්වල පවත්නා මංගල චාරිත්‍ර විධි පවත්වන ලදී. පැරණි මංගල්‍යාෂ්ඨක කියවා නව යුවලට සෙත් සිරි ආවඩන ලදී. සුදු ඇඳුමින් සැරසී සිටි කුඩා මානවිකාවන් පිරිසන් විසින් ජයමංගල ගාථා කියවීමෙන් අභිනව යුවලට ජය ප්‍රාර්ථනා කරන ලදී. නව යුවල ද රන් රිදී මැණික් සහිත ආභරණ හුවමාරු කර ගත්හ. මෙකී ආභරණ හුවමාරු කිරීමේ දී මනාල මැතිණිය දොහොත් තබා මනාල මහතාට වැඳ නමස්කාර කිරීමෙන් සතුටු පඬුරු පිළිගත් ආකාරය බලා සිටි පිරිසගේ මනනුවන් පිනවා යාමට හේතුවිය. ඉක්බිතව මනාල මැතිණිය මනාල මහතාට පැරණි සිංහල සිරිත් ප්‍රකාර කැවුම් කිරිබත් ආදී මධුරාහාර පිරිනමා ස්වාමිභක්තිය පෙන්වා සිටියාය. 

බණ්ඩාරනායක‍ ඇමතිතුමා හා සිරිමාවෝ රත්වත්තේ මැතිනිය සමඟ 
ජස්ටින් පීරිස් දැරණියගල (මනාල මහතාගේ යහලුවා) 
හා යෙහෙළියන් හා මල් කුමරකුමරින් පිරිස.

“මංගල පෝරු මස්තකයෙහි සිටි මනාල මැතිණියගේ විලාශය අති ශෝභාමත් විය. ප්‍රිය දර්ශනයෙන් දන මන නුවන් ඇද ගන්නා රමණීය පැවැත්මෙන් දීප්තිමත් විය. මහාර්ඝ මාණික්‍ය ඔබ්බවා විසිතුරු ලෙස සම්පාදිත නළල් පටයක් බැඳ සිටි මනමාල මැතිණියගේ ආවිත්තම මල්කමින් විචිත්‍ර වූ රජත කර්මයෙන් පරිපූරිත අංගරකාවකින් ද රන් මාල රන් වළලු රන් මුදු ආදියෙන් ද සිත්කලු පාවහන් යුවලකින් ද යුක්ත විය. 

“හාත්පසින් සිටි උඩරට රදළවරුන්ගේ නානා තරාතිරම්වල ආවිත්තම් අලංකාර ලෙස බැබලුණේය. අවට සිසාරා සිටි උඩ පහත දෙරට කාන්තාවන්ගේ දර්ශනීය ඇඳුම් පැළඳුම් සභාවේ විචිත්‍රතාව දීප්තිමත් වීමට හේතු වූ බැව් පෙනී ගියේය. මේ ප්‍රස්තාවයේ දී ඇති වූ දර්ශනය ඇති රමණීය වූ බැව් කියයුතු නොවේ. 

“මේ මංගල මහෝත්සවය සඳහා සිංහල නාට්‍ය හා සංගීත සමිතිය විසින් කොළඹ ප්‍රසිද්ධ සංගීතාචාර්ය ඇම්. ජී. පෙරේරා මහතාණන් ලවා පුහුණු කරවන ලද ප්‍රාචීන සංගීත කණ්ඩායමක් විසින් වරින්වර කර්ණරසායන සංගීත ස්වරාත්මක වාද්‍යයන් පැවැත්වීමෙන් මංගල සභාවේ රමණීය ස්වභාවය දියුණු තියුණු කරන ලදී. 

“පෝරු මස්තකයේ මංගල චාරිත්‍ර විධි නිම වූ පසු අභිනව යුවතිපති යුවලගේ ශරණ බන්ධනය ව්‍යවස්ථානුකූල ලෙස රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්ත තැන්පත් ආර්. ඇම්. ඩේවිස් මහතා විසින් ලියා පදිංචි කරන ලදී. ඊට සාක්ෂි වශයෙන් ගරුතර සර් ඇන්ඩෘ කොල්ඩිකොට් ආණ්ඩුකාරතුමාත්, සර් ජේම්ස් උබේසේකර මහ මුදලිතුමාත් අත්සන් කළහ. 

“මනාල මැතිණිය ඇගේ පියාණන් විසින් භාරදෙන ලදී. පැට්‍රීෂියා රත්වත්තේ තරුණ මානවිකාවත්, මානෙල් විජේසිංහ තරුණ මානවිකාවත්, මනාල මැතිණියගේ කුළුපග සේවිකාවන් ලෙසින් පෙනී සිටියෝය. ප්‍රේමනී එල්ලාවල, ඉන්ද්‍රාවෝ රත්වත්තේ, ප්‍රීනි රත්වත්තේ යන කුඩා මානවිකාවෝ පුෂ්ප තුමරියන් මෙන් ක්‍රියා කළහ. 

“මෙදින සරණ බන්ධනයට ඇතුළත් වූ දෙපොළ විවාහ ලේකම් පොතේ අත්සන් තැබූ වහාම ලෝක පාලන දෙවියන්ගෙන් ආශිර්වාද ලද්දාක් මෙන් වර්ෂාවක් වැස්සේය. උත්සවයට බාධා නොකර ස්වල්ප වේලාවකින් වර්ෂාව නැවතුණු බැවින් එය මංගල මල් වැස්සක් බැව් කියමින් බොහෝ දෙනෙක් අතිශයින් ප්‍රීතියට පත් වූහ. 

“විවාහය ලියාපදිංචි කළ පසු රැස්ව සිටි විශාල පිරිසට රසවත් කැවිලි හා මිහිරි පානයන් දීමෙන් සංග්‍රහ කරන ලදී. ඒ අතර ගරුතර සර් ඇන්ඩෘ කොල්ඩිකොට් ආණ්ඩුකාරතුමා අභිනව යුවතිපති යුවලට ශුභ ප්‍රාර්ථනා කරමින් මෙසේ කීවේය. 

බණ්ඩාරනායක‍ ඇමතිතුමා හා සිරිමාවෝ රත්වත්තේ මැතිනිය විවාහ වූ අවස්ථාවේ.

“ ‘මේ ශුභ ප්‍රාර්ථනය කිරීම මට භාර කිරීමෙන් රත්වත්තේ දිසාපති තුමා මට කළේ මහත් ගෞරවයකි. කාරණා සතරක් සලකා මම මේ කටයුත්ත ඉතා සතුටින් ඉටු කරමි. ඉන් පළමුවැනි කාරණය නම් මනමාල මහතාගේ පියා ඉතා ශ්‍රේෂ්ඨ පදවියක් උසුලමින් දීර්ඝ කාලයක් රජ ගෙදර ආශ්‍රයෙහි යුතුකම් ඉෂ්ට කළ නිසා අද මේ උත්සවයට මා පැමිණ සර් සොලමන් දියස් බණ්ඩාරනායක මහ මුදලිතුමාත්, එතුමාගේ පුත්‍රයාත් මනාලියත් සමග ප්‍රීතිය ප්‍රකාශ කරන්නට ලැබීමයි. 

“ ‘දෙවැනි කාරණය නම් මේ විවාහය ලංකාවේ ඓතිහාසික සිද්ධියක් වීමයි. මෙරට ඉතා පැරණි පවුල් දෙකක උරුමක්කාරයන් දෙ‍ෙදනෙකු අතර සිද්ධ වන විවාහයකි. මේ නිසාම උඩ පාත දෙරට අතර බලවත් එක් වීමක් සිදුවේ. තුන්වෙනි කාරණය නම් මෙරට වැසියාට සේවය කරන ඇමතිවරයෙකුට තමන්ටත් සේවය කිරීමට ඉතා යෝග්‍ය සේවිකා දෙව්දුවක් ලැබීම ආණ්ඩුකාරවරයා වශයෙන් මට විශේෂ ප්‍රීති සහගත වීමයි. මේ නිසා ඇති වන අලුත් ක්‍රියා පිළිවෙළ යටතේ දැනටත් වඩා හොඳින් පළාත් පාලන ඇමති තුමාගේ සේවය ඉෂ්ට වේයයි මම විශ්වාස කරමි. හතර වෙනි කාරණය නම් ස්වකීය භාර්යාවගෙන් ලැබිය හැකි සහයයේ අගය මට වඩා හොඳින් අන් කිසිවෙක් නොදන්නා බැව් රත්වත්තේ දිසාපති තුමාට හැඟීමෙන් මේ ශුභ ප්‍රාර්ථනය සඳහා මා තෝරා ගත් බැව් මා විශ්වාස කිරීමයි. මගේ භාර්යාව හා මා අතර පැවත එන වාසනාවන්ත විවාහ ජීවිතය කොතරම් සතුටුදායක යතහොත් අද මේ විවාහප්‍රාප්ත නව යුවලටත් එවැනිම වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කරන්නට ලැබේවායි කියා මම ප්‍රාර්ථනා කරමි. එබැවින් මෙහි සිටින සියලු දෙනාම මේ ශුභ ප්‍රාර්ථනයේදී මා සමග එක්වන ලෙස ඉල්ලමි. 

“ගරු සර් ඩී. බී. ජයතිලක ස්වදේශීය ඇමතිතුමා එම ශුභ ප්‍රාර්ථනය අනුමත කොට සිංහලෙන් කතා කරමින් මෙසේ කීවේය. ‘අද සිදුවූ මේ ශරණ මංගල්‍යය වනාහි ලංකා ඉතිහාසයෙහි ලියවිය යුතු උසස් සිද්ධියකි. මෙවැනි ශරණ මංගල්‍යයක් සියක් අවුරුද්දකින් මෙරට දකින්නට ලැබී නැත. මේ ශරණ බන්ධනය නිසා ලැබෙන ප්‍රිය මැතිණියගේ සහායයෙන් දැනටත් වඩා ආත්ම පරිත්‍යාගයෙන් රටට සේවය කරන්නට බණ්ඩාරනායක ඇමතිතුමාට හැකිවේයයි මම විශ්වාස කරමි. බණ්ඩාරනායක මහතා තුළ යම් කිසි අඩුපාඩුවක් අත්නම් එකී සියල්ල මේ මනමාල මැතිණියගේ ආධාරයෙන් මඟ හරවා ගන්නට හැකිවන බැව් මම බලාපොරොත්තු වෙමි. තවද මේ විවාහය නිසා අප ලංකාවට මීට වඩා විශාල යහපතක් සිද්ධ වන බැව්ද මම විශ්වාස කරමි.’ 

“ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ ඇමතිතුමා සිංහලෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. ‘අප දෙදෙනාට ශුභ ප්‍රාර්ථනා කළ ගරුතර ආණ්ඩුකාරතුමාටත්, සර් ඩී. බී. ජයතිලක ඇමතිතුමාටත් මුළු හෘදයෙන්, ස්තුති කරමි. 

“ ‘එසේ ම අද අපි මේ මංගල්‍ය උත්සවයට පැමිණි සියලුදෙනාටම විශේෂ ප්‍රීතියෙන් ස්තුති කරමි. විශේෂයෙන්ම අපේ සිංහල වර්ගයාගේ පොදු යහපත පිණිස විශාල සේවයක් කළ යුතුව තිබේ. එබැවින් මීට ප්‍රථම කාලවලදී සේවය කළාටත් වඩා හොඳින් අප දෙදෙනාගේ සමගියෙන් පසුව මුළු සිංහල වර්ගයාගේ යහපත් පිණිස විශේෂ සේවයක් කරන්නට උත්සාහ කරන්නෙමි. තවද මේ සන්තුෂ්ටිදායක අවස්ථාවේ දී අප සමග ප්‍රීතිවීමට පැමිණි තමුන්නාන්සේලා සියලු දෙනාටම මගේ මුළු හෘදයෙන් අප දෙදෙනා වෙනුවෙන්ම ස්තුති කරමි.’ ඊට පසුව බණ්ඩාරනායක‍ ඇමතිතුමා මනාලමැතිනිය ගේ යහළු මානවිකාවන්ට ද ශුභ ප්‍රාර්ථනා කළේය. 

“මනාල මහතාගේ යහලුවා මෙන් පැමිණි ජස්ටින් පීරිස් දැරණියගල මහතා ඊට පිළිතුරු දෙමින් කථා කළේය. “ 

‘තදනන්තරව ජේ. ඩබ්ලිව්. ආර්. ඉලංගකෝන් මහතා කථාවක් පවත්වා මනාල මැතිණියගේ දෙමව්පියන්ට ශුභ ප්‍රාර්ථනා කළේය. රත්වත්තේ දිසාපතිතුමා ඊට පිළිතුරු දෙමින් ඉලංගකෝන් මහතාටත් රැස්ව සිටි පිරිසටත් ස්තුති කළේය. ඉක්බිතිව රැස්ව සිටි විශාල පිරිස අභිනව යුවතිපති යුවලට ආචාර දැක්වූහ. 

“මෙම මංගල්‍යයට ගරුතර ආණ්ඩුකාරතුමා හා ක‍ොල්ඩිකොට් ආර්යාව ප්‍රධාන පිරිසක් පැමිණ සිටියහ. එහි ආණ්ඩුකාරතුමාගේ දියණිය වූ තරුණ ජෝන් ක‍ොල්ඩිකොට් මැතිණියද, මදුරාසියේ ආණ්ඩුකාර තුමාගේ දියණිය වූ තරුණ හොප් මැතිණිය ද, අන්කරාහි තානාපති නැව්බුල් හගිසන් මහතාගේ දියණිය වූ තරුණ නැව්බුල් හගිසන්මැතිණිය ද සිටියෝය. 

“ඒ හැර දෙපක්ෂයේ ම කිට්ටුවර උඩ පාත දෙරටේ විශාල ඥාති පිරිසක්ද සිංහල දෙමළ බර්ගර් මුස්ලිම් ආදි විශාල පිරිසක්ද සෑම තරාතිරම්වල හිතවත් ස්ත්‍රී පුරුෂ විශාල සමූහයක් ද පැමිණ සිටියෝය. විශේෂයෙන් ම බණ්ඩාරනායක‍ ඇමතිතුමාට ජනප්‍රධානියෙකු වශයෙන් ගෞරව කරන සෑම තත්වයකටම අයත් හිතවත් පිරිසක් මේ ප්‍රස්ථාවට පැමිණ සිටියහ.” 

උපුටා ගන්නා ලද්දේ 1940 ඔක්තෝබර් 5 වැනිදා ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතිනි. 

පසු සටහන - සියවසේ මහා මංගල්‍යය ලෙස සැලකෙන මේ ඓතිහාසික සිදු වීමට අදාළ වාර්තාව ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ සම්පූර්ණ පිටුවක් පුරා පළ විය. මනාල යුවලගේ තීරු දෙකේ ඡායාරූප දෙකක්ද ඒ සමග පළ විය. ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ පළ වූ අයුරින්ම එය මෙහි පළ කරන්නේ වසර 80කට පෙර පුවත්පත්වල භාෂාව පිළිබඳව අවබෝධයක්ද ලබා ගැනීමටයි. මේ හැරෙන්නට ඒ විවාහ මංගල්‍යය පිළිබඳව කර්තෘ වාක්‍යයක් ද එදින ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ ම පළ කරන්නට යෙදුණේය. ‘ඓතිහාසික ශරණ බන්ධනය, බණ්ඩාරනායක - රත්වත්තේ’ යන මැයෙන් යුත් ඒ කතුවැකිය විවාහ මංගල්‍යයක් සම්බන්ධව පුවත්පතක කතුවැකියක් පළ කළ එකම අවස්ථාව විය. 

එදා මංගල්‍යය අවස්ථාවේදී සර් සර් ඩී. බී. ජයතිලක ස්වදේශ ඇමතිවරයා කළ කතාවෙහි ‘මේ ශරණ මංගල්‍යය වනාහි ලංකා ඉතිහාසයෙහි ලියවිය යුතු උසස් සිද්ධියකි..... තවද මේ විවාහය නිසා අප ලංකාවට මීට වඩා විශාල යහපතක් සිද්ධ වන බැව්ද මම විශ්වාස කරමි.’ යනුවෙන් කළ සඳහන මීට වසර 81කට පෙර පළ කළ අනාවැකියක් ලෙස සැලකිය හැකියි. (මී ළඟට - මනාලිය හොරගොල්ලට කැඳවා ගෙන ඒම) 

 - පර්සි ජයමාන්න

 

 

Post a Comment

0 Comments