HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 150 කට පෙර පොතෙන් නවලොව මැවූ විස්මය ජනක මිනිසා - ජූල්ස් වෙයා

1880 ගණන්වල මුහුණ පුරා රැවුල වවාගත් මිනිසෙක් ප්‍රංශ අධ්‍යාපන ඇමතිවරයා හමුවීමට ඔහුගේ කාර්යාලයට ඇතුළු වුණා. පිළිගැනීමේ නිලධරයා ඔහු පිළිගනිමින් ඔහුගේ දැකුම් නම් පත දෙස බැලුවා. ඔහුගේ මුහුණට එළියක් වැටුණා. ‘මුසියේ වෙයා’ (Monsieur Verne) කියා උච්චාරණය කළ ඔහු අමුත්තාට අසුනක් පෑවා. ‘කරුණාකර වාඩි වෙන්න! ඔබතුමා නිතරම යෙ‍ෙදන සංචාර නිසා බොහොම වෙහෙසට පත් වෙලා ඇති නෙ.’ 

අනාගතය දුටු ජූල්ස් වෙයා

ඒ අමුත්තා ජූල්ස් වෙයා (Jules Verne) නම් ලේඛකයා ය. ඔහුගේ ‍සංචාරවල තරම අනුව ඔහුගේ දෙපා හිස ළඟට ම ගෙවී යන්නට ඇති. ඔහු දින 80කට වරක් ලෝකය වටා කිහිපවරක් ගියා. ඔහු සැතැපුම් 60,000 මුහුද යටට ගියා. හඳට ගියා. පොළොවේ හරි මැද සෙයා ගියා. අප්‍රිකාවේ මිනීකන මිනිසුන් සොයා ගොස් කතා බහේ යෙදුණා. ඔරිනොකෝ ඉන්දියානුවන් හමුවන්ට ගියා. ලෝකයේ පිහිටි භූමි ප්‍රදේශවල ඔහු නොගිය තැන් ඇත්නම් ඒ ඉතා ස්වල්පයක් පමණයි. 

ඒත් ජූල්ස් වෙයා නම් මිනිසා ගෙදරින් පිටට නොගිය ‍ගෙදරටම වී සිටි අයෙක්! ඔහු වෙහෙසට පත් වුණා නම් ඒ ලිවීමට යාම නිසා පමණයි! වසර 40ක් තිස්සේ ම ඔහු කළේ ප්‍රංශයේ ඇමියන්වල පිහිටි ඔහුගේ නිවසේ රතු ගඩොලින් නිමවූ එක් ටැම් ගෙය තුළට වී වසරක් වසරක් පාසා පොත් ලිවීම ම විතරයි. ඔහු මාස හයකට වරක් පොතක් බැගින් ලියා නිම කළා. 

ඔහු අනාගතයේ එන දේ පරිකල්පනය කරන්න ඔහු තරම් දක්ෂයෙක් ලොව බිහි වී නැහැ. ඔහු අද අප දන්නා රූපවාහිනිය ඔහු එදා දුටුවේ ගුවන්විදුලිය නිපදවීමටත් පෙරයි. ඔහු ලියූ පොත්වල එය හැඳින්වූයේ ෆෝනෝටෙලිෆොටෝ (Phonotelephoto) කියලයි. ඔහු හෙලිකොප්ටර ගැන ලීවේ රයිට් සහෝදරයන් අහසින් යන්නත් වසර පනහකටත් පෙරයි. 20 වැනි සියවසේ අපට හමුවන බොහෝ විද්‍යාත්මක නිර්මාණ ඔහු 18 වන සියවසේ ජීවත්ව සිටිමින් දැකීම ඇත්තෙන්ම විස්මයට කරුණක්! ඔහු සබ්මැරීන්, ගුවන්යානා, නියොන් ලයිට්ස්, දුවන පැති පාරවල්, වායු සමීකරණ යන්ත්‍ර, අහස සූරන මැඳුරු, එල්ලය බලා යැවිය හැකි මිසයිල, යුද්ධ ටැංකි ආදි හැම එකක් ගැනම ඔහු තමා ලියූ පොත් මගින් මුලින් ම හෙළිදරවු කළා. ඒ නිසා ඔහු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පියා ලෙස අවිවාදයෙන් ම හඳුන්වන්න පුලුවන්. 

ජූල්ස් වෙයා තරුණ වියේදී

ජූල්ස් වෙයා අනාගතයේ බිහි විය හැකි විස්මිත දේ ගැන ඉතා නිවැරදිව, පැහැදිලිව සවිස්තරව ලීවා ද කීවොත් උගත් සමාජය ඒවා ගැනත් ඔහු ගැනත් වාද විවාද පවා කළා. ගණිතඥයන් ඔහු ලියූ ගණන් හිලවු හා ඉලක්කම් නිවැරදිදැයි සොයන්න සති ගණන් වෙහෙසුණා. හඳට ගිය විස්තරය ඇතුළත් ඔහුගේ කතාව පළ වූ පසු 500ක් පමණ දෙනා ඊළඟ හඳට යන ගමනට එක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. 

ඔහුගේ පොත්වලින් අභාසය ලත් සැබෑ නිමැවුම්කරුවන් ඔහු තමන්ට සැපයූ අනුප්‍රාණයට තුති පුද කළා. උත්තධ්‍රැවයට පියාසර කළ ඇමරිකන් අද්මිරාල් බර්ඩ් (Byrd) ආපසු පැමිණි පසු කීවේ ඔහුට ඒ ගමනට මග පෙන්වූයේ ජූල්ස් වෙයා කියායි. සබ්මැරීනයේ පියා සයිමන් ලේක් (Simon Lake) ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානයේ ආරම්භක වාක්‍යය ලෙස ලියූවේ ‘ජූල්ස් වෙයා මගේ ජීවිතය මෙහෙයවූ අධ්‍යක්ෂ ජනරාල්’ කියායි. ගැඹුරු මුහුදේ ගවේෂණයෙහි යෙදුණු, බැලූන් මගින් අහසින් ගිය ප්‍රංශ ගවේෂක ඕගස්ට් පිකාඩ් (August Piccard), රැහැන් රහිත හෙවත් වයර්ලස් ක්‍රමය නිසා ප්‍රසිද්ධියට පත් ඉතාලි ජාතික මාකෝනි (Marconi), ඇතුළු බොහෝ දෙනකු කියන්නේ ඔවුන්ට ඒ නිර්මාණ කරන්න සැබැවින්ම සිතන්න පෙලඹවූයේ ජූල්ස් වෙයා බවයි. 

ලෝක ප්‍රකට ප්‍රංශ හමුදා නායකයකු වූ මාෂල් ලියොටේ (Marshal Lyautey) පරීසියේ මහජන නියෝජිත සභාව ඉදිරියේ ප්‍රකාශයක් කරමින්, ‘සරලව කීවොත්, නවීන විද්‍යාව කියන්නේ ජූල්ස් වෙයා විසින් වචනවලින් මවා පෙන් වූ දේ ප්‍රායෝගික කිරීමට ගත් ක්‍රියාවලියකටයි’ කියා තියෙනවා. ඒ කථාවෙහි ඇත්තක් තියෙනවා. ජූල්ස් වෙයා සිය වික්‍රමාන්විත කතාවලින් පුරෝකථනය කළ බොහෝ අමුතු නිර්මාණ නවීන විද්‍යාව විසින් සැබෑ ලෝකය තුළ නව නිමැවුම් බවට පත් කර තියෙනවා. 

ජූල්ස් පොත් ලිවීම කළේ ඔහුගේ නිවස සමග 
ඉදිකර තිබූ එක්ටැම්ගෙහි මේ කුටිය තුළය.

ඔහුගේ මනසේ බිහි වූ නිර්මාණයන් බොහොමයක් සැබෑ වනු දකින්නට තරම් කලක් ජීවත් වන්නට ජූල්ස් වෙයා වාසනාවන්ත වුණා. ඒ විතරක් නොවෙයි, ඒවා සැබෑ කළ හැකි බවත් ඔහු විසින් කියා තියෙනවා. ‘එක මිනිසකු සිතින් මවන දෙයක් තව මිනිසකුට සැබැවින්ම නිර්මාණය කළ හැකියි.’ කියා ජූල්ස් වෙයා වරක් කීවේ ඒ ගැනයි. 

ජූල්ස් ගේබ්‍රියෙල් වෙයා උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා, ප්‍රංශයේ නැන් (Nantes) නගරය අසලදියි. එංගලන්තයේ ප්‍රථම දුම්රිය පාර බිහිවී වසර පහකට වඩා ගතව තිබුණේ නැහැ. අත්ලාන්තික් හරහා ගිය නැව්වල ඇංජින් තිබුණත් හදිසියක දී ප්‍රයෝජනයට ගන්න රුවල් පවා ගෙන ගියා. 

නීතිවේදියකු වූ ජූල්ගේ පියා, 18 හැවිරිදි වියේ දී ඔහුව බලෙන් ම පැරිස් අගනුවරට යැව්වේ නීතිය හැදෑරීමටයි. ඒත් ජූල්ගේ සිතේ ඒකට කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු ආසා කළේ කවි ලියන්නයි, නාට්‍ය ලියන්නයි විතරයි. ඔහු උපහාස කතාවට බර, ගරුසරු නැති ගති ඇති, වග විභාගයක් නැතිව තවට වදන් දොඩන අයෙක්. 

එක සැන්දෑවක විච්චූරණ සැඳෑ සාදයකට ගොස් සිටිය දී එයින් වෙහෙසට පත් වූ ඔහු එක්වරම එතැනින් කලබලෙන් පිට වී ගියා. අවුලෙන් ගිය නිසා ඔහු පඩි පෙළ නිසි ලෙස දුටුවේ නෑ. පය පැකිළී පඩි පෙළ දිගේ පහළට පෙරළී ගිය ඔහු ඒ පඩි පෙළ නැඟ ඉහළට යන්න ආ හැඩිදැඩි මහත්මයකුගේ ඇඟ‍ෙහි හැපුණා. එක්වරම සිහි එළවාගත් ජූල්ස් හිතට ආ වදනක් එක්වරම එළියට දැම්මා. ‘සර්! ඔබතුමා රාත්‍රි ආහාර ගත්තද?’ ඔහු ඇසුවා. 

අමුත්තා දුන්නේ මෙහෙම උත්තරයක්. ‘හොඳ රසවත් ආහාරයක් ගත්තා. නැන් නගරයේ රටාවට පිසූ ඔම්ලට් එකක් තිබුණා. ඉතා ප්‍රණීතයි!’ 

ඊට ජූල්ස් කීවේ, ‘පැරීසියේ කාටවත් බෑ ඒ රසට ඔම්ලට් එකක් හදන්න!’ 

‘ඔබට පුලුවන්ද?’ එතුමා ඇසුවා. ‘ඇත්තෙන්ම පුලුවන්. මං නැන් නගරයේ කෙනෙක්’ ජූල්ස් කීවා. 

‘එහෙනම්, ලබන බදාදා රාත්‍රි ආහාරයට එන්න. මට ඔම්ලට් එකක් හදල දෙන්න!’ එතුමා කීවා. 

මෙහෙම තමයි ජූල්ස්ගේ අනාගතය තීරණය කළ හමුවීමකට මඟ පෑදුණේ. ජූල්ස්ට එදා හමුවුණේ එවකට ‘ත්‍රී මස්කෙටියර්ස්’ නම් නවකතාව ලියූ සුප්‍රකට ප්‍රංශ නවකතාකරු ඇලෙක්සැන්දර් දියුමා (Alexander Duma) යි. ඔහු හඳුනා ගත්තා තරුණ ජූල්ස්ට ලියන්නට තිබූ ආශාව. ඒ අනුව ඔහුව ලියන්නට දිරිමත් කළා. දියුමා ජූල්ස් හා එක්ව නාට්‍යයක් ලිව්වා. එය තරමක් දුරට සාර්ථක වුණා. තමා ඉතිහාසය පසුබිම් කර ගෙන නවකතා ලීවා වාගේ භූගෝල ශාස්ත්‍රය පදනම් කර නවකතා ලියන්නැයි තරුණ ජූල්ස්ට යෝනා කළා. 

අද ඔහුගේ නිවස කෞතුකාගාරයකි.

මේ අතර ජූල්ස්ගේ පිය පුතා අධ්‍යාපන කටයුුතු නොසලකා හැරීම ගැන කෝපයට පත් වී ඔහු මුදල් යැවීම නතර කළා. ඉන්පසු ජීවත්වීමට ජූල්ස් නාට්‍යාගාරයක සුළු රැකියාවක් සොයා ගත්තා. ඉදිරි කාලය අසීරු එකක් වන බව ඔහු තේරුම් ගත්තා. ‘මං දවස් කීපයක් පැරිස් නගරයේ කරත්තයක් ඇදල පහුගිය දවසක බිෆ් ස්ටීක් එකක් අරන් කෑවා.’ ඔහු වරක් සිය මවට ලියා යැව්වා. ‘මගේ මේස් දෙකේ දැන් හිල් හැදිලා, හිපොපොටේමස් එකකු නිදා ගත්තු මකුළු දැලක් වාගෙයි.’ ඔහු යාළුවකුට කීවා. 

අඟහිඟකම් තිබුණත් ජූල්ස් ඒ වන විට කඩවසම් ආකර්ෂණීය තරුණයෙක් වුණා විතරක් නෙවෙයි, ඔහු ඉඩ ඇති විටෙක හොඳින් හැඳ පැලඳ සාදවලටත් ගියා. එවන් එක් සාදයකදී එහි පැමිණ සිටි යුවතියකට කළ විහිළුවක් නිසා ඇගේ පියාගෙන් දරුණු ප්‍රහාරයකට ලක් වුණා. ඒත් එයින් ජූල්ස් සැළුණේ නැහැ. ඔහු එවැනි ම සාදයක දී තවත් සුරූපී තරුණියක් සමග ප්‍රේමයක් ඇති කර ගත්තා. ඒ ප්‍රේමය ඔහුගේ විවාහයට හේතු වුණා. ඒ වන විට පියා ඔහු සමග තිබූ අමනාපය අත්හැර තිබුණා. ඒ නිසා පියා ඔහුට කොටස් වෙළඳපොළේ රැකියාවක් සොයා දුන්නා. ඔහුගේ ආර්ථික තත්වය එයින් හොඳ අතට හැරුණා. ඒත් ඔහු නිවසේ ලියන කාමරයට වී පොත් ලිවීම දිගටම කර ගෙන ගියා. උදේ 6ට ලියන්න පටන් ගත් ඔහු ළමා සඟරාවකට විද්‍යා ලිපි කීපයක් ලිව්වා. ඉන්පසු උදේ 10 ඔහු ව්‍යාපාරික සූට් එකක ඇඳගෙන කොටස් වෙළඳපොළේ රැකියාවට ගියා. 

ඔහු ලියූ පළමු පොත ‘බැලූනයක සති පහක්’ (Five Weeks in a Balloon) ලෙස නම් කෙරුණා. ඒ පොත යැවූ ප්‍රකාශයන් පහළොස් දෙනකුම ඒක ප්‍රතික්ෂේප කර ආපසු එව්වා. එය ආපසු ලැබුණු පසු වියරු වැටුණු ජූල්ස් ඒ පොත ගිනිබත් කරන්න සූදානම් වුණා. ඒත් ඔහුගේ බිරිඳ එය වළක්වා වෙනත් ප්‍රකාශකයකු වෙත යවන ලෙස ඉල්ලා සිටියා. 16 වැනි ප්‍රකාශකයා ඒ පොත පළ කිරීමට බාර ගත්තා. ඒ පොත උණු කැමුව් වාගේ හොඳම අ‍ළෙවියක් ඇති පොතක් බවට ඉක්මනින්ම පත් වුණා. ඒ වගේම භාෂා ගණනාවකටම ඒ පොත පෙරළනු ලැබුවා. 1862 දී 34 හැවිරිදි වූ ජූල්ස් ඉතා ජනප්‍රිය ලේඛකයකු බවට පත්ව සිටියා. ඔහු කොටස් වෙළඳපොළේ රැකියාවෙන් අස්වූ ඔහු වසරකට පොත් දෙකක් ලියා දෙන බවට සිය ප්‍රකාශකයා සමග ගිවිසුමක් අත්සන් කළා. 

-    පර්සි ජයමාන්න

මීළඟට - ජූල්ස් වෙයාගේ ජීවිතයේ මහ පෙරළියක් සිදු වූ හැටි. 


Post a Comment

0 Comments