HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කළ සියවසේ මහා මංගල්‍යය

“බළන්ගොඩ සිට පානදුර පාර හරහා කොළඹ බලා එන මෝටර් රථයකි. බොහෝ දෙනා දැක හුරු පුරුදු කම් ඇති මෙම සිට්රෝන් රථයෙහි පසු පස අසුනෙහි වාඩි ගත් දෙ‍දෙනෙකි. කොළඹට ළඟා වන විට ද ඔවුනට කුස ගිනි නොදැනුණේ ය. ඒ මනාලිය බලන්නට ගිය වේලේ භුක්ති විඳින්නට ලැබුණු සංග්‍රහය හේතු කොට ගෙන ය. මෝටර් රිය නැළවිල්ලේ සැහැල්ලුවෙන් ඇදී එයි. 

“ ‘.........කොහොමද මනමාලි....’ ප්‍රශ්න කළේ සිංහල මහා සභාවේ ලේක්ම්වරයා ය. 

“ ‘ඔව් බොහොම හොඳයි.... මම ඒ දැරිවි බැඳ ගන්නට ඕනෑ....’ සිංහල මහා සභාවේ සභාපතිවරයාගේ පිළිතුරයි. 

“සගයා සොම්නස් සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තේ ය."

විමල් අභයසුන්දර මහතා විසින් ලියන ලද බණ්ඩාරනායක‍ චරිතාපදානයෙහි සඳහන් කර තිබේ. 

එදා 1940 පෙබරවාරි මාසයේ දිනක සිදු වූ මේ සිදුවීමෙන් ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කිරීමට හේතු වූ සුවිශෙෂ විවාහ මංගල්‍යයකට මඟ පෑදුණේ ය. මීට වසර 80කට පෙර සිදු වූ එම සිදුවීමෙන් පසු එකල පැවති උඩරට පහත රට බේදය පවා ශමනය කිරීමට හේතු විය. මෙම විවාහ මංගල්‍යය අන් කවරකුගේ වත් නොව එවකට පළාත්පාලන ඇමති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ මහතාගේ හා සිරිමාවෝ රත්වත්තේ මැතිනියගේය. ලක්දිව යටත්විජිතයක් ව පැවති යුගයේ සිදුවූ මේ විවාහ මංගල්‍යය තරම් උත්කර්ෂවත් එකක් ඉන් පෙර සිදුවූයේ නැත. 

එදා මනාලිය බලන්නට ගිය බණ්ඩාරනායක‍ මහතා සිය කැමැත්ත පළ කළ පසු දෙපැත්තේ ම වැඩිහිටි ඥාතීන්ගේ සහභාගිත්වයෙන් චාරිත්‍රානුකූලව සිදුවූ සාකච්ඡා, නැකැත්පත්‍ර පිළිගැන්වීම්, මාල කරලෑම් ආදියෙන් පසුව 1940 ඔක්තෝබර 3 වැනිදා සුබ නැකතින් ආරම්භ වන මංගලෝත්සවය සඳහා ඥාති මිත්‍රාදීනට මෙසේ ආරාධනා කෙරිණ. 

බලංගොඩ බාර්න්ස් රත්වත්තේ දිසාපති 
සහ
මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි 
යන අපගේ ප්‍රිය ජ්‍යෙෂ්ඨ දියණියන් වන 
සිරිමාවෝ කුමරිය 
පළාත්පාලන ඇමති තැන්පත් 
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ මහතා 
සමඟ 
සිරිත් ප්‍රකාර ශුභ ශරණ බන්ධනයට ඇතුළත් වීමේ ප්‍රීතිය සඳහා 
වර්ෂ 1940 ඔක්තෝබර මස 3 වෙනි දින පස්වරු 12.30ට 
බලංගොඩ රත්වත්තේ වලව්වට පැමිණෙන මෙන් සාදරයෙන් ආරාධනය කරමු. 
පෝරුවේ සිටුවීම පස්වරු 1.03ට සිදු කරනු ලැබේ. 
වලව්ව, 
බලංගොඩ 
1940. 09. 10. 

බණ්ඩාරනායක‍ - සිරිමාවෝ විවාහ මංගල්‍යය ලංකා ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරයි. ලංකාවේ ජනතාව පළමු වරට දුටු ඇමතිවරයකු සරණ මංගල්‍යය එයයි. 1940 ඔක්තෝබර 5 වැනිදා නිකුත් වූ ‘ස්වදේශ මිත්‍රයා’ පතුයේ පළමුවන පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨයත්, ප්‍රවෘත්තියත් එයම විය. ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් ශරණ මංගල්‍යය’ යන්නය. මෙය පත්‍රයේ කොලම් හත පුරාම විහිද ගිය අතර බණ්ඩාරනායක‍ මහතාගේත් සිරිමාවන්ගේත් ‘කොලම්’ දෙකක ඡායාරූප දෙකක්ද පළ කර තිබුණි. අපේ පුවත්පත් වංශ කතාවේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් කර්තෘ වාක්‍යයක් ද ලියූ එකම අවස්ථාව ද මෙය විය හැකිය. මෙයින් වසර 80කට පෙර ‘ස්වදේශ මිත්‍රයා’ පත්‍රයේ වූ විවාහ මංගල්‍යය පිළිබඳ වාර්තාව ඒ අයුරින්ම මෙහි පහත දක්වන්නේ පුවත්පත් වාර්තාකරණය, ශෛලිය හා භාෂාව ගැන අවබෝධයක් ලබා දීම පිණිසයි. 

බණ්ඩාරනායක‍ - සිරිමාවෝ විවාහ මංගල්‍යය

‘මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් ශරණ මංගල්‍යය’ බණ්ඩාරනායක‍ - රත්වත්තේ 

ඉතිහාසයේ ලියැවිය යුතු සිද්ධිය 
උඩපාත දෙරට එක්වීම. 
ඇමතිවරයාගේ මංගල්‍යයට මහජනයා සහභාගිවීම 

(අපේ විශේෂ වාර්තාකරු විසිනි) 

‘ලංකා ඉතිහාසයේ ශත වර්ෂයකට අධික කාලයකින් මෙහා සිට ඇති ශ්‍රේෂ්ඨ ශුභ ශරණ මංගල්‍ය මහෝත්සවය පිළිබඳ රාවය දැන් මුළු රට එකනින් නාද කරමින් පැතිර යයි. වර්ෂ 1940 ඔක්තෝබර මස 3 වැනි ගුරුදින බලන්ගොඩ මේ මංගලෝත්සවය සිද්ධ විය. මෙදින බලන්ගොඩ නගරය අතිශය ශොභාසම්පන්න ශ්‍රී විභූතියෙන් බැබලිණි. නගරයේ මහා වීථිය ප්‍රභාමය තොරණත්‍රයකින් ද සිත්කලු සැරසිලිවලින් ද ලෙළදුණි. මහත් උනන්දුවෙන් ප්‍රබෝධමත් වූ ස්ත්‍රී පුරුෂ බාල මහලු නගර වැස්සෝ කුල්මත් වූ ලීලාවෙන් ඔබ මොබ හැසුරුණෝය. තවද මේ දර්ශනය බලන්ගොඩට පමණක් සීමා නොවූවකි. රත්නපුර නගරයේ සිට බලන්ගොඩ දක්වා මෙදින මහත් උජ්වලිත ස්වභාවයක් දැක්විණ. මාර්ගයේ තැනින් තැන තොරන්, ගොප්රෑන් සැරසිලි ආදියෙන් අලංකෘත විය. මාර්ගාසන්නයේ වැසි බාල මහලු ස්ත්‍රී පුරුෂ වැස්සෝ ප්‍රීතියෙන් ඉල්පී මග දෙපස බලා සිටියෝය. 

 ‘සිංහල මහා සභා නායක ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ මහතාණන් හා රත්වත්තේ සිරිමාවෝ කුමරිය අතර සිද්ධ වූ මේ ශුභ සරණ මංගල්‍යය නිසා උඩ පාත දෙරටේ පැරණි සිංහල පවුල් දෙකක් එක් වූවා පමණක් නොව සිංහල ජාතික සමගිය ද ස්ථිර වේ. ඒ සන්තුෂ්ටිජනක ප්‍රථිඵලයේ පූර්ව නිමිත්තක් වශ‍යෙන් අභිනව යුවල විවාහ ලේඛනයේ අත්සන් තැබූ කෙණෙහි මංගල වර්ෂාවකින් ආශිර්වාද ලැබුණේය. ඒ අද්භූත සිද්ධිය රැස්ව සිටි සියලු දෙනාගේම මවිතයටත් චිත්ත ප්‍රීතියටත් හේතු විය. 

‘රත්නපුර නගරය පසු කරන්නට මත්තෙන් බටුගෙදර වලව්ව ඉදිරිපිට ද, පැල්මඬුල්ලේ ගම්කාර්ය සභා ඉදිරියෙහි ද, හුනුවල, ඕපනායක, හොරකැටිය, බෙලිගල්ල, යන ස්ථානවල ද, අලංකාර තොරන් බැඳ මාර්ගය සරසා තිබුණේය. මේ මහා මංගල්‍යය අසා ප්‍රීති ප්‍රමෝදයට පත් මහා මාර්ගය දෙපස වැසි දිලින්දන් පවා තන්හි තන්හි කොඩියක් හෝ සුදු රෙදි කැබැල්ලක් තම නිවස ඉදිරිපිට ඔසවා ස්වකීය ගෞරවය පෙන්වූහ. මාර්ගයේ හා බලන්ගොඩ නගරයේ මේ සියලු තොරන් බැඳ සරසා තිබුණේ මෙදින සිදුවූ මංගල්‍යය උත්සවය නිසා චිත්ත ප්‍රීතියට පත් පළාත් වාසීන් විසින් බැව් එකහෙළා ප්‍රත්‍යක්ෂ විය. 

‘වැසියන්ගේ මේ අද්භූත ප්‍රබෝධයට හේතුව වේයන්ගොඩ, හොරගොල්ලේ වලව්වේ කීර්තිමත් සර් සොලමන් දියස් බණ්ඩාරනායක, කේ. සී. ඇම්. ජී. නාමෝපලක්ෂිත මහ මුදලිතුමන්ගේ එකම පුත්‍ර රත්නය වූ ද, රජයේ පළාත් පාලන අමාත්‍ය ධුරන්දර වූද, සිංහල මහා සභාවේ සභාපති වූද, ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක‍ මහතාණන් බලංගොඩ වලව්වේ බාන්ස් රත්වත්තේ දිසාපති තුමන්ගේ හා මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමිගේ ජ්‍යෙෂ්ඨ දියණියන් වූ රත්වත්තේ සිරිමාවෝ කුමරිය සමග ශ්‍රී සරණ බන්ධනයට ඇතුළත් වීමේ මහෝත්සවය මෙදින සිදුවීමයි. මේ උත්සවය නිමිති කොට ගෙන බලංගොඩ වලව්වට හැරෙන මාවත දොරටුවෙහි දර්ශණීය තොරණක් ද වලව්වට ප්‍රවිෂ්ට වන දොරටුවෙහි දර්ශණීය තොරණක් ද බන්දවා තිබුණේය. හාත්පස නන් විසිතුරු සැරසිලි සමූහයෙන් සුසර්ජන විය. 

'වලව්ව තුළ කර තිබණු පැරණි සිංහල චාරිත්‍රානුකූල විසිතුරු සැරසිලි අතිශයින් සිත්කලු විය. වලව්වේ පූර්ව භාගයෙහි ඉදිකරන ලද අටැස් මණ්ඩපය තුළ ශුභ්‍රවර්ණ සම චතුරශ්‍රාකාර මඟුල් පෝරුව දර්ශනය විය. එහි පසෙකින් අමුත්තන් සඳහා දීර්ග සතරැස් මඟුල් මඩුවක් සාදා තිබුණේය. ඉදිරිපිටින් ඥාතීන් උදෙසා ආසන පැනවූ ශාලාවක් ද විය. අනිත් පැත්තෙන් මෙදින මංගල්‍යය සඳහා පැමිණි ගරුතර ආණ්ඩුකාරතුමා හා කෝල්ඩිකොට් ආර්යාව ප්‍රමුඛ රජ ගෙදර පිරිසටත් අන්‍ය පුභූන්ටත් ආසන පනවා තිබුණේය. මංගල ශාලාවේ උඩු වියන පැරණි සිංහල චාරිත්‍රානුකූල ලෙස නීල වර්ණයන්ගෙන් තම සතරැස් කොටුවලට බෙදා මධ්‍යයෙහි නෙලුම් මල් ඔබ්බවා සෙසු තැන්වල රැලි පාලම් සැරසිල්ලෙන් විසිතුරු ලෙස සරසා තිබුණේ ය. මඟුල් පෝරුව පිහිටි මණ්ඩපයේ දොරටුවක් පාසා ඇත් දත් යුවල බැගින් සවිකර තිබුණේය. 

‘විවාහාපේක්ෂකයා වූ තරුණ බණ්ඩාරනාකය ඇමතිතුමා ස්වකීය පළාතේ සම්පාදිත ස්වදේශීය කදාර් වස්ත්‍රයෙන් සාදන ලද අඳනය, අංගාරකාව, උතුරු සළුව වන ආදර්ශවත් ජාතික ඇඳුමෙන් සැරසී දුටුවන් නෙත්සිත් ඇද ගන්නා රමණීය ලීලාවෙන් සැරසී සිටියේය. එතුමා සිය පියාණන් වූ සර් සොලමන් දියස් බණ්ඩාරනායක මහ මුදලිතුමාත්, මංගල යහලු ජස්ටින් පීරිස් දැරණියගල මහතාත් සමග මෝටර් රථයට වී අවශ්‍ය ඥාතීන් විසින් පිරිවරන ලදුව රත්නපුරයෙන් පිටත් වී මධ්‍යාහ්න කාලයෙහි බලංගොඩට පැමිණියේය. එහිදී අලි ඇතුන් හා උඩරට නෘත්‍ය ක්‍රීඩා සහිතව පෙරහරින් පිළිගත් මනාල මහතා සිය පිරිසත් සමග රත්වත්තේ වලව්ව ළඟට පැමිණි කල මනාල මැතිනියගේ ඥාතීන් විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදී.’ (මංගල උත්සවයේ ඉතිරි කොටස හෙට) 

 උපුටා ගන්නා ලද්දේ ‘ස්වදේශ මිත්‍රයා’ පුවත්පතිනි.

Post a Comment

0 Comments