ස්පෙන්සර් සිල්වර් විස්මිත ඇලවුම් කොළයකින් ලොව ඇල්ලූ හැටි!

එදිනෙදා ජීවිතයේ හැම තැනකම, විශේෂයෙන් ම කාර්යාලයේ, පාසලේ, පුස්තකාලයේ, පොත් පිටු අතර, කඩ සාප්පුවල, ‍‍නිවෙස්වල ඉදිරිපිට, කුස්සියේ බිත්තියේ යන මෙකී නොකී හැම තැනකම අලවන කහ පාට කුඩා තුණ්ඩු විශේෂය ‍නුදුටු කෙනෙක් මේ මිහිපිට සිටිය නොහැකියි. ඔබේ මතකය පහසු කරවන මේ පුංචි හුරුබුහුටි නිර්මාණය ලොව පුරා මහා විප්ලවයක් නිහඬව කළ එකක්. ඇත්තෙන් ම ඒක තමා ‘පෝස්ට් ඉට්’ (Post-it Notes) අලවන තුණ්ඩුව. අද මේ ලෝකයට ම නැතිවම බැරි එකක් වෙලා! 

පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු

ලෝකය වෙනස් කළ හැම විස්මිත නිමැවුමකටම වාගේ මේ පුංචි තුණ්ඩුවටත් බාධා එල්ල වුණා. ඒත් අද මේ පුංචි තුණ්ඩුවෙන් කෝටි ගණන් මුදල් උපයන 3M ආයතනයේ බලධාරීන්වත්, එදා වෙළෙඳ ලෝකයේ ප්‍රබලයන්වත් මේ අදහසට එකඟ වුණේ නැහැ. ඒත් අළෙවිකරණයේ හාස්කමකින් තමයි, මේ නව නිපැයුම සාර්ථක ලෙසින් මහජනයා අතරට ගියේ. 

ස්පෙන්සර් ෆර්ගියුසන් සිල්වර් III (Spencer Ferguson Silver III) උපන්නේ 1941 පෙබරවාරි 6 වන දා ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්ටෝනියෝ හිදියි. ඔහුගේ පියා ගණකාධිකාරිවරයෙක්. මව ලේකම්වරියක්. 1962දී ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් රසායන විද්‍යා උපාධිධරයකු වූ ඔහු පසුව 1966 දී බෝල්ඩර්හී කොලරාඩෝ විශ්ව විද්‍යාලයෙන් කාබනික රසායන විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තා. ඉන්පසු ඔහු, ජ්‍යෙෂ්ඨ රසායනවේදියකු ලෙස 3M ආයතනයේ ප්‍රධාන පර්යේෂණ රසායනාගාරයට බැඳුණා. එහි දී ඔහු පර්යේෂණ කළේ අධිපීඩනයට ඔරොත්තු දෙන, ගගනයානාවල කොටස් ඇලවීමට සුදුසු විශේෂ ශක්තිමත් ඇලවුම් ද්‍රව්‍යයක් අලුතින් නිපදවන්නයි. 

පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු නිර්මාතෘ

එහෙත් ඔහු අතින් නිපදවුණේ වෙනත් ඇලවුම් ද්‍රව්‍යයක්. එය ශක්තිමත් ඇලවුම් ද්‍රව්‍යයක් නොවෙයි. එය කඩදාසි දෙකක් එකට අලවන්න පුලුවන් තරමේ අඩු ශක්තියක් ඇති ඇලවුම් ද්‍රව්‍යයක්. ඒ වගේ ම වරක් ඇලවූ පසු කඩදාසියට හානියක් නොවී පහසුවෙන්ම ගලවන්න පුලුවන්. ඒත් එවැනි ඇලවීමකින් ඵලක් නොවන බව 3M ආයතනය හා එහි සේවකයන් පිළිගත්තත් ඒ බව කියා ඔහුගේ සිත රිද්දවීමට ඔවුන් කැමති වුණේ නැත්තේ ස්පෙන්සර් සිල්වර් ඔවුන්ට ඔවුන්ගේ ආයතනයට වඩාත් ප්‍රයෝජනවත් අයකු වූ නිසා. ඒ වන විටත් ඒ ආයතනය වෙනුවෙන් ඔහුගේ නමින් නව නිපැයුම් ගණනාවක් ම ලෝකයට දීලා තියෙනවා. 

සිල්වර්ට හිතා ගන්න බැරි වුණා, තමා සොයා ගත් නව ඇලවුම් ද්‍රව්‍යය කුමන වැඩකට යොදා ගන්නේ ද කියා. ඒත් ඔහු ඉවෙන් වාගේ දැන සිටියා, එහි වැදගත්කමක් ඇති බව. ඒ නිසා ඔහු 1968 සිට 1973 දක්වා ආයතනයේ හැම අංශයකටම ගිහින් මිතුරන්ට කීවා ඒ ඇලවුම් ද්‍රව්‍යයෙන් වැඩක් ගන්නා හැටි හිතන්න කියා. අන්තිමේදී 1974 දී ඒ ආයතනයේ ටේප් අංශයේ ඉන්ජිනේරුවකු ඔහුට සහයට ආවා. ඒ තමා රසායන ඉංජිනේරු ආතර් ෆ්‍රයි (Arthur Fry) ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි. ‘මං පල්ලියේ පසන් ගී ගයන්න යද්දී, පොතේ ඒ ගී ඇති තැන් සලකුණු කරන්න කොළ තීරු කීපයක් දමාගෙන තිබුණා. ඒවා අතර මගදී පොත පෙරළද්දී ඉවතට විසිවුණා. එවේලේ මට හිතුණා, ඒ කඩදාසි තීරු යම්තම් අලවා ගන්න තිබුණා නම් කියලා.’ 

ආතර් ෆ්‍රයි මේ සිල්වර්ගේ නව නිපැයුම ඊට යොදා ගත්තා වැඩේ හරියටම හරි ගියා. සිල්වර්ටවත් ඒ ආයතනයටත් වසර පහක් තිස්සේ සොයා ගන්න බැරි වූ දේ ෆ්‍රයි සොයා ගත්තා. ඔහු තීරණය කළේ කඩදාසි කඩදාසි ඇල වීමට ඒවා යොදා ගත හැකි බව. ඒ අනුව කඩදාසි තීරුවලින් පොත් සලකුණු තැබිය හැකි බව තේරුම් ගත් ඔහු ඒ ඇලවුම් ද්‍රව්‍යය කඩදාසිවල ආලේප කරන්න ක්‍රමයක් කල්පනා කළා. සමාගමේ ඉංජිනේරුවන් කීවා ඒ මිශ්‍රණය ආලේප කිරීම අපහසු දෙයක්ය කියා. ඒත් ෆ්‍රයි ඉන් අධෛර්ය නොවී ඒ සඳහා තමා ම කුඩා මැෂිමක් තනාගෙන බිම්මහලේ සවිකොට කුඩා කඩදාසි කැබලිවල ඇලවුම් ද්‍රව්‍යය ආලේප කිරීමේ ඒ කටයුත්ත කරන්න තීරණය කළා. 

රසායන විද්‍යාඥ ස්පෙන්සර් ෆර්ගියුසන් සහ සිල්වර් රසායන ඉංජිනේරු ආතර් ෆ්‍රයි

වසර දෙකක් ඇතුළත 3M ආයතනයේ සියලුම කාර්යාවලට අවශ්‍ය පෝස්ට් ඉට් නෝට්ස් නිපදවන්නට ආතර් ෆ්‍රයි සමත් වුණා. ආයතනයේ කාර්යාලවල අය ඉන් සෑහීමකට පත් වුණත් අළෙවිකරණ අංශවල අය එයින් දිරිමත් වුණේ නැහැ. ඔවුන් නගර 4කට මේවා යොදා පරීක්ෂණයක් කළා. ඒත් එයින් ලද ප්‍රතිචාරය ඔවුන්ට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒත් ආතර් ෆ්‍රයිගේ ප්‍රධානියා වූ ජ්‍යොෆ් නිකල්සන් ඒ තුණ්ඩු ගැන පැහැදුනා. ඒත් ඔහුට බලයක් තිබුණේ නැහැ ඒක අළෙවිකරණ අංශවලට පිටින් ගොස් අළෙවි කරන්න කටයුතු යොදන්න. 

ඒ නිසා නිකල්සන් උපක්‍රමයක් යෙදුවා. ඒ ආයතනයේ තම අංශයේ උප සභාපතිවරයා වූ ජෝශප් රැමී කැමති කරවා ගෙන ඔහුත් කැටුව පරීක්ෂණය සඳහා තෝරාගෙන තිබූ නගරයක් වූ රිච්මන්ඩ් වෙත ගියා. ඔවුන් තිදෙනා මේ පෝස්ට් ඉට් නෝට්ස් රැගෙන පුද්ගලිකවම වීදියෙන් වීදියට, කාර්යාලයෙන් කාර්යාලයට ගොස් තමන් කවුරුන්දැයි හඳුන්වා දෙමින් ඒවා නොමිලයේ බෙදා දුන්නා. ‘බලන්න, මේ අලුත් දෙයක් පාවිච්චි කරල බලලා අපට ඒ ගැන දොස් කියන්න’ කියා, කන්තෝරුවල අයට කීවා. 

ස්පෙන්සර් සිල්වර් ලෝකයේ ඉතා ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක්.

ප්‍රතිචාරය ඉතාම යහපත් වුණා. ඒ ආයතනවලින් විතරක් නොවෙයි, ඔවුන්ගෙන් ආරංචිය ලද වෙනත් ආයතනද ඉල්ලීම් කළා. 1980 අප්‍රේල් 6 දා තමයි, නිල වශයෙන් මේ තුණ්ඩු අළෙවිය ආරම්භ වුණා. ඒ අනුව ඉතා ශීඝ්‍රයෙන් පෝස්ට් ඉට් නෝට්ස් ඇමරිකාව පුරා ම ජනප්‍රිය වුණා. අද පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු කොයිතරම් ද යන්න අමුතුවෙන් කියන්න ඕනේනෑ. දැන් විවිධ ප්‍රමාණයෙන් විවිධ පාටින් මේ පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු නිකුත් කෙරෙනවා. 

මේ පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු සඳහා ඇලවුම් ද්‍රව්‍යය නව නිපැයුමක් ලොස ලොවට හඳුන්වා දුන් ස්පෙන්සර් සිල්වර් පසුගිය මැයි 8 වැනිදා 80 හැවිරිදි වියේදී මිය ගියා. පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු ඇතුළු නව නිපැයුම් 20ක් ඔහුගේ නමට ලියාපදිංචිව තියෙනවා. වසර 30ක සේවයෙන් පසු ඔහු 1996 දී විශ්‍රාම ගත්තා. රසායනික විද්‍යාඥයකු පමණක් නොව ස්පෙන්සර් සිල්වර් ලෝකයේ ඉතා ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක්. ඔහු වඩාත් ප්‍රකටව සිටියේ තෙල් සායම්, පැස්ටල් හා ඇක්‍රලික් තීන්ත යොදා කරන චිත්‍රවලටයි. 

3M කියන නම සෑදී ඇත්තේ මිනෙසෝටා මයිනින් ඇන්ඩ් මැනුෆැක්චරින් කම්පැනි යන නමෙහි මුලකුරු එක්කර 3M කියා නම් කළ ඒ ආයතනය අද ලොව බොහෝ දෙනා දන්නේ මේ පෝස්ට් ඉට් නෝට්ස් තුණ්ඩු තනා අළෙවි කරන ආයතනය හැටියට වුනත් එය ලෝක ප්‍රකට නිෂ්පාදන රැසක්, සංඛ්‍යාවෙන් 60,000ක් නිෂ්පාදන තනන බහුජාතික සමාගමක්. ලොව පුරා ව්‍යාප්ත ව ඇති මෙම සමාගම, ආරක්ෂණ උපකරණ හා මෙවලම්, විදුලි හා විද්යුත් උපකරණ, වෛද්‍ය උපකරණ, ගිනි නිවාරණ උපකරණ, මෝටර් රථ සත්කාර නිෂ්පාදන, දන්ත ශල්‍ය නිෂ්පාදන, විද්යුත් පරිපථ, නියාමන පරිගණක මෘදුකාංග ඇතුළු එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා පිරිමහින නිෂ්පාදන රැසක් ඒ අතර වෙනවා. ලොව පුරා රටවල් 70ක ඔවුන්ගේ ආයතනයේ ශාඛා ඇති අතර සේවකයන් 93,500ක් සේවය කරනවා. 

    - පර්සි ජයමාන්න


Covid19 - Stay Safe

Covid19 - Stay Safe

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

0 Comments