අනුරාධපුරයේ රන්මසු උයනට රන් සොයා සක්වළ ජීවීන් ආවාද? යන ලිපියෙන් අප කතා කළේ ශ්‍රී ලංකාවේ ඇති තාරකා දොරටුවක් යැයි සලකනු ලැබූ තැනක් ගැනයි. ලෝකයේ එවැනි තැන් රාශියක් තිබේ. පැරණි යුගයේ හිරු දෙවියන් අදහන මිනිසුන් ඒ සඳහා ‘සූර්ය දේවාල’ තැනූ අතර ඒවා එකල රජුන්ගේ ප්‍රභූ පැළැන්තියේ හොහොන් බිම් ද වුණා. ඉපැරණි මිනිසා සිතුවේ මරණින් මතු සක්වළ ඇති වෙනත් ලොවකට යන බවයි. ඒ අනුව මළ සිරුර සමග මළගිය ඇත්තාට ඒ යන ගමනේ දී ගෙන යාමට අවශ්‍ය යැයි සිතූ දේද ඒ සමග මිහිඳන් කළා. මිසරයේ පිරමීඩ වැනි පුරවස්තුවලින් හෙළිවන්නේ එවන් කතාවක්. මෙයට අමතරව ඒ සමහර තැන්වල නටබුන් පරීක්ෂා කරන විද්‍යාඥයන් ඒවා මිනිසා තාරකා නිරීක්ෂණයට හා සක්වළ ඇත්තන් සමග ගනුදෙනු කිරීමට පාවිච්චි කළ තැන් විය හැකි යැයි අනුමාන කරනවා. එවැනි තැන් තමයි, තාරකා දොරටු (stargates) ලෙස හැඳින්වෙන්නේ.
රන්මසු උයනේ ඇති ‘සක්වළ චක්‍රය’ යන ශිලා රූප සටහන හා වෙනත් එවැනි තැන්වල ඇති හමුවී ඇති ගලේ කෙටූ රූප හා සසඳමින් ඒකත් තාරකා දොරටුවක් යැයි පුරාවස්තු ගැන උනන්දුවක් දක්වන අය කීවත් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් කියා සිටින්නේ ඒ සක්වළ චක්‍රයෙහි කාල නිර්ණය කළ නොහැකි නිසාත්, රන්මසු උයන ගැන සඳහන්වන ඉපැරණි ලේඛනවල මේ සක්වළ චක්‍රය ගැන සඳහන් නොතිබීම නිසා ඒ කුමක් දැයි හරි හැටි කිව නො හැකි බවයි.
අපේ රටේ පුරාවිද්‍යාවේ ආරම්භකයා වූ එච්. සී. පී. බෙල් මහතා නම් යටත්විජිත සමයේ මෙරට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරයාට යැවූ සටහනක මේ සක්වළ චක්‍රය ‘මෙය ලෝක සිතියමක් විය හැකි බවත්, සමහරවිට මෙය මෙතෙක් හමු වී ඇති ඉපැරණිම ලෝක සිතියම විය හැකි යැයිද’ කියා දක්වා තියෙනවා. වත්මන් ලෝක සිතියම්වලට වඩා වෙනස් වූ මෙහි සකේතවත්ව දක්වා ඇත්තේ බුදු දහම අනුව පෘථිවිය, මුහුදු, සක්වළ හා විශ්වය හා ලෝකයේ ස්වභාවයත් යැයි බෙල් මහතා සිය සටහනේ කියා තියෙනවා.
ඒත් මෙයට හාත්පසින් ම වෙනස් වෙනත් මතයක් මොරටුව විශ්ව විද්‍යාලයේ භූමි දර්ශන පිළිබඳ කථිකාචාර්ය ෂෙරීන් අල්මේන්ද්‍රා මහත්මිය ගෙන හැර දක්වනවා. ඇය කියන්නේ මෙය ඒ යුගයේ ඉදි කෙරුණු මහා දාගැබ් ආදියට සමාන සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා සැකැසූ සැලැස්මක් විය හැකි බවයි. තවදුරටත් ඒ ගැන සඳහන් කරන ඇය එය සමහර විට සීගිරියේ පිඹුරුපත විය හැකි යැයි ද අනුමාන කරනවා. පස්වෙනි සියවසට අයත් සීගිරි පර්වත බලකොටුව ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය මහත් පිළිගැනීමට ලක්වූ ඓතිහාසික නිර්මාණයක්. සීගිරිය රාජධානිය ජලතටාක සහ දියමල්, ජ්‍යාමිතිකව ඉතා මැනැවින් සැලසුම් කළ අත්‍යාලංකාර උද්‍යානයකින් සහ ලැගුම් කුටි රැසෙකින් සැදුම්ලත් විස්මිත නිමැවුමක්. සක්වළ චක්‍රයෙහි ඇත්තේ ඒ සැලැස්ම විය හැකියැයි ඒ කථිකාචාර්ය වරිය කියනවා.
සක්වළ චක්‍රය ඉදිරිපිට නෙලා ඇති ශෛලාසන හතර එකෙනෙකට මුහුණ ලා තනා ඇති නිසා එය සාකච්ඡා සඳහා සකස් කළ එකක් යනු ඇගේ මතයයි. ඒ අසුන් ආගමික අවශ්‍යතාවට සැකසුවා නම් එක පෙළට එක දිගට සකසන්න තිබුණා. ඒ නිසා ඒවා ගිහි විද්වතුන්ගේ සාකච්ඡාවට උචිත ලෙස සකසා තියෙනවා කියලයි, ඇය සිතන්නේ.
“සක්වල චක්‍රය රූප සටහන නියත වශයෙන් ම එදා ප්‍රායෝගික භාවිතයට ගත් නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් එය අයත් අවධිය ගැන නිවැරදි කාල නිර්ණයක් සිදුකළ නොහැකි නිසා එය කුමක්වීද යන්න නිශ්චය කිරීම විශාල අභියෝගයක්” යැයි කියන මහාචාර්ය සෝමදේවගේ මතය අනුව අනාගතය විසින් විසඳිය යුතු අභිරහසක්.
- පර්සි ජයමාන්න
කැප්ෂන්
0 Comments