වෙනදා අනුරාධපුරයට ගලන ජන ගඟ මේ පොසොන් පෝදා ගලන්නේ නැත. කොවිඩ්-19 වසංගතය නිසා ඒ කලාපය සැදැහැවතුනට තහනම් ප්‍රදේශයක් වී තියෙනවා. ඒ නිසා මහින්දාගමනය සමරන්නට බෞද්ධ සැදැහැවතුනට සිදු වී තියෙන්නේ නිවෙස්වලට වෙලයි. මිහිඳු හිමියන් අහසින් මිහින්තලයට වඩින්නට ඇතැයි පවතින විශ්වාසය මත, ඒ සිදුවීමට බොහෝ කලකට පෙරාතුව, සක්වළයන් මෙහි සැපත්වෙන්නට ඇතැයි මතයක් ගොඩ නඟන්නට හේතුවුණු අනුරාධපුරයේ ඇති ගුප්ත ‘තාරකා දොරටුව’ වෙත මොහොතකට ඔබව ගෙන යන්න, ඒ නිසා අප අදහස් කළා.
අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පළමු වන රාජධානියයි. ක්‍රිස්තූ පුර්ව 377 දී පිහිටවනු ලැබූ මේ රාජධානිය එක දිගට වසර 1100ක් පමණ අඛණ්ඩව මෙරට ප්‍රධාන නගරය ලෙසින් පැවතුණා. මේ බිම රජුන්ගේ භූමිය යන අරුත් ඇතිව ‘රජරට’ එනම් ‘ලෑන්ඩ් ඔෆ් කිංග්ස්’ (Land of Kings) කියා ආදි යුගයේ සිට ම හඳුන්වනු ලැබුවා.
මෙහි තියෙනවා, ‘රන්මසු උයන’කියා නම් කළ තැනක්. අක්කර 40ක විතර ප්‍රමාණයක පැතිරුණු මේ රන්මසු උයන ඉතා පැරණිම නාගරික උද්‍යානයක් ලෙසයි, සැලකෙන්නේ. මේ අපූරු උද්‍යානය පිහිටා ඇත්තේ ඉපැරණි බෞද්ධ විහාරස්ථාන තුනක් වට කොට ගෙනයි. ඒ ඉපැරණි උයනෙහි තියෙනවා, ලොව පුරා පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් මවිතයට පත් කළ විස්මිත සිතියමක්. මීටර 1.8ක් පමණ වන කවයක් තුළ ඉතා සූක්ෂමව ගලෙහි යම්තමට කොටා ඇති මේ සිතියම හැඳින්වෙන්නේ ‘සක්වළ චක්‍රය’ හෙවත් ‘විශ්ව චක්‍රය’ කියලයි. මේ අපූරු ගල්කැටයම බිම් මට්ටමේ සිට නැරඹිය හැකි අයුරින් තමයි ශිලා පුවරුව ස්ථාපනය කර තියෙනවා. එය නැරඹීම පහසු වන පරිදි ඒ පුවරුව ඉදිරිපිට ගලින් නිම වූ ආසන හතරක් ද දැක ගන්න පුලුවන්. මේ සිතියමත් ආසන හතරත් ඇතුළු නැරඹුම් කලාපය තමයි, වසර සියයකට අධික කාලයක් තිස්සේ විද්‍යාඥයන් මවිතයට පත් කරලා තියෙන්නේ.
මේ සක්වළ චක්‍රය කුමක්ද? ගුප්ත සටහන් රැසකින් යුත් මෙය ඉදි කරන්නට ඇත්තේ කුමන අරමුණකින් ද යන්න තවමත් අබිරහසක්ව පවතින්නක්. එහි නිරූපිත කලාත්මක ලක්ෂණ ක්‍රි. ව. තුන් වන හා දස වන සියවස්වලට අයත් අනුරාධපුර යුගයේ වෙනත් කැටයම්වලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. මේ සක්වළ චක්‍රයේ මධ්‍ය කේන්ද්‍රය සමාන්තර සිරස් හා තිරස් රේඛා මගින් බෙදුන සම කේන්ද්‍රීය කව හතකින් යුක්ත වෙනවා. ඍජුකෝණාස්‍රාකාර කුටි හරස් කවයන්ගෙන් යුතුයි. එහි ගැබ්ව ඇති අදහස අප්‍රකට නිසා යමකු ඒ සක්වළ චක්‍රයේ ඇතුළත් වන කුඩ, දුනු, ඊතල, සරුංගල හැඩය, රේඛා හැඩ නිසා තමන්ගේ ම අරුතක් දේවි. චක්‍රයේ අවසන් වළල්ලේ කැටයම් කොට ඇති මුහුදු අශ්වයන්, ඉදිබුවන්, මසුන් ඇතුළු මුහුදු ජීවීන් දකින අයකු විස්මයට පත් වනු නිසැකයි.
මේ අනුරාධපුර යුගයටම අයත් සඳකඩපහණ වැනි නිර්මාණවල ඇති කැටයම් හා සන්සන්දනය කරන විට ඉහත දැක්වූ කැටයම් පැහැදිලිවම වෙනස් බව පෙනෙනවා. සඳකඩපහණේ ඇති ලියවැල්, නෙළුම් මල්, හංසයන් ආදිය වන අතර ඒවායින් බෞද්ධ කලාව නිරූපණය වෙනවා. ඒත් සක්වළ චක්‍රයේ එන ඒ සංකේත කිසිවක් බෞද්ධ නිරූපණ කලාවට අයත් ඒවා නොවෙයි. එසේ වෙනස් සංකේත එයට යොදා ගත්තේ කුමක් නිසාදැයි කිසිම සඳහන් වී නැහැ.
‘ක්‍රි. ව. හත් වන සියවසේ දී මේ රන්මසු උයනට, දෙවන අදියර ලෙස සංවර්ධනය කරද්දී නව ඉදිකිරීම් කීපයක් එකතු කරලා තියෙනවා. මේ සක්වළ චක්‍රයත් ඒ කාලෙදි එකතු කරන්නට ඇතැයි සිතිය හැකියි. ඒත් ඒ කාලයේ කළ වෙනත් නිර්මාණ ගැන, හැම දෙයක් ම හොඳින් වාර්තා කළ අපේ භික්ෂූන් වහන්සේලා මේ සක්වළ චක්‍රය ගැන කිසිම සඳහනක්, කොතනැකවත් කර නොතීබීම ප්‍රශ්නයක්!’ යයි කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් කියනවා.
මේ ‘සක්වළ චක්‍රය’ ගැන පැරණි ම සටහන තබා ඇත්තේ ලංකාවේ යටත් විජිත සමයේ මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වරයා වූ එච්. සී. පී. බෙල් මහතා විසිනුයි. 1911 වසරේ දී ලංකාවේ ආණ්ඩුකාර වරයාට යොමු කළ වාර්තාවක මෙසේ සඳහන්ව තියෙනවා. ‘ඇතැම් විට මේ සොයා ගෙන ඇති අපූරු නිර්මාණය ලොව පැරණිතම ලෝක සිතියම විය හැකියි. සමහර විට මෙය ලංකාවේ සමහර බෞද්ධ විහාරස්ථානවල තවමත් අනුගමනය කරන තාරකා විද්‍යා දැනුමෙහි පුරාතන පැවැත්මට හොඳම සාක්ෂියකි.’
වැඩිදුරටත් ඒ ගැන සඳහන් කරමින්, ‘නවීන අර්ථ දැක්වීම අනුව සිතියමක් යැයි කිව නොහැකි වුවත් මේ ඉපැරණි විශ්ව චිත්‍රය බෞද්ධ ආකල්ප අව්‍යාජව නිරූපණය කරන්නක් යැයි සිතිය හැකියි.’ කියා තියෙනවා. බෙල් මහතා එහිදී අර්ථ දක්වා ඇත්තේ ඒ සක්වළ චක්‍රයෙහි ඇති මුහුදු ජීවීන් හා සංකේත යොදා ඇත්තේ බුදු දහමෙහි එන මහ පොළොව, සාගර හා මුහුදු, අභ්‍යවකාශය සහ විශ්වය පිළිබඳ දැනුම ඒ නිර්මාණය සඳහා යොදා ගෙන ඇතැයි කියායි.
මේ පිළිබඳ ඇති එකම පුරාවිද්‍යාත්මක ලියවිල්ලත් මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ මතයනුත් ඩේලිනිවුස් පත්‍රයේ සහ බීබීසී පුවත් සේවය ඔස්සේ ප්‍රචාරය වූ පසු මේ පුවත කෙරෙහි ලෝකයේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. ඉන්පසු සමාජ මධ්‍ය ඔස්සේ මෙය වඩාත් උණුසුම් පුවතක් ලෙස හුවමාරු වුණා. මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ අය මේ අනුරාධපුරයේ පිහිටි මේ ඓතිහාසික සක්වළ චක්‍රයේ ගල්කැටයම අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කර ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නොයෙක් දෙනා මෙය ලෝකයේ වෙනත් තැන්වල ඇති මිනිසාට විශ්වයට පිවිසිය හැකි යැයි විශ්වාස කෙරෙන පැරණි දොරටු ලෙස සැලකෙන තාරකා දොරටු (stargates) සමග සන්සන්දනය කරන්න පටන් ගත්තා.
විශේෂයෙන් ම, ක්‍රි. පූ. 300 දී පමණ ඉදිකරන ලදැයි සැලකෙන තිසා වැව ආසන්නයේ පිහිටි මේ ‘සක්වළ චක්‍රය’ මිසරයේ අබු ඝුරාබ් (Abu Ghurab) සහ පේරූ රාජ්‍යයේ ‘ලා පුවර්ටා ඩි හයු මාර්කා’ (La Puerta de Hayu Marka) යන ස්ථානවල ඇති ඉපැරණි නිර්මාණ හා සසඳා බලන්නට පටන් ගත්තා. ඒවාත් මේ අනුරාපුරයේ රන්මසු උයනට සමානව ජලාශ ආශ්‍රිතව ඉදි කරන ලද ඒවායි. තාරකා දොරටු න්‍යායට අනුව සක්වළ ජීවීන් මිහිකත ජලයෙන් රන් ලබා ගැනීමට පෘථිවියට ආවේ මේ තාරකා දොරටු ඔස්සේයි.
මේ සක්වළ ජීවීන්ගේ මෙහි පැමිණී ගැන ගැන කියන විට මේ රජරට සක්වළ ජීවීන් ගොඩ බසින තැනක් ලෙස සැලකෙන කඳු ගැටයක් තියෙනවා. ඒ පොළොන්නරුව ශුද්ධ නගරය අසල පිහිටි දානිගල කන්දයි. එහි වැසියන් කියන්නේ එහි වටකුරු හැඩයත් ඒ මුදුනෙහි ඇති පැතලි ස්වභාවයත් අනුව ‘සක්වළ ජීවීන් රැගත් යානා’ (UFO) එහි බැස්ස බවට ඇති ප්‍රවාද විශ්වාස කළ හකි බවයි. රාත්‍රි කාලයට වෙනත් කිසිම තැනකට වඩා එහි තරු කඩා වැටෙනු දැක ඇති බව ඔවුන් කියනවා.
මේ කිසිවකට පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතැයි කියන මහාචාර්ය රාජ් සෝමදේවයන් සක්වළ චක්‍රය ගැන දරන්නේ බෙල් මහතාගේ මතයට සමාන මතයක්. මේ සක්වළ චක්‍රය ගැන පැරණි ඓතිහාසික සටහන් කිසිවක් තවමත් හමු වී නැති නිසා ස්ථිර මතයක් දැන්ම පළ කළ නොහැකි බවයි.
එහෙත් එතුමා වෙනත් අපූරු අදහසක් දක්වනවා. ‘ක්‍රි. පූ. 250 දී පමණ මෙරට වැසියන්ට අහසෙහි හා අභ්‍යවකායෙහි ඇති වස්තූන් හා සක්වළ ජීවීන් ගැන යම් අදහසක් තිබූ බව ශ්‍රී ලංකාවෙන් හමුවූ පැරණි බ්‍රාහ්මී අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපි වලින් හෙළි වෙනවා. විශේෂ තරු හා තාරකා සංකල්ප ලැන ඒ සෙල්ලිපිවල සඳහන් වෙනවා. දිවයිනේ දකුණු වෙරළ තීරයේ පිහිටි ඓතිහාසික ස්ථානයක් වන කිරින්දෙන් හමුවූ එක් සෙල්ලිපියක “අපරිමිත ලෝක දාතුයා” යන වචන සඳහන් ව තිබුණා. එයින් කියැවෙන්නේ “අනන්ත විශ්වය” යන්නයි. එයින් හෙළිවන්නේ ඒ ලේඛනයේ හිමිකරුට තමන් ජීවත්වූ විශ්වයේ ස්වරූපය ගැන හොඳ වැටහීමක් තිබුණ බවයි.’ මහාචාර්යවරයා කියනවා.
මේ ගැන තවත් මත සහ තොරතුරු තියෙනවා. ඒවා ගැන පසුව කතා කරමු
0 Comments