ලෝක වැසි වනාන්තර දිනය (World Rainforest Day) හෙවත් ලෝක ‘මහමෙවුනා’ දිනය ඊයේට යෙදී තිබුණා. මෙහි දී මා මෙහි දී මහමෙවුනා හෙවත් මහාමේඝවනය යන්න භාවිත කළේ rainforest යන ඉංගිරිසි වදනට වඩාත් සුදුසු වදන අතීතයේ දී අප භාවිත කළ වදන යයි මට සිතුණු නිසයි. ඒ සිතුවිල්ලට මා යොමු කළේ දැනට අප අතර නැති භාෂා පඬිවරයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන්ගේ ඉංගිරිසි-සිංහල මහා ශබ්දකෝෂයයි. එහි එතුමා මෙහෙම සඳහන් කරලා තියෙනවා.
‘මේඝ යනු වැසි වලාකුළයි. මේඝකාල යනු වැසි කාලයයි. වැස්ස ඇති වන්නේ වලාකුළුවලිනි. එහෙයින් මම rainforest යන්නට මහාමේඝවනය හා එහි සිංහල රූපය වන මහමෙවුනාව යන වදන යෙදීමි.’ යනුවෙන් හේතු දක්වන එතුමා වැඩිදුරටත් ඒ ගැන සඳහන් කරමින්, කියන්නේ දැනට අනුරාධපුරයේ වැදගත් බෞද්ධ පූජ්‍යස්ථාන පිහිටා ඇති මුටසීව රජු කරවූ මහාමේඝවනය එහිදී ඔහුට සිහිවූ බවයි.
2021 වසරේ එනම්, මෙවර ලෝක වැසිවනාන්තර දිනයේ තේමාව වන්නේ ‘දැන් සහ සදහටම එක්ව සුරකිමු,’(Protected Together. Now. Forever) යන්නයි. මෙහෙම දිනයක් ජූනි 22 වැනිදාට නම් කර ඇත්තේ ලොව පුරා ජනතාවට වැසිවනාන්තරවල අගය වටහා දීම සඳහායි. මේ පෘථිවිය අපට ජීවත්වීමට සුවපහසු තැනක් කරන්නට වැසිවනාන්තර නිහඬව විශාල දායකත්වයක් සපයනවා. ඒත් ඒ වගක් අප බොහෝ දෙනකු දන්නේ නැහැ. ඒ නිසයි අවුරුද්දකට එක දවසක්වත් දැනුවත් කිරීමක් අවශ්‍ය වන්නේ. මේ ලෝක වැසි වනාන්තර දිනය මුලින් ම පවත්වන ලද්දේ 2017 දීයි.
විවිධ වර්ගවල වැසිවනාන්තර තියෙනවා. අපේ ග්‍රහයා තුළ වැසිවනාන්තර ඇත්තේ සියයට 3ක් පමණයි. ඒවා අතරින් විශාලතම ව වැසිවනාන්තරය ලෙස හැඳින්වෙන්නේ ඇමසන් ය. ලොව පුරා සිටින සත්ව හා ශාකවලට වඩා වැඩි සත්ව හා ශාක විවිධත්වයක් මේ වැසිවනාන්තරවල තියෙනවා. වැසිවනාන්තර ඉන්නා සත්වයන්ගේ වැඩි හරියක් ඉන්නේ ගස් උඩය. ඝර්මකලාපීය වැසිවනාන්තරයක එක හෙක්ටයාරයක් (අක්කර දෙකහමාරක්) තුළ රුක්වැසි සත්ව විශේෂ 480ක් පමණ ඉන්නවා. අපේ එදිනෙදා භාවිතයට ගන්නා බොහෝ දේ එන්නේ වැසිවනාන්තරවලිනුයි. ගෝලීය උණුසුම්කරණය වළක්වන්නට වැසිවනාන්තර අපට උදවු වෙනවා. ඒත් මිනිසාගේ පරිභෝජන රටාවන් නිසා වැසිවනාන්තර විනාශ වෙනවා. වසරක් පාසා වැසිවනාන්තරවලින් සියයට 8ක් අපට අහිමි වී යනවා.
වැසිවනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා දැන් නව අදහස් හා යෝජනා ලොව නන් දෙසින් ඉදිරිපත් වෙලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල පාලකයන් මෙන් ම සමාගම්ද දැන් වැසිවනාන්තරවල ඇති වටිනාකම ගැඹුරින් තේරුම් ගෙන තියෙනවා. නිරෝගී වැසිවනාන්තරයකින් ලැබිය හැකි වාසි අතර කපා කොටා දරට ගන්නවාට වඩා විශාල උපකාරයක්, ඒවා ආරක්ෂා කර ගැනීමෙන් ලැබෙන බව දැන් අවබෝධ කර ගෙන තියෙනවා. කාබන් ගබඩා කර තබා ගන්නත්, ගංවතුර ඇති වීම වළක්වා ගන්නත්, නියං සාවලින් බේරී සිටීමටත්, ජල මූලාශ්‍ර ආරක්ෂා කර දීමත් වැසිවනාන්තර අපට උදව් වෙනවා.
තවත් විදියකින් කීවොත් වැසිවනාන්තර, කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හානිකර වායුව අවශෝෂණය කර ගනිමින් අපට හුස්ම ගැනීමට පිරිසිදු වාතයත්, බීමට පිරිසිදු ජලයත් සපයනවා. ඒ අතර ලොව පුරා දේශගුණය සමබරව තබා ගැනීමට උදව් වෙනවා. ඒ නිසා ඉහත කරුණු වැසිවනාන්තර ආරක්ෂා කිරීමට ලොව පුරා මිනිස් ප්‍රජාව පොලඹවා ගන්නට දැන් යොදා ගන්නවා.
මේ තරම් ප්‍රයෝජනවත් වැසිවනාන්තර නොකඩවාම මිනිසා විසින් දුර දිග නොබලා විනාශ කර දමනු ලබනවා. එය සිදුවන්නේ ඉතාමත් භයානක ආකාරයටයි. ලෝකයේ ඝර්මකලාපීය වනාන්තරවලින් හෙක්ටයාර බිලියනයක් මිනිසා විසින් තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමට කපා දමනවා.
මෑතදී සිදුවූ එක් වැදගත් ආකල්ප වෙනසක් වන්නේ වැසිවනාන්තර අද්දරව ජීවත්වෙන ජනයා වනය විනාශ කරන්නන් ලෙස නොව ඒ වනාන්තරයේ ආරක්ෂා කරන්නන් ලෙස සලකනු ලැබීමයි. එසේ ම ඒ වනාන්තරය රැක ගැනීම ඔවුන්ගේ ජීවිතයට බලපාන හැටි පහදා දීමෙන් ඔවුන් වැසිවනාන්තර රැක ගැනීමට යොදා ගත හැකියි. රජයන් විසින් වනාන්තර මහා පරිමාණයෙන් වගා කිරීමට විශාල සමාගම්වලට ලබා දීම මේ අයගේ බලපෑම් මත වළක්වා ගැනීමට හැකි වී තියෙනවා.
අනෙක් අතට අපට වෙන කවරදාකටත් වඩා වනාන්තර විනාශයේ තරම පැහැදිලිව දැක ගන්නට ලැබී තියෙනවා, උඩුගුවන යවන ලද චන්ද්‍රිකාවල සවි කළ කැමරාවලින් වනාන්තරව සවි කර ඇති කැමරා මගින්. මෙසේ ලබා ගන්නා තොරතුරු හා ඡායාරූප මත, ඉක්මනින් ක්‍රියාත්මක විය හැකි, ප්‍රබල පරිසර හිතකාමීන් හා පරිසරවේදීන් පිරිසක් ලොව පුරා බිහිවී සිටිනවා. ඒ අතර පුරවැසි මාධ්‍යවේදීන්, පරිසර විද්‍යාඥයන්, පරිසර මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද ඉන්නවා. ඔවුන්ට අන්තර්ජාලය සම්බන්ධ වූ විශාල සමයන් පිරිසක් ද ජාත්‍යන්තරව බිහි වී තියෙනවා. ඒ නිසා වැසිවනාන්තරවලට හානිවන කිසිවක් කරන්න ලොව පුරා කිසිම රජයකට බැහැ.
ලෝකයේ කවර තැනක කවර හානියක් සිදුවන්නට ගියත් මේ ප්‍රාදේශීය පරිසරවේදීන්, වනාන්තර රැකවලුන් ආදීන්ගේ දැනුවත් කිරීම මත අන්තර් ජාලය හරහා සහයට ලොවපුරා සිටින පරිසර හිතකාමී පිරිස් ඉදිරිපත් වෙනවා. උදාහරණයක් වශයෙන් ලෝක උරුමයක්ව පවතින අපේ ඝර්මකලාපීය වැසිවනාන්තරය වූ සිංහරාජයේ පසුගිය කාලයේ සිදුවන්නට ගිය හානිකර දේ වළක්වා ගන්නට හැකිවීම දක්වන්න පුලුවන්.
තවත් වැදගත් දෙයක් තියෙනවා. වැසිවනාන්තර බේරා ගන්න ඔබට කළ හැකි දෙයකුත් තියෙනවා. අප වැසිවනාන්තර ගැටලුවේ කොටස්කාරයන් වෙනවා වගේම ඒවා ගලවා ගැනීමට ඇති විසඳුමේත් අපට කොටස්කාරයන් විය හැකියි. වැසිවනාන්තර එළිපෙහෙළි කොට කළ මහා පරිමාණයේ ගොවිපොළවලින් වෙළඳ පොළට ගේන පාම් තෙල්, ගව මස්, ගව සම්, සෝයා බෝංචි නිෂ්පාදන වගේම වනාන්තරවල මහ ගස් කපා තනන පල්ප්වලින් නිපදවන කඩදාසිවලින් මුද්‍රණය කරන පත්තර මිලට නොගෙන සිටීමෙන්, ඔබේ අවශ්‍යතාව පිරිමසා ගැනීමට විකල්ප ඒවා මිලදී පුරුදු වීමෙන් ඔබට ඒ පණිවිඩය ඒ සමාගම්වලට යවන්න පුලුවන්. දැනටමත් ඒ ක්‍රමය සාර්ථක වෙමින් තියෙනවා. මහා පරිමාණයේ සමාගම් වනාන්තර එළි කිරීම නවතා දමා ඇතුවා පමණක් නොව වනවගාවන් කරමින් වනාන්තර තැනීමට පවා ඉදිරිපත් වී තියෙනවා.
ලෝකයේ විශාලතම වැසිවනාන්තර පද්ධතිය ලෙස සැලකෙන්නේ දකුණු ඇමරිකා මහාද්වීයේ පිහිටි ඇමසන් ය. වසර මිලියන 55ක් පැරණි මේ වනාන්තර පද්ධතිය ඇමසන් ගංගා නිම්නය පුරා විහිදෙනවා. එහි වපසරිය වර්ග කි. මී. 6,000,0000ක්. ලෝකයේ විශාලතම වනාන්තරය ලෙස සැලකනේනේ උතුරු අර්ධ ගෝලයෙහි පිහිටි ටයිගා (Taiga) යි. එය යුරෝපය, ආසියාව හා උතුරු ඇමෙරිකාව පුරා විහිද පවතිනවා.
- පර්සි ජයමාන්න
0 Comments