HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ප්‍රවීණයකු නොවුනත් ප්‍රවීණයන් පරදා ටෙස්ට් ක්‍රිකට් දස්කම් පෑ ප්‍රවීන් ජයවික්‍රම

ලොව පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන ටෙස්ට් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් වටයේ මහ ගැටුම දැන් එංගලන්තයේ සදම්ටන්හිදී පැවැත්වෙනවා. ලෝක ටෙස්ට් ශූරයන් වීම සඳහා තරඟ බිමට පිවිස සිටින්නේ නවසීලන්තයත් ඉන්දියාවත් ය. ටෙස්ට් ක්‍රිකට් වරම් ලද රටවල් 10 අතර පැවැත්වුණු ටෙස්ට් තරඟාවලීන්ට සහභාගි වූ සියලුම රටවල් අතරින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දුන් ලකුණු ක්‍රමය අනුව අවසානයේ දී ලකුණු සටහනේ පළමු තැන ගත් නවසීලන්තය හා දෙවන ‍තැන ගත් ඉන්දියාව අතර මේ අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ ඒ අනුවය. මේ තරඟාවලියේ ශ්‍රී ලංකාවට හිමි වූයේ 8 වන ස්ථානයයි. 

ප්‍රවීන් ජයවික්‍රමගේ ජයග්‍රාහී මොහොත

එහෙත්, මේ අවසන් මහා තරඟය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තැනූ ප්‍රචාරක වීඩියෝ පටයට එක්වීමේ වාසනාව ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයකුට හිමි වී ති‍බෙනවා. ඒ ප්‍රවීණයකු නොවූවත් ප්‍රවීණයන් පරදවා එකම එක ටෙස්ට් තරඟයකදී පමණක් ඔහු දැක්වූ විස්මිත දස්කම් නිසයි. ප්‍රවීන් ජයවික්‍රමට 156 වන ටෙස්ට් ක්‍රීඩකයා වීමට වරම් ලැබුණේ 2021 අප්‍රේල් 29 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකාව - බංගලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගය සඳහායි. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් සම්මාන උළෙල සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් 
නිකුත්කර ඇති වීඩියෝ ප්‍රචාරක පටයට ප්‍රවීන් එක්කර ගෙන ඇත්තේ මෙහෙමයි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන ඔහු එහි දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙතෙක්‍‍‍‍ නොකළ විස්මිත දස්කමක් දැක්වීමට සමත් වුණා. වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම ඔහුගේ මංගල තරඟයේදී ලකුණු 178කට කඩුලු 11ක් දවා ගැනීමට සමත් වූයේ කඩුල්ලකට සාමාන්‍යය ලකුණු 11.16 වන පරිදියි. මෙය සිය ප්‍රථම ටෙස්ට් තරඟයේ පළමු ඉණිමේ දී ශ්‍රී ලාංකිකයකු දැක්වූ ඉහළම දක්ෂතාව එනම් ලකුණු 96කට කඩුලු 6ක් වශයෙන් සටහන් වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකු මංගල ටෙස්ට් තරඟයක දී එකවර කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව ද වෙනවා. 

බංගලාදේශය සමග පැවති තරඟයේ දී ප්‍රවීන් විකට් ලබාගත් ආකාරය පහත වීඩියෝවෙන් බලන්න

1998 සැප්තැම්බර් 30 වැනිදා මොරටුවේ දී උපන් ප්‍රවීන් දකුණතින් පිත්ත හසුරුවන, වමතින් දඟපන්දු යවන ක්‍රීඩකයෙක්. මොරටුවේ සාන්ත සෙබස්තියන් විදුහලින් අධ්‍යාපනය ලැබූ ඔහු අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අයෙක්. ඔහු මුවර්ස් හා කෝල්ට්ස් යන අන්තර් සමාජවලට ක්‍රීඩා කළා. ඔහු අන්තර් සමාජ තරඟවලදී ලකුණු 303කට කඩුලු 17ක් දවා ගෙන තියෙනවා. ප්‍රවීන් ජයවික්‍රම මෙවර එංගලන්තයේ පැවැත්වෙන ජූනි 23 වැනිදා ඇරඹෙන T20 තරග සඳහා සභාගිවන ශ්‍රී ලංකා පිලටත් ඇතුළත් වී සිටිනවා. ඔහු ක්‍රිකට් ජීවිතය සාර්ථක වී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට ඔහුට වාසානව හා හැකියාව ලැබේවායි ‘මල් කුකුළු’ තුළින් අපි සුබ පතනවා! 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments