HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආයෙත් ඒවි දවසක්... බුද්ධිගේ ‘කවි මිහිර’ විඳින්නට

කිසියම් යුග මෙහෙවරක් තෝරාගෙන මුලු ජීවිත කාලයම ඒ සඳහා කැපවෙමින් කටයුතු කරන අය ලොව ඇත්තේ ඉතාමත් ටික දෙනෙකි. මුදල් ඉපැයීම සඳහා කිසියම් විෂයයකට ජීවිත කාලයම කැප කළ ඔවුන් අද මහා ධනවතුන් බවට පත්ව ඇති බව පෙනේ. එහෙත් තමන් උපයන ධනය වැය කොට අනාගත පරපුර වෙනුවෙන් ජීවිත කාලය පුරාම වෙහෙස වී අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කර තබන්නට කැප වූ අය නම් ඉතා දුලබය. එවැනි ඉතා දුලබ මිනිසකු ලෙස අපේ මිතුරු බුද්ධදාස ගලප්පති කිවිඳුන් හැඳින්විය හැකිය. ඔහුගේ නමටම සරිලන ලෙසින් කෙටි කර ‘බුද්ධි’ නමින් අප ඔහු හඳුන්වන අපර නාමය ඔහුගේ සන්නාමය බවට පත් වී තිබේ. බුද්ධදාසලා කොතෙක් සිටියත් අපට ඉන්නා එකම ‘බුද්ධි’ ඔහු පමණි. 


බුද්ධි අර්ථලාභ නොතකා කරන දේ රැසකි. වේදිකාවේ අංග රචනය කරයි. කවි ගොතයි. කවි රස විඳියි. පුවත්පත්වල කවි පිටු සංස්කරණය කරයි. ගේය පද නිර්මාණය කරයි. කෙටිකතා ලියයි. පුවත්වලට තීරු ලිපි ලියයි. සාහිත්‍ය නිර්මාණ අගය කිරීමට එක් වෙයි. ඔහුට සංවේදී වන ඕනෑම දෙයක් වෙනුවෙන් ඔහු පෙනී සිටියි. සෑම සංස්කෘතික කටයුත්තකටම දායක වන ඔහු සිය ජීවිත කාලය ම වැඩිපුර කැප කර ඇත්තේ කවිය සඳහා ය. ඒ ස්වතන්ත්‍ර නිර්මාණය කිරීම සඳහා නොව අපේ අනෙක් කවීන්ගේ නිර්මාණ ඇගයීම හා අනාගත පරපුරට ඒවා එක් රැස් කර තැබීම සඳහාය. 

ඒ සඳහා ඔහු අපේ ‍රටේ ජාතික පුවත්පත් හැම එකකට ම පාහේ සංස්කරණයෙන් දායක විය. එසේ ම කාව්‍ය නිර්මාණ ඇගයීම් කර විශේෂාංගයක් සැපයීය. කවිමිහිර (ඉරිදා දිවයින), පැදියක වගතුග (ලංකාදීප), හිතක පිපුණු මල් (තරුණි), කවිකාර මඩුව (මව්බිම), කව්මිණිමුතු (ඉරිදා ලංකා) ඉන් කීපයකි. කවිමිහිර යනුවෙන් ප්‍රකාශයට පත් වන්නේ එසේ ඔහු විසින් රස විඳි කවි පන්තිවල එකතුවකි. එහි ප්‍රථම කවිමිහිර (2012), කවිමිහිර - 2 (2015), කවිමිහිර - 3(2017), කවිමිහිර - 4 (2020) දී පළ විය. මෙය ඔහු අඛණ්ඩව කර ගෙන යයි. අලුත් ම ‘කවිමිහිර’ට පසුවදනක් සපයන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මිතුරා මෙසේ කියයි. ‘කවිමිහිර - 4 වූ කලී පෙරටුගාමී පරපුරක කවීන් සමග නව පරපුරක කවීන් අනාගතය කරා කැඳවාගෙන යන විසිතුරු මල් පෙරහරකි.’ 

මෙහි පළ කෙරෙන්නේ කවිමිහිර - 4 සංග්‍රහයට බුද්ධි විසින් ඇතුළත් කරන ලද එක් කාලෝචිත වූ නිර්මාණයක් හා ඔහු ඊට දුන් විවරණයෙන් කොටසකි. බුද්ධි ඒ කාර්යය කෙතරම් ආසාවකින් කරන්නේ ද යන්නට මේ උපුටනය වුවද ප්‍රමාණවත් ය. 

ආයෙත් ඒවි 
දවසක් 

අනෝමා රාජකරුණා 

ආයෙත් ඒවි 
දවසක් 
මුව පුරා සිනාසී 
කම්මුලක් කිති කවන දවසක් 
පා කර හාදුවක් 
ඇස්වලින් හිනාවෙමු 
අපි 
එතෙක් 

ආයෙත් ඒවි 
දවසක් 
දෑත් පටලා ඔහේ 
බොහෝ දුර ඇවිදිනා දවසක් 
ආ ගිය මාවතක 
මල් සුවඳ සිහි කරමු 
අපි 
එතෙක් 

ආයෙත් ඒවි 
දවසක් 
අයිස් සරුවත් වීදුරුව 
එකම තැනකින් උරන දවසක් 
ඇඟිලි තුඩ සීතල 
සුසුමකින් උණුසුම් කරමු 
අපි 
එතෙක් 

ආයෙත් ඒවි 
දවසක් 
හිසට බරදී මඳක් 
උරපතේ සුවය විඳින දවසක් 
අපි 
එතෙක් 

ආයෙත් ඒවි 
දවසක් 
පමා වූ දුම්රියක 
ඔබ එනතුරු ඉවසනා දවසක් 
ගෙල අගම රැඳුණ 
තොල්පටක කැළැල් පිරිමඳිමු 
අපි
එතෙක් 

අනෝමාගේ රාජකරුණාගේ මේ නිර්මාණය ගැන බුද්ධි මෙසේ කියයි. ‘අනෝමා රාජකරුණා අපගේ කිවිඳි පරපුර නියෝජනය කරන්නා වූ වෙනස් ම කිවිඳියක ලෙස හැඳින්වීමට කැමැත්ත‍ෙමි. දශකයක පමණ කාලයක සිට සිංහල පද්‍ය කාව්‍ය ක්ෂේත්‍රය තුළ කාව්‍යක්කාරියන්ගේ ආගමනය කැපී පෙනන ලෙස වර්ධනය වී ඇති බව පෙනේ. අනෝමා අයත් වන්නේ 2000 දශකයේ කාව්‍යක්කාරියන්ගේ පරපුරට බවයි මගේ හැඟීම.’ 

‘1983 දී “කඩදාසි ඔරු” නමින් කෙටිකතා සංග්‍රහයක් පළ කරන අනෝමා 2000දී ගෝත්‍රික ප්‍රේමය නම් වූ තම කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පළ කරන්නීය. ස්ත්‍රීවාදිනියක වීම නිසා දෝ ඇගේ අනන්‍ය ලක්ෂණය වූයේ විරෝධාකල්පයයි. එම කවි එකතුවෙහි වූ අපේ පරපුර වැනි කවියක වූ රැඩිකල් ලක්ෂණ ඒ යුගයේ සිටි අන් කිවිඳියකගේ කවියක දක්නට නොලැබුණු බව කිව හැකිය. කෙසේ වෙතත් කවිය අත හැර සිනමාව කෙරෙහි නැඹුරු වීම නිසා දෝ අපූරු කාව්‍යක්කාරියකගේ කවි රස විඳුම අපට අහිමි වී ගිය බව සටහන් කළ යුතුය. 

‘එහෙත් පසුගිය කොරෝනා විවේකයේදී යළි කවියට එක්වී සිටින අනෝමාගේ අලුත්ම කවියක් තුළින් ඇගේ කිවියකට ළංවෙන්නට ලැබීම කාව්‍ය රසිකයන්ගේ සතුටට හේතුවනු ඇතැයි හැ‍‍‍‍෸ඟ‍ෙයි. පසුගිය මාස කීපය පුරා අපගේ කුඩා දිවයින මතු නොව ලොවම ගිලගත් ස්වභාවික විපත් කාලයක නිවසටම සිර වී සිටිය දී එවිපත නිසා ජන ජීවිතය කෙරෙහි ඇති කරනු ලැබුවා වූ බලපෑම අනෝමාගේ නිර්මාණාවේශයට මුල් වී ඇති බව ‘ආයෙත් ඒවි දවසක්’ නම් ඉහත නිර්මාණය සනාථ කරයි. ජන ජීවිතය කැළඹුවා වූ කොරෝනා වසංගතය යෞවන ප්‍රේමවන්තයන්, ආදරවන්තයන්, කෙරෙහි කෙසේ බලපෑවේද ඉන් ඔවුන්ගේ සුපුරුදු ආදර ලෝකය කෙසේ කැඩී බිඳී ගියාද යන්න දකින කිවිඳිය ඒ සුපුරුදු ලොවට පිවිසෙන්නට දවසක් යි ඒවි යන අපේක්ෂාවෙන් පසුවන්නීය. මෙම කාලීන අත්දැකීම එහි ගැබ් වුණු චමත්කාරය, සෞන්දර්යය, ජනනය වන අයුරින් විචිත්‍රව රචනා වූ නිර්මාණයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. 


‘සොබා දහම විසින් ඈත් කොට ඇත්තේ පෙම්වතුන් පෙම්වතියන් පමණක් නොවේ. දෙමාපියන් දූ දරුවන් අඹු සැමියන් හිත මිතුරන් ආදීන් අතර වූ මානව සබඳතා බිඳ වැටුණු සමයක කිවිඳිය පෙම්වතුන්ගේ ලෝකය කවියෙහි විෂය කර ගන්නීය. ඈ එහි චමත්කාරජනක ප්‍රේමණීය අවස්ථා තුළට පිවිසෙමින් එතුළින් ප්‍රතිනර්මාණය කොට ඇති අපේක්ෂාව හෘද සංවේදී ගුණයෙන් හෙබි ය. පාඨකයන් ද වයස් සීමාවකින් තොරව පෙම්වතුන් බවට පත් වී හෙට එන දවස පිළිබඳවත් සිතනු දකින්නට ලැබේ. පශ්චාද් කොරෝනා සමයක කිවිඳිය නොත ගැටුණු ඇයට සංවේදී වූ අත්දැකීම් කවියක් ලෙස අපූරුවට ප්‍රතිනර්මාණය වී තිබෙනු පෙනේ.’ (කවිමිහිර දිවයින ඉරිදා සංග්‍රහය - 2020 ජූනි 14) 

කවිමිහිර - 3ට සුනේත්‍රා රාජකරුණානායක පසුවදනක් ලියමින් කළ මේ සඳහන බුද්ධිගේ කවිමිහිර සියල්ලටම උචිත යැයි මා සිතන නිසා මෙහි ඇතුළත් කිරීමට කැමැත්තෙමි. ‘මිහිරි, අර්ථවත් කවි අස්වැන්න රැකගනිමින්, ඒවාට නව අගයක් සහිත වේදිකාවක් තනා දෙන්නට ඔහු කාලය ද ශ්‍රමය ද කැප කරන්නේ දාරක ප්‍රේමයෙන් පිරි පීතෘ භූමිකාවකිනි. ඔහුගේ කවිමිහිර යුග මෙහෙවරකි.’ 

ඔහුගේ කවිමිහිර යුග මෙහෙවර ගැන මහාචාර්ය සමන්ත හේරත් මෙසේ පවසයි. ‘කාව්‍ය කලාව පිළිබඳ ගලප්පත්ති කවියා තුළ පවතින අපාර ලාලසාවෙහි ඒකදේශයක් වන්නේ කාව්‍යකරණයේ නියුක්ත නව පරපුර වෙත ඔහු සපයන ප්‍රඥාලෝකය යි. කුසලතාපූර්ණ ආධුනික කවින්ගේ නිර්මාණ හඳුන්වා දෙමින් ද, ඒවා විවරණය කරමින් ද ඔවුන් සන්මාර්ගයෙහි මෙහෙයවනු පිණිස ගලප්පත්ති කවියා වෙහෙස වෙයි. ඔහුගේ මෙම සද්ව්‍යායාමය ද මෙහි ලා විස්තාරයෙන් නොදැක්වේ.’ 

බුද්ධිගේ කවි පාඨකයන් හඳුනා ගත්තේ 1975 දී, තවත් එවැනි ම ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවන් දෙපළක් හා එක්ව කළ නිර්මාණ සමුච්චයකිනි. ඒ ‘දොළොස්මහේ පහන’ නම් කාව්‍ය සංග්‍රහයෙනි. ඒ ජයලත් මනෝරත්න හා සුනිල් ආරියරත්න සහෘදයන් සමගයි. ඉන්පසු බුද්ධි තමන්ගේ කාව්‍ය සංග්‍රහ 11ක් පළ කළා. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය පළ වූයේ 2019 දීය. ඒ ‘පසළොස් පැය’ නම් විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් එතුමාගේ ‘හෙට එච්චර කළුවර නෑ’ යන නවකතාවෙහි සෝදුපත් බලා දුන් බුද්ධි ගැන පසසමින් එහි පෙරවදනෙහි මෙසේ කියා තිබේ. ‘තරුණ කවි පරපුර අතර පුරසඳ සේ බබළන බුද්ධදාස ගලප්පත්ති මහතා’ කියා පසසා ඇත්තේ 1975 දීය. එය බුද්ධි අද කරන මේ වටිනා මෙහෙය ගැන කී අනාවැකියක් යැයි මට සිතේ. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments